නිවස හැමවිට ම ආලෝකවත් වන්නේ කාන්තාවගේ අතින්

නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා
නොවැම්බර් 25, 2020

මීට වසරකට පෙර චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වුණු කොරෝනා වෛරසයේ බලපෑම මුළු ලෝකයම ආක්‍රමණය කරද්දී ශ්‍රී ලාංකේය අපටත් එයින් බේරෙන්නට නොහැකි වුණා.

එහෙත් ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය ඇමැතිතුමිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමන්, වෛද්‍යවරු, හෙද හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, ඇතුළු සෞඛ්‍ය සේවයේ සියලුම දෙනාත් විශේෂයෙන් කෝවිඩ් මර්දන කාර්ය සාධක බලකා ප්‍රධානී යුද හමුදාපති තුමන් සහ යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්, සහ මහජනතාව එක්ව පළමු කොරෝනා රැල්ල සාර්ථකව මැඬ පැවැත්වූවා. එහිදී මේ පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට සුවිශේෂී දායකත්වයක් දැක්වූ චරිතයක් වූයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතායි.

දැන් යළිත් අපි දෙවැනි කෝවිඩ් රැල්ලට හසුවී සිටින්නෙමු. මේ වනවිට රණ විරුවන් සුව විරුවන් සහ රජය එක්වී එය මැඩපවත්වන්නට උත්සාහ ගනිමින් සිටින අතර මහජනතාව ලෙස අපට එයට ගොදුරු නොවී සිටින්නට වගකීමක් පැවරී ඇත. නව සාමාන්‍යකරණය යටතේ අපේ එදිනෙදා ජීවිතය ගෙවන්නට අපට සිදුව ඇත.

පවුලේ පෝෂණය පමණක් නොව පවුලේ සෞඛ්‍යය ගැනද වගකීම දරන මව, බිරිය, ගෘහණිය වන ඔබට ඒ සඳහා සුවිශේෂී වගකීමක් පැවරෙන අතර, මේ ඒ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඔබව දැනුවත් කරන්නට 'තරුණී' සමඟ එක්වූ අවස්ථාවයි. .

කොරෝනා වලින් ප්‍රවේසම් වීමට ගෙදර කාන්තාවගේ කාර්‍ය භාරය කුමක්ද ?

අද රටේ පවතින කොරෝනා සමග කාන්‍තාවට ලොකු වගකීමක් තියෙනවා. ගෙදරින් පිට හැම අවස්ථාවකදීම මුහුණ ආවාරණ පැළඳීම, අත් පිරිසුදු කිරීම, සෑම විටම තම ස්වාමි පුරුෂයාට දරුවන්ට මතක් කර දෙන්න ඕනෑ. ගමනක් ගොස් ගෙදර එන සෑමවිටම බිරිය අහන්න ඕනෑ ඔහොම ඉන්න අත් දෙක සබන් ගා හෝදා ගත්තද ? අඳගෙන ගිය ඇඳුම් පැළදුම් සෝදන භාජනයට දැම්මද? කියන දේ. එසේම පිටස්තර අයෙක් තම නිවසට පැමිණි සෑම අවස්ථාවකදීම ඒ අය සමග සමීප සම්බන්ධතා අඩුකර ගන්නත් ඇය බුද්ධිමත් වෙන්න ඕනෑ. එලෙසම නෑදෑ හෝ හිතවත් ගෙදරකට ගිය විටදී සෞඛ්‍ය නීතිරීති අකුරටම පිළිපදින්නට පවුලේ අය දැනුවත් කළ යුතුයි.

ගෙදර උපන් දිනයක්, දියණියකගේ වැඩිවිය පැමිණීමක් හෝ එවැනි පුංචි සැමරීමක් කරන්නට තහනමක් තිබේද? නැතිනම් ඒ සඳහා කෙසේ ක්‍රියා කළ යුතුද?

තමන්ගේ ගෙදර සාමාජිකයකුගේ උපන්දිනයක් හෝ ගැහැනු දරුවකුගේ වැඩිවිය පැමිණීමක් සිදු වූ විටදී මවුපියන් ගෙදර අය පමණක් සහභාගිවී නැකැත් චාරිත්‍ර පවත්වා පුංචි සතුටක් විඳීමට හැකියාව තිබෙනවා. නමත් අනෙකුත් නෑදෑයින්ට හෝ හිතවතුන්ට ඒ සඳහා සහභාගි වීමට අවස්ථාවක් නැහැ. ඒ වගේ අවස්ථාවක නෑදෑ හිතවතුන්ට කෝවිඩ් නිසා කරන්න බැහෑ අමනාප වෙන්න එපා කියලා සුහදව දැනුම් දීමක් කරන්න.

මංගල උත්සවයක් පැවැත්වීමට අවුරුදු ගණනකට පෙර සිට සැලසුම් කළ අය කළ යුතු වන්නේ කුමක්ද ?

හුදෙකලා නොකළ ප්‍රදේශයක නම් පනස්දෙනකුට සීමා කර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය නීතිරීති වලට අනුව පුංචි ප්‍රමාණයෙන් මංගල උත්සවය පවත්වන්න අවස්ථාව තිබෙනවා. නමුත් හුදෙකලා කර වසා ඇති පොලිස් බල ප්‍රදේශවල කොහෙත්ම කළ නොහැකියි.

අප කාන්තා පරපුර හැමවිටම ලස්සනට ඉන්න හරි කැමැතියි. අද රූපලාවණ්‍යාගාර විවෘත කරන්න පුළුවනි ද? එහි සේවය ලබාගන්නේ කෙසේද?

හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යා යුතු ආකාරය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළ පැහැදිලිව දක්වා තිබෙනවා. (නීති මාලාවක් සහිත)ගයිඩ්ලයින් එකට දැනුම් දීමක් කර දැඩි සෞඛ්‍ය නීති රීති අනුව රූපලාවණ්‍යාගාර විවෘත කළ හැකියි.

කෝවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල සමඟ අප ජීවත් විය යුත්තේ නව සාමාන්‍යකරණය ට අනුවයි. ඒ අනුව කාන්තාවන්ට පැවරෙන විශේෂ වගකීම් ගැන දැනුවත් කළොත්

විශේෂයෙන් කාන්තාවට කිව යුතු වන්නේ නිවෙසක් හැමවිටම ආලෝකවත් වන්නේ කාන්තාව නිසයි. මේ අවස්ථාවේදී ඔබට ගෙදරදී මෙන්ම කාර්‍යාලයේදී, වැඩපොළේ දී ඇඟලුම් කර්මාන්තශාලාවේදී ඔබට ලොකු වගකීමක් පැවරී තිබෙනවා.

ඔබගේ නිවෙස තමන්ගේ ස්වාමි පුරුෂයාට දරු දැරියන්ට ප්‍රිය මනාප ස්ථානයක් ලෙසට පවත්වා ගෙන යන්න කටයුතු කළ යුතුයි. එසේ නොවුණහොත් අනාගතයේදී අවුරුදු දෙකක් වත් රට වසා තබන්න වෙනවා. එයින් බේරාගැනීමට කාන්තාවගේ දායකත්වය ඉතාම ඉහළයි.

ගෙදර ප්‍රියමනාප ලෙසට පවත්වා ගෙන යන්න සෑම විටම හිතට ගන්න. එසේ නොවුණහොත් ගෙදරටම වී සිටීම එපා වෙනවා. වෙනදාට වැඩියෙන් කැපවීම් කර හැම වෙලේම තැනට සුදුසු අයුරින් කටයුතු කරන්න. සමහර අයගේ නිවස ලොකු වත්තක පිහිටා තිබෙන්නට පුළුවනි. එහෙත් බොහෝ නිවාස නිවෙසක් පුංචි මිදුලක් සහිත වෙන්න පුළුවන්. තවත් අයකුගේ නිවෙස නිවාස සංකීර්ණයක, තට්ටු නිවාස සංකීර්ණයක පිහිටා තිබෙන්නට පුළුවනි. ඒ වගේ පිහිටා ඇති අවස්ථාවල එළියට බැසීමට යා යුතු වන්නේ ඊළඟ නිවස අසලින්. මෙලෙස විවිධ තැන්වල පදිංචි ව් සිටින කාන්තාවට එක එක වගකීම් තිබෙනවා. විවිධ පිහිටීම් අනුව මෙය වෙනස් වෙනවා. අන් අයටද සෑම විටම ප්‍රමාණවත් අයුරින් පමණක් උපදෙස් දෙමින් අම්මා කෙනෙක් හැටියට ද තිබෙන වගකීම් අති විශාලයි. ගෙදර සිටින සෑම අයෙක්ම සතුටින් සිටින අයුරින් ක්‍රියා කරන්න කිසිම අයුරින් සිත නරක් කර ගන්න එපා. විශේෂයෙන් දරුවන් මේ වෙලාවේ සිටින්නේ ලොකු මානසික තෙරපීමක හැම වෙලේම පාඩම් කරන්න කියමින් පැය 24 පුරාම දරුවන්ට කරදර කරන්න එපා. හැම වෙලේම රුපවාහිනිය ළඟට වී සිටින්නත් එපා. ඒවට අනුචිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න. එදා ගමන් බිමන් යමින් විවිධ පරිසර වලට අනුගත වූ මනස බිත්ති හතරකට වටවී සිටින විටදී මානසිකත්වය ගැන හොඳටම සැලකිලිමත් වී සතුටින් ජීවත් වන්න. ඉදිරියේදී කෝවිඩ් වලින් ජයගන්න අපට හැකි වේවි.

ඔබ ට ජය හා සතුට