අභියෝග අතරින් ජීවිතය දිනූ හොන්ඩාගේ ජීවිත කතාවෙන් පාඩමක් උගනිමු

නොවැම්බර් 18, 2020

කම්මැලියාට දිවැස් ති‍බේ යැයි කතාවක් ඔබ අසා ඇති. එවැනි කතාවක් ඇති වී තිබෙන්නේ යම් කාර්යයක් සිදු කිරීමට අවස්ථාව යෙදී තිබුණ ද, කුමන හෝ කාරණයක් ගෙනහැර පාමින් එම කාර්යය සිදු කිරීම කල් දැමීම නිසයි. එහෙත් සැබෑ වුවමනාවක් ඇති පුද්ගලයා කුමන තත්ත්වයක දී, කුමන අපහසුතාවක දී වුවද තම ඉලක්කය ජය ගැනීම සඳහා කටයුතු කරන්නෙකි.

අපිත් දියුණුවීමට, අපේ ඉලක්කය කරා යාමට සැබෑ වුවමනාව ඇති පුද්ගලයකු ලෙස පවතින තත්ත්වයන් කළමනාකරණය කරගනිමින් කටයුතු කළ යුත්තේ කෙසේදැයි පසුගිය සති කිහිපයේ දී අප කතා බහ කළෙමු. අද ඒ පිළිබඳ තවදුරටත් කරුණු සාකච්ඡා කරමු.

යම් අරමුණක් කරා යාමේ දී විවිධාකාර අභියෝගවලට මුහුණ දීමට සිදු වීම සාමාන්‍ය සිද්ධියකි. ඔබට යම් කිසි අභියෝගවලට මුහුණ දීමට සිදු වනවා යන්නෙහි අර්ථය වන්නේ ද ඔබ යම් ගමනක් යාමට ආරම්භකර ඇති බවයි. ඔබ යම් ගමනක් නොයන පුද්ගලයෙක් නම් ඔබට අභියෝගවලට මුහුණ දීමට සිදු නොවේ. ඒ නිසා අරමුණු සාර්ථක කරගැනීමට යන ගමනේ දී ඇතිවන බාධා ගැන මුලින්ම ඔබ සතුටු විය යුතුය. ඒ ඔබ යම් ගමනක් යමින් සිටින බව පැහැදිලි වීම නිසයි. වැඩ කරන මිනිසුන්ට ප්‍රශ්න ඇති වන බවත් වැඩ නොකරන මිනිසුන්ට ප්‍රශ්න ඇති නොවන බවත් පැවසෙන්නේ එබැවිනි.

මේ කාලය ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වූ අයට, තම ව්‍යාපාරය වැඩි දියුණු කරගැනීමට සිටි අයට, සාර්ථකත්වයේ ගමන යමින් සිටි අයට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. එය අපට පමණක් නොව, මුළු ලොවට ම එකසේ බලපෑම් කරන්නක්. එසේ වුවත් අභියෝග හමුවේ නොසැලී තම ඉලක්ක ජයගත් පුද්ගලයන් සිටී. අද අපි එවැනි ලෝක ප්‍රසිද්ධ සාර්ථක පුද්ගලයකු පිළිබඳ කතා කරමු.

ඔහු නම කියූ පමණින් කවුරුත් හඳුනන සොචිරෝ හොන්ඩා ය. එසේත් නැතිනම් ලෝක ප්‍රසිද්ධ හොන්ඩා සමාගමේ නිර්මාතෘවරයා ලෙසින් ද ඔබ ඔහුගේ නාමය අසා ඇති. 1938 වසරේ දී, එනම් වයස අවුරුදු 18 දී හොන්ඩා තරුණයා තමාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් යුතුව ටොයොටා සමාගමට පිස්ටන් මුදුවක් නිර්මාණය කිරීමට කුඩා වැඩපොළක් ආරම්භ කළා. ඔහු දිවා රාත්‍රී වෙහෙසෙමින් තම වැඩපොළේම රාත්‍රීන් ගෙවමින් බොහෝ මහන්සියෙන් වසර කිහිපයක් තිස්සේ නිපදවූ මේ පිස්ටන් මුදුව ටොයොටා සමාගමට ඉදිරිපත් කළේ මහත් බලාපොරොත්තුවකිනි. එහෙත් එහි තත්ත්වය පිළිබඳ පරීක්ෂා කළ එම ආයතනයේ සිටි ඉංජිනේරුවන් එය ප්‍රතික්ෂේපකොට ඔහු උපහාසයටත්, හාස්‍යයටත් ලක් කළා.

නමුත් මෙයින් හොන්ඩා තරුණයා නවතන්නට හෝ මන්දෝත්සාහී කිරීමට ඔවුන්ට නොහැකි වන්නේ ඔහු සතු ධෛර්යය නිසයි. මේ හේතුවෙන් තම කාර්යය අතහැර නොදැමූ හොන්ඩා, නැවතත් තම කුඩා වැඩපොළේ සිට තම නිර්මාණය වැඩි දියුණු කිරීම සඳහා වෙහෙසෙනවා. ඔහු අවුරුදු දෙකක් දිවා රෑ වෙහෙසී නැවතත් පිස්ටන් මුදුවක් නිපදවා ටොයොටා ආයතනය වෙත ඉදිරිපත් කරන අතර එම ආයතනයෙන් තම නිෂ්පාදනය සඳහා ඇනවුම් ලබා ගැනීමට සමත් වෙනවා.

එහෙත් නැවතත් මේ තරුණයාට ගැටලුවක් පැන නගී. ඒ, ටොයොටා සමාගමට අවශ්‍ය ඇනවුම් ප්‍රමාණය ලබා දීමට නම් කර්මාන්ත ශාලාවක් තිබිය යුතු වීමයි. එහෙත් ඒ කර්මාන්තශාලාව ගොඩනැගීමට ඔහු සූදානම් වන කාලය වන විට ජපානය යුද්ධයට සූදානම් වීම නිසා යුදමය වාතාවරණයක් පැවතීමෙන් කර්මාන්තශාලාව ගොඩනැගීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම අපහසු විය. ඔහු රජයෙන් කොන්ක්‍රීට් ලබා ගැනීමට ඉල්ලීම් කළ ද රජයෙන් පැනවූ දැඩි නීති රීති නිසා ඔහුට ඒවා නොලැබිණි. නමුත් තම ඉලක්කය කෙසේවත් අතනොහරින මේ තරුණයා තමාගේම ක්‍රමවේදයක් ඔස්සේ නවතම කොන්ක්‍රීට් මිශ්‍රණයක් නිෂ්පාදනය කරමින් තමාගේ කර්මාන්තශාලාව ගොඩනගා තම කටයුතු ආරම්භ කිරීමට සමත් විය.

මෙම ව්‍යාපාරය ආරම්භකර වැඩි කල් යාමට මත්තෙන් සොචිරෝ හොන්ඩාට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. ඉතාමත් අපහසුතා මැද ගොඩනැගූ ඔහුගේ ආයතනය බෝම්බ වැටීම නිසා දෙවරක් ම විනාශ වී ගියද ඔහුගේ ධෛර්යය ඉන් විනාශ නොවිණි. මේ විනාශය කොතරම් ද කිවහොත් එම ගොඩනැගිල්ලේ තිබූ කිසිවක් හෝ ගොඩනැගිල්ල සෑදීමට භාවිත කළ යකඩ කැබැල්ලක් හෝ නැවත භාවිත කිරීමට නොහැකි මට්ටමට පත් වේ.

අවසානයේ තමාගේ පිස්ටන් මුදු හදන සමාගම ටොයොටා සමාගමට විකිණීමට හොන්ඩා තීරණය කරයි. මේ චරිතයේ තිබූ විශේෂත්වය වන්නේ ඔහු සෑම අවස්ථාවක ම තමාට සිදු වන අවාසිය තමාගේ වාසිය බවට පත්කර ගැනීමටත් බිඳවැටීම් හමුවේ යළි නැගී සිටීමටත් ඇති හැකියාවයි. යුද අවස්ථාවේදී ජපානයට අමෙරිකානුවන් බෝම්බ හෙලද්දී තම ව්‍යාපාරය ඉන් විනාශ වී යද්දී එම යානාවලින් ඉවත හෙළන ලද ඉන්ධන බහාලුම් තම සගයකු සමඟින් එකතුකර ඒවා සිය අමුද්‍රව්‍ය බවට භාවිත කරමින් ඒවායෙන් නව නිපැයුම් සිදු කිරීමට හොන්ඩා සමත් වේ. යුද්ධය හා යුද්ධය අවසන් වන කාලය වන විට ජපානය දැඩි ඉන්ධන හිඟයකට මුහුණ පෑ අතර රථ වාහන ධාවනය අපහසු විය.

පවතින තත්ත්වය සඳහා අලුත් විසඳුමක් සොයන මේ අපූරු තරුණයා පුංචි මෝටරයක් නිපදවා එය තම පාපැදියට සවිකර ප්‍රථමවරට මෝටරයක් මඟින් ක්‍රියාකරන බයිසිකලයක් නිෂ්පාදනය කළා. මෙය දකින අසල්වාසීන්ටත් මෙවැනි කුඩා යන්ත්‍රයක් සවිකළ බයිසිකල් අවශ්‍ය වූ අතර ඉන්ධන නොමැතිව ක්‍රියා කළ හැකි නිසා ඉන්ධන ගැටලුවට ද විසඳුමක් වූ බැවින් ඉල්ලුම ඉහළ යාමට විය. හොන්ඩා තේරුම් ගත්තා මේ අවස්ථාවේ දී මේ සඳහා විශාල ඉල්ලුමක් පවතින බව. මේ නිසා ඔහු කුඩා මෝටර සවිකළ බයිසිකල් වෙළෙඳපොළට නිකුත් කිරීමේ අදහස ඇතිව සිටිය දී තවත් ගැටලුවකට මැදි විය. එනම් ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධන හිඟයයි.

මේ සඳහා ද ඔහු අලුත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළා. ජපානයේ එවකට පාපැදි විකුණන දහඅටදාහක පමණ ව්‍යාපාරිකයන්ට තමා හඳුන්වා දෙන නව නිෂ්පාදනය ගැන පවසා ඒවා ඇනවුම් කිරීමට නම් ඒ සඳහා අත්තිකාරම් ගෙවන ලෙස ඔහු සිය අතින් ම ලියූ ලියුම්වලින් දැනුම් දීමට කටයුතු කළා. එම ආරාධනය පිළිගන්නා පාපැදි විකුණන නියෝජිත ආයතන 5000ක් හොන්ඩාට අත්තිකාරම් ගෙවීමට කැමැත්ත ප්‍රකාශ කරන අතර ඔහුගේ ව්‍යාපාරයේ මූලික අදියර සාර්ථක වේ. ඒ අනුව බයිසිකලයට මෝටරයක් සවිකළ මෝටර් සයිකලය ලොවට දායාද කළා. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කරන සන්ධිස්ථානයක් වූ අතර මෝටර්බයිසිකල් පමණක් නිපද වූ හොන්ඩා ඉන්පසුව අඩු ඉන්ධන පිරිමැස්මක් සහිත මෝටර් රථ නිර්මාණය කිරීමටත් ඔටෝ මෝබයිල් ආදී විවිධ වූ ක්ෂේත්‍ර කරා තම නිෂ්පාදන වපසරිය පුළුල් කිරීමට සමත් විය. වර්තමානය වන විට හොන්ඩා සමාගමේ සේවය කරන පිරිස ලක්ෂයකට අධිකය.

අපි මේ අවස්ථාවේ රටක් ජාතියක් ලෙස අභියෝගවලට මුහුණ දී ඇති අවස්ථාවක්. මේ අවස්ථාවේ එම අභියෝගය ජය ගැනීමට උත්සාහ කිරීම පළමුව තමාත්, ගමත්, රටත් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට හැකි උත්සාහයක් බවට පත් වේ. අමාරු තත්ත්වයක් වුවත් එහිදී අපට කළ හැකි දේ පිළිබඳ වෙනස් ලෙසකින් කල්පනා කරන්න. ඒ ඔස්සේ ක්‍රියාත්මක වන්න. ඉලක්ක හඹා යාමට සිතා සිටින ඔබට මේ හොන්ඩාගේ ජීවිත කතාව මනා වූ උත්ප්‍රේරකයක් වනු ඇත.

 

උපදෙස් -

ප්‍රවීණ  දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

 

2020/11/18 තරුණි පුවත්පත බලන්න.