හොඳම දේ තමයි හැදෙන්නට කලින් වළක්වා ගන්න එක

නොවැම්බර් 18, 2020

සාමාන්‍යයෙන් කායික මානසික රෝග අපට වැළඳෙනවා. එහිදී කායික රෝග වලට ඔරොත්තු දීමට සමහරුන්ට හැකියාව තිබෙන නමුත් සමහරුන්ට එය අඩුයි. එසේ හැකියාව අඩු වෙන්නෙ ඇයි? එය වැඩිකරගන්නේ කොහොමද? මේ පිළිබඳව සාකච්ඡා කිරීම වර්තමානයේ දී ඉතා වැදගත් වෙනවා.

විශේෂයෙන් ම මුළු ලෝකයම වසංගත රෝගයකට මුහුණ දී ඇති මේ කාලයේදී මේ පිළිබඳව දැනුවත් වීම ඉතාමත්ම වටිනවා. මෙතැනදී අප හඳුනාගත යුතු වන්නේ මිනිසා කියන්නෙ කය පමණක් නොව මිනිසා කියන්නෙ සිත කය දෙකෙහි එකතුවක් බව. කයේ බලපෑම හිතට දැනෙනවා සිතේ බලපෑම කයට දැනෙනවා. මෙය පැහැදිලිව තේරුම් ගත යුතුයි. කායික ලෙඩ වීම හෝ නීරෝගි වීම රඳා පැවැත්මට ප්‍රබල සාධකයක් වන්නේ සිතයි. සිත රෝගී වුණොත් කය රෝගී වෙනවා සේම සිත නිරෝගී වුණොත් කයද නිරෝගී වෙනවා. මේ දෙකෙහි අන්‍යොන්‍ය සම්බන්ධකමක් තිබෙනවා. එයට හේතුව මේ දෙක එකටයි ගමන් කරන්නේ. දැනට අපට තිබෙන අවශ්‍යතාව කය නිරෝගී කර ගැනීමයි. මේ කෝවිඩ් වයිරසය වැළඳෙන්නේ කයටයි. එවිට කයේ තිබෙන ශක්තිය වැඩි වීමට සිතේ ශක්තිය වැඩි කරගන්න ඕනෑ.

මෙහි තිබෙන්නේ සරල සමීකරණයක්. සිතේ ශක්තිය වැඩි වන විට කයේ ශක්තිය වැඩි වෙනවා. සිතේ ශක්තිය දුබල වන විට කයේ ශක්තිය අඩුවෙනවා. වෛරසයක් යනු අපට නොපෙනෙන සතුරෙක්.

අපි මෙහෙම සිතමු. රටක හමුදාවක් ගැන හිතමු. හමුදාව රට වටේ මුරකාවල් දමා ගෙන ආරක්ෂිතව සිටිනවා. සතුරු උවදුරු වරින් වර එන විට හමුදාව ගේට්ටුවල සිට සටන් කරනවා ඇතුළට එන්න දෙන්නෙ නෑ. ඇතුළේ හමුදාව ප්‍රබල නම් සටන් කර පිටින් එන උවදුරු නැති කර විනාශ කරනවා. එවිට කිසිම හානියක් රටට වෙන්නෙ නෑ. අපේ නගරයට වෙන්නෙත් නෑ. පිටින් එන සතුරු හමුදාව ප්‍රබල වැඩිනම් සටන වැඩිවෙනවා. එක අයෙක් දෙන්නෙක් ඇතුළට පැන ගන්න පුළුවනි. සතුරු හමුදාවේ ප්‍රබල කම වැඩිවී අපේ හමුදාවේ ප්‍රබල කම් අඩුවෙන විටදී සතුරු හමුදාව සටන් කර රටට ඇතුළු වෙනවා.

අපේ ශරීරය ක්‍රියා කරන්නේත් ඒ ලෙසටමයි. අපේ ඇඟ ආරක්ෂා කරන්න, සටන්

කරන්න ශක්තිය ඇති හමුදාවක් අපගේ ශරීරය තුළ සිටිනවා. ශරීරයේ සිටින හමුදාව බලාපොරොත්තුවෙන්, සෝදිසියෙන් ඉන්නේ කොයි වෙලාවේ හෝ පිටින් උවදුරක් පැමිණෙයි කියා. ඒකට කියන්නේ ප්‍රතිශක්තිය කියලා. වයිරස, බැක්ටීරියා වැනි දේ තමයි සතුරන්. අපි සෙම්ප්‍රතිශ්‍යාව උදාහරණයට ගනිමු. සෙම්ප්‍රතිශ්‍යාව හැදුණාම සමහර විට වැඩි වෙනවා. සමහර විට යාන්තම් හැදිලා අඩුවෙලා යනවා. ඒක එහෙම වෙන්නේ ඇඟට ලෙඩට ඔරොත්තු දීමේ හමුදා ශක්තිය (ප්‍රතිශක්තිය) වැඩි වූ විටයි. අව්වට, වැස්සට, දූවිල්ලට හසුවන ළමයින්ට හොඳ ප්‍රතිශක්තියක් තිබෙනවා. ශරීරය දන්නවා ලෙඩට මුහුණ දීමට. ශරීරයට විසබීජ, බැක්ටීරියා පුරුදුයි. ඒ නිසා ඒවාට මුහුණ දීමට ශක්තිය තිබෙනවා. ඉහත දැක්වූ හමුදා බලය දුබල වනවා වාගේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු නම්, බිඳුණු බලයකට පහර දෙන්න වයිරසයකට පුළුවන් කම තිබෙනවා. අපේ රටේ සරම්ප, පැපොල, කම්මුල්ගාය වැනි වෛරසයන් සහිත රෝගී තත්ත්වයක් කොරෝනා වලදීද ක්‍රියාත්මකයි. තත්ත්වය වෛරසයක් ලෙස සමානයි. එහි බලය අඩු වැඩි වීම තිබෙනවා. පැපොල හැදුණු අයකුට එය හොඳ කරගන්න ක්‍රම ශිල්ප එදා සිටම අප දැනගෙන සිටියා. සති දෙකක් පමණ වෙනම කාමරයක සිටිනවා. ඒ රෝගියා සමඟ නිවෙසේ අය කිසිම ගනුදෙනුවක් නෑ. පිටස්තර අයත් ඇතුළු වීම නතර කරනවා. කොහොඹ අත්තක් හෝ ගොක් අත්තක් මේ පිටස්තර අය නිවසට යාම නතර කරන සංකේතයයි. වයිරසය සති දෙකක් පමණ සිටින විටදී ශරීරය තුළම ප්‍රතිශක්තිය නිපදවා ගන්නවා. ශරීරයේ බලය වැඩිවී පිටින් පැමිණි සතුරාගේ බලය අඩුවෙනවා. පැපොල හැදිල සුව වූ පසු නැවත හැදෙන්නෙ නැති බව අප දන්නා කරුණක්. ඒකට හේතුව පැපොල කියන විසබීජයට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය ශරීරය තුළම නිපදවෙන නිසයි.

කොළ අත්තක් එල්ලන්නෙ නිරෝධායනය ගෙදරක් කියන සංකේතය දෙන්නයි. වට පිට අය දන්නවා රෝගියෙක් සිටිනවා කියන එක. අද කොරෝනා වයිරසය හැදුණාම ගෙදර නිරෝධායනය කියන්නෙ එදා කරපු ප්‍රතිකර්මයමයි. එසේ නම් අපට තේරෙනවා එදා අපේ මුතුන් මිත්තන් රෝගයා තනි කර, අන් අය සමග ගනුදෙනු නොකර රෝගය බෝවීම නැතිනම් පැතිරීම පාලනය කර ගත්තා කියලා.

මෙහිදී දැනගත යුතු අනෙක් ප්‍රධානම දේ තමයි මානසිකව දුබල අයට ප්‍රතිශක්තිය අඩුවෙනවා මානසිකව ශක්තිමත් අයට ප්‍රතිශක්තිය වැඩිවෙනවා කියන දේ. සුබවාදී පුද්ගලයකුගේ ශරීරයෙන් නිකුත් කරන්නෙ හොඳ රසායනිකයන්. අපි සුබවාදීව, ධනාත්මකව සිටින විට, එහෙම සිතන විට සතුටින් සිටීමට උදව්වන, ශරීරය ශක්තිමත් කරන රසායනිකයන් තමයි නිතරම නිකුත් වෙන්නේ. ධනාත්මක නියුරෝ පෙප්ටයිඩ්, ඍණාත්මක නියුරෝ පෙප්ටයිඩ් හිත උත්තේජනය කිරීමට මනෝ වෛද්‍යවරුන් දෙන බෙහෙත් වර්ග දෙකක්. සාමාන්‍ය මනුෂ්‍යයකු සතුටින් සිටිනා විටදී ලෙඩ හොඳ වෙනවා කියන්නෙ ඒ නිසයි.

කතාවක් තියෙනවානෙ ‘වැඩිය තරහ ගන්න එපා ඉක්මනින් නාකි වෙනවා‘ කියලා. ඒ කියමනෙත් කියන දේ සිදුවන්නේ මෙහෙමයි. තරහ ගන්නා විට නිකුත් වෙන්නේ අහිතකර රසායනකයන්. එවැනි රසායන නිසා ශරීරය තුළ සමතුලිතතාව බිඳෙනවා. එවිට කය රෝගී වනවා. කය රෝගී වන්නේ උචිත රසායනකයන් නැති නිසයි. කය නිරෝගී වීමට නම් උචිත රසායනකයන් තිබිය යුතුයි. ඒ සඳහා අප නිතරම සතුටින් සිටිය යුතුවා වගේම ධනාත්මකව සිතිය යුතුය. මා තුළ මේ ශක්තිය වර්ධනය කරගන්න ඕනෑ කියන අධිෂ්ඨානයෙන් වැඩ කරන්න ඕනෑ.

දැන් මේ කොරෝනා සමයේදී පවුලේ ගෘහණිය, අම්මා, බිරිය ලෙස ඔබත් වැඩ කරන්න ඕනෑ මේ ආකාරයටයි. පවුලේ අය කායිකව සංවර්ධනය කරන්න පෝෂ්‍යදායී ආහාර පාන බෙහෙත් හේත් දෙන්න ඕනෑ. මානසිකව ශක්තිමත් කරන්න දරුවන්, සැමියා සහ වැඩිහිටියන් සුබවාදී ව හිතන්න පුරුදු කරන්න ඕනෑ. මෙවැනි ධනාත්මක පෞරුෂ වර්ධන පාඨමාලා සෑදීමේ එක අරමුණක් තමයි ඔබට මේ කාරණය තේරුම් කර දීලා ලෙඩ නොවන ජාතියක් බවට පත් කරන්න අපේ දායකත්වය ලබාදීම.

ඒවායින් උගන්වනවා පුද්ගලයින්ට තමන්ගෙ හිතේ තියෙන ආකල්පය පොසිටිව් පැත්තට මාරු කරගන්න, ධනාත්මක පැත්තට මාරු කරගන්න. ඒ වගේම අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද? ප්‍රශ්න ගැටලු මෙච්චර කියන්නේ නැතුව ‘‘මම ශක්තිමත්. මම නිරෝගීයි. මට ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවනි. ලෙඩක් හැදුණොත් හොඳ වෙනවා‘‘ කියන මානසිකත්වය ඇතිකරගන්න ඕනෑ.

 

ධනාත්මක චින්තනය පිළිබඳ දේශක හා ලේඛක මහාචාර්ය

දයාරෝහණ අතුකෝරාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.