කොරෝනා රෝගයට ගොදුරු වුණු මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් කියන කතා

නොවැම්බර් 25, 2020

මුළු ලොවම භීතියට පත්කරමින් පැමිණි කොරෝනා වසංගතයේ පළමු රෝගියා හමුවී වසරක් ගෙවී අවසානයි. නමුත් තවමත් එම බියකරු බවෙහි අඩුවක් දක්නට නොලැබෙන අතර දිනෙන් දින ඊට බිලිවන ජනගහනය ද වැඩිවෙමින් පවතී.

පසුගිය මාර්තු මාසයේ දී මෙරටින් ද කොරෝනා රෝගීන් හමුවන්නට පටන් ගත් අතර ලොකු කුඩා සියල්ලන්ගේම වෙහෙස මහන්සිය හමුවේ එය සාර්ථකව මැඩපවත්වා ගන්නට අපට හැකියාව ලැබුණි.

පළමු කොරෝනා රැල්ල නිමවා නිදහසේ හුස්මක් කටක් ගන්නට සිතුවා පමණි. නොසිතූ මොහොතක එහි දෙවැනි රැල්ලක් ද පැමිණියේ පෙරටත් වඩා බිහිසුණු ඛේදවාචකයක් අපට උරුම කරමිනි.

දෙවැනි කොරෝනා රැල්ල මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක හරහා මතුවුණු අතර පසුව එය පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය දක්වා ව්‍යාප්ත වී මේ වනවිට ලංකාවේ බොහෝ ප්‍රදේශ කරා පැතිර ගොස් ඇති බවත් දක්නට ලැබේ. මේ දෙවැනි රැල්ල පැමිණීම පිළිබඳ විවිධ මතිමතාන්තර ඉදිරිපත් වන අතර එය ඉන්දියාවෙන් පැමිණි බවක් ඇතැමෙක් පවසති. තවත් අයෙක් ප්‍රකාශ කරන්නේ යුක්රේන ජාතිකයකු හරහා මෙරටට පැමිණි බවකි.

ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඉහළ විදේශ විනිමයක් රැගෙන එන ඇඟලුම් කර්මාන්තයට මෙය සුවිශාල කළු පැල්ලමක් ඇති කළ සිදුවීමක් මෙන්ම විශාල පාඩුවක්ද විය. දිවා රෑ නොබලා ශ්‍රමය වැය කරනා මේ රටේ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් බොහොමයක් මේ හරහා පීඩාවට, අසරණ තත්ත්වයට පත් වූහ. ඔවුන්ගේ සිත් බිඳීම් බොහොමයකි.

මේ වන විට තවත් ඇඟලුම් කම්හල් කිහිපයකටම කොරෝනා වසංගතය පැතිර ගොස් හමාරයි. මේ තත්ත්වයට මුලින්ම මුහුණ දුන් බොහෝ සේවක සේවිකාවන් මේ වනවිට සිය රෝගී තත්ත්වයන්ගෙන් සුව වී නිරෝධායන කටයුතු ද අවසන් කර තිබේ.

නොසිතූ මොහොතක නොපැතූ ඛේදවාචකයකට මුහුණ දුන් ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳ අපි සොයා බලන්නට සිතුවේ එය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රෝගයෙන් බේරෙන්නට, හදිසියේ හෝ රෝගයට ගොදුරු වුවහොත් සමීපතමයන්ට සහ අන් අයට ව්‍යාප්ත නොවනසේ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වන්නට හොඳ අවස්ථාවක් විය හැකි බැවිනි.

කොරෝනා රෝගී අවස්ථාවේ මෙන්ම, නිරෝධායනයේ දී ඔවුනට හැඟුණු දැනුණු දේ මොනතරම් ද? එන්න... අප ඔවුන්ගේ සිතිවිලි.... ඒ දුක බෙදා හදා ගනිමු.

----------------------------------

මට කොරෝනා හැදුණා කියලා දැනගත්තාම මගේ දුවයි, පුතාලා දෙන්නයි හරියට ඇඬුවා

 

බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයකු වුණු 24 වැනි ලයින් එකේ ලොකු අක්කා කොටදෙනියාවේ ධමිමිකා

කටුපොත පොලිස් වසමේ කොටදෙනියාව ගමේ පදිංචි ඇය ධම්මිකා මල්කාන්ති ජයලත්. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවයට සම්බන්ධ වෙන්නේ 2011 වසරේ දී. ඇය දියණියකගේ මෙන්ම පුතාලා දෙදෙනකුගේ ආදරණීය මවක්.

"මගේ නම ධම්මිකා වුණාට හැමෝම මට කතාකරන්නේ ධම්මි කියලයි. මැෂින් ඔපරේටර්වරියක් වුණු මම තමයි 24 වැනි ලයින් එකේ ලොකු අක්කා."

දෙවැනි කොරෝනා රැල්ලේදී පළමුවැනිම රෝගියා හඳුනාගත්තේ ඔබේ ආයතනයෙන්.

"ඔව්. එයා නිලූ. නිලූ තමයි 23 වැනි ලයින් එකේ ලීඩර්. ඇයව අසනීප වුණු වෙලාවේ සික් රූම් එකට එක්කගෙන ගියෙත් මමයි, තව නංගි කෙනකුයි."

ඔයාලාට නිකමටවත් සැක හිතුණේ නැතිද මේ රෝගී තත්ත්වය පිළිබඳව?

"පොඩ්ඩක්වත්ම නැහැ. අපි ඉතිං හිතුවෙම මේ වෛරස් උණක් බෝවෙලා කියලා. පහුවදා එයා ගැන හොයලා බලද්දී හුස්ම ගන්න අමාරු නිසා රෝහලට ගෙනගියා කියලා දැනගත්තත් මෙහෙම දෙයක් කියලා නිකමටවත් හිතුණේ නෑ."

නිලූට කොරෝනා පොසිටිව් කියලා දැනගත්තාම මොනවද හිතුණේ?

"එකපාරටම මට සිහිවුණේ අනේ දෙවියනේ මමනේ එයාව සික්රූම් ගෙනිච්චේ කියලයි.

මොකද එදා නිලූගේ ඔළුවේ, පපුවේ මමයි අර නංගියි සිද්ධාලේප එහෙමත් ගෑවා. මොකද මම අසනීප කිහිපයකටම ගොදුරු වුණු කෙනෙක්. 2013 අවුරුද්දේ දී මට ගර්භාෂගත පිළිකාවක් හැදිලා නොසෑහෙන්න දුක් වින්දා. ආයෙමත් 2018 වසරේ දී මගේ කොඳුඇට පෙළ ආශ්‍රිතව පැය 5 1/2 ක ඔපරේෂන් එකක් කළා. ඉතිං විවිධ රෝගාබාධවලින් බැටකාපු මම මේ වෙලාවෙදි හරියට කලබල වුණා. මම ඉතිං දන්න හැමෝටම මේ විස්තරය කියලා කෝල් කළා. පහුවදා අපිව ආයතනයට ගෙන්වලා PCR කළා."

මේ වෙලාවේ පවුලේ අනෙක් අයගේ හැසිරීම කොහොම වෙන්න ඇතිද?

"අනේ මගේ දුවයි, පුතාලා දෙන්නයි හරියට ඇඬුවා. විශේෂයෙන්ම මගේ නැන්දම්මා, නෑනා පුදුම විදිහට දුක් වුණා. මට මතකයි ඔය පණිවිඩය ආවේ පාන්දර වෙලාවක. එවේලේ ඉඳන් අපේ පවුලේ කාටවත් නින්දක් නෑ. දුව කියනවා අම්මේ ඔයාටත් ඒ රෝග ලක්ෂණ තියෙනවා නේද? ඊයේ පෙරේදා ඔයාට ගඳ සුවඳ දැනුණේ නෑ නේද? මේ දවස්වල ඔයාගේ බත්කෙණ්ඩ පෙරලුණා නේද? ඔය වගේ දේවල් මට මතක් කළා."

ඒ කියන්නේ PCR වාර්තාව එන්නත් කලින්ම ඔයාට රෝග ලක්ෂණ පහළ වුණා ද?

"නැහැ. අපේ PCR කළාට පස්සේ ගෙවල් නිරෝධායනයට ලක් කළානේ. ඊට පසුවදා පාන්දරම අපිව නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනියන්න එනවා ලැහැස්ති වෙලා ඉන්න කියලා කෝල් එකක් ආවා. එතකොට එකපාරටම මට වාගේම ගෙදර අනෙක් අයටත් හිතුණේ මගේ වාර්තාව පොසිටිව් වෙන්න ඇති කියලා. හැබැයි මට කතා කරපු හමුදාවේ, පොලීසියේ වාගේ බුද්ධි අංශයේ නිලධාරීන් පමණක් නොවෙයි අපේ ආයතනයේ හැමෝම මගේ හිත හැදුවා. මේ විදිහට අපිව නිරෝධායනයට යොමු කළේ ගාල්ලට. එහිදී මමයි තව නංගි කෙනෙකුයි තමා කාමරයක හිටියේ. ඉතිං මම පොසිටිව් ඒ නංගි නෙගටිව්. හැබැයි ඒ වෙලාවෙදි ඇය මට සහෝදරියක්, මගේ දරුවෙක් වාගේ උදව් කළා. මගේ හිත ශක්තිමත් කළා. "

ඔබ කොරෝනා රෝගියෙකු ලෙසින් හඳුනා ගත් පසුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කළා.

"ඒ වෙලාවේ අපි 15ක් පොසිටිව් වෙලා හිටියා. කට්ටියක් නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් අනෙක් අය හම්බන්තොට රෝහලටත් රැගෙන ගියා."

රෝහලේ ඔබ ගතකළ කාලය කොහොමද?

"රෝහලට එන විට හරිම ආදරණීය විදිහට තමයි අපිව පිළිගත්තේ. අපි අතරේ ගැබිනි මවුවරු වාගේම කිරිදෙන මවුවරුන් හිටියා. ඉතිං අපිට හැකි ආකාරයට එයාලගේ අපහසුතාවලට උදව් කළා. හිත් හැදුවා. මොකද කිරිදෙන මවුවරුන් විවිධ අපහසුතා වලට වාගේම තමන්ගේ දරුවට කිරි ටික දීගන්න බැරිවෙනකොට හරිම අසරණ වෙනවා. අපිව බාරගත්තු ඩොක්ටර්ත් හරිම හොඳයි. රෝහල් සේවක මණ්ඩලයත් පුදුමාකාර සහයෝගයක් දුන්නා. එයාලා සංගීත ප්‍රසංග, පිරිත් සජ්ඣායනා වාගේ දේවල් සැලසුම් කරලා අපේ මනස පවා සුවපත් කළා.

ඒ වාගේම අපි රෝහලේ ගතකළ කාලය තුළ හැමෝම අපිව හොඳීන් බලා ගත්තා. අපි ඉන්නේ මේ වසංගත රෝගයක් හමුවේ කියන හැඟීම ඇත්තටම අපේ හිතට වද දුන්නේ නෑ."

දැන් ඔබ රෝහලෙන් නිවෙසට පැමිණ නිරෝධායන කාලයත් අවසන් කරලා.

"ඔව්. මම වාගේම මාගේ නිවැසියන්, මා ඇසුරු කළ හැමෝම නිරෝධායනය සඳහා රැගෙන ගියා. අනේ කියන්නත් සන්තෝෂයි මම හැර ඒ කිසිම කෙනෙක් මෙයට ගොදුරු වුණේ නෑ. අපේ ගමේ හැමෝම හොඳටම පරෙස්සම් වුණා. අපිත් එහෙමයි. අපි හැමෝටම දැන් නිරෝධායන සහතික ලැබුණා. මගේ ගමේ අය, නෑදෑ හිතමිතුරන්, මගේ පවුලේ සාමාජිකයන්, ග්‍රාමසේවක මහතා, ර්‍ථඩ්ධ් මහතා, පොලීසියේ මහත්වරුන්, හමුදා නිලධාරීන්, බුද්ධි අංශයේ නිලධාරීන් මේ හැමෝටම පුදුමාකාර සහයෝගයක් ලබාදුන්නා. තව අදටත් වැට අයිනට බඩු, භාණ්ඩ, රසවත් කෑම හදලා ගෙනැවිත් දෙනවා. ගමේ අය අපි වෙනුවෙන් භාරහාර වෙලා තිබුණා. ඒ හැමෝටම හිසනමා මම ආචාර කරනවා.

ඒ වාගේම අපේ ආයතනය ගැනත් කියන්නට ඕනේ. ඒ තමයි මගේ දෙවැනි ගෙදර.

කටුමැටි ගහපු ගෙදරක හිටපු මම මේ විදිහට ගෙවල් දොරවල් හදලා ලස්සනට ජීවත් වෙන්නේ බ්‍රැන්ඩික්ස් ආයතනය නිසා. මම අසනීප වුණු අවස්ථා දෙකේදීම අවශ්‍ය වියදම් දරලා මාව ජීවත් කෙරෙව්වේ මේ ආයතනය. අසනීප වෙලා මාස ගාණක් නිවෙසට වෙලා ඉද්දී මට බෙහෙත් වියදම්, ප්‍රවාහන පහසුකම් විතරක් නෙමෙයි නියමිත වැටුප සහ බෝනස් පවා ලබාදුන්නා. දුර ඈත තියෙන ළිඳට යන මට අද නිවෙස ඇතුළට ජල පහසුව ලබා දුන්නා. ඉතිං ඇත්තටම මගේ ආයතනයට මම ණයගැතියි.

මට විතරක් නෙමෙයි මේ විදිහට රෝහල් ගතවුණු, නිරෝධායනය වුණු හැමදෙනාම අපේ ආයතනය විසින් බලාගත්තා. රෝහල් ගතවුණු අපට බේසම, කෝප්පය, පිඟාන, පාවහන්, බෙඩ්ෂීට්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, පනාව, බුරුසුව, බිස්කට් වාගේ කෙටි කෑම පවා ලබාදුන්නා. අපේ මානසික ආතතිය දුරුකරන්න දාම් ලෑලි, කැරම් බෝඩ් පවා ලබාදුන්නා. අපි හැමෝගේම දුරකතන නිතරම සක්‍රීයව තබාගන්න රීලෝඩ් පවා දැම්මා. ඉතිං මම මේ දැන් පාර බලාගෙන ඉන්නේ කවදාද වැඩට යන්නේ කියලා. බ්‍රැන්ඩික්ස් මව්තුරුලේ මගේ සහෝදර සහෝදරියන් එක්ක යළිත් අත්වැල් බැඳගෙන ඉස්සර වාගේම හිනාවෙන්න මම මඟ බලනවා."

ඔයාගේ ආදර දියණිය ගැනත් කියන්නම ඕනේ කිව්වා නේද?

අනේ ඔව්. මගේ දුව මේ වෙලාවේ මට හරියට මවක් වාගෙයි. මම නැතිවුණාම හැමදේම හොයලා බලලා කරනවා. මල්ලිලාව, තාත්තාව බලාගත්තා විතරක් නෙමෙයි නිතරම කතා කරලා මගේ හිත ශක්තිමත් කළා. එයාලාගේ කඳුළු හංගාගෙන මගේ කඳුළු පිහින්න පුළුවන් වුණු දුවෙක්, පුතාලා දෙන්නෙක්, සැමියෙක් හිමිවුණු මම මොනතරම් වාසනාවන්ත ගැහැනියක් ද කියලා මට හිතෙනවා.

මේක අපේ ජීවිතවල කටුක අත්දැකීමක්."

 

---------------------

නිරෝධායනයට රැගෙන යන්න එනවා කිව්වහම පොඩ්ඩක් බය වුණා

 

-බල්ලපාන පදිංචි රසිකා නිරෝෂණී

දිවුලපිටිය, බල්ලපාන පදිංචි රසිකා නිරෝෂණී මහත්මිය ඇතුළු පවුලේ සියලුම සාමාජිකයන් ද මේ කොරෝනා උවදුරට ගොදුරු වූහ. ඇය ද මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මැෂින් ක්‍රියාකරවන්නියක ලෙස සේවය කරන අතර ඇයගේ අත්දැකීම් අප හා බෙදාහදා ගත්තේ මෙලෙසිනි.

"මම මේ ආයතනයට සම්බන්ධ වෙලා දැනට අවුරුදු 4යි. ජම්පර් කෙනෙක් ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ මැෂින් ඔපරේටර්වරියක විදිහට හදිසි සහ අමාරු ඕඩර්වලදී මගේ සේවය උපරිමයෙන් ලබාදෙනවා. ඒ නිසා මටම කියලා වෙන්වුණු ලයින් එකක් නැහැ. මම සැමතැනම වැඩ කරනවා. මේ සිදුවීම වෙනකොට මම වැඩ කළේ 13 කණ්ඩායමේ."

ඔබේ ආයතනයෙන් පළමුවෙන්ම හඳුනාගත් නිලූ ඉන්නෙත් ඔබේ ගම් පළාතෙම නේද?

"ඔව්. නිලූ හොරගස්මුල්ලේ. මගේ නිවෙස තියෙන්නේ බල්ලපානෙ හපුවලාන කියන ප්‍රදේශයේ. ඉතිං මට එයාව හමුවෙන්නේ නෑ. මොකද එකම ආයතනයේ වුණාට අපි වැඩ කළේ තැන් දෙකක. අනික මම සේවයට යන්නේ එන්නේ මගේ බයික් එකෙන්. ඉතිං අපි මුණගැහෙන්නේ නැතිතරම්."

එහෙමනම් පළමු රෝගියා හඳුනාගත්තා කියද්දී ඔබ බයවෙන්න නැතිව ඇති.

"ඇත්තටම ඉරිදා පාන්දර තමයි මට මේ ආරංචිය ආවේ. ඒ වෙලාවේ නම් බයක් දැනුණෙත් නැහැ. එදාම පොලිසියෙන් ඇවිත් නිරෝධායන බෝඩ් දැම්ම නිසා අපි කවුරුත් නිවෙසින් පිටතට ගියෙත් නැහැ. නිරෝධායනයට රැගෙන යන්න එනවා කිව්වහම පොඩ්ඩක් බය වුණා. ඒත් නිවෙසින් පිටත් වුණාට පස්සේ දන්න කියන යාළුවෝ හමුවුණහම ඒ බයත් නැතිව ගියා."

මේ වෙලාවෙදි පවුලේ අනෙක් අයගේ ප්‍රතිචාර කොහොමද?

"මගේ පවුලේ ඉන්නේ මමයි, මහත්තයයි, දුවයි, පුතයි. දරුවෝ තාම පාසල් යනවා. ඒ වුණාට එයාලා රටතොට පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණු දරුවෝ. ඉතිං මේ වෙලාවේ කලබල කළේ නෑ. මට රැගෙන යන්න අවශ්‍ය දේවල් පවා සූදානම් කළේ එයාලා.

හැබැයි මහත්තයා නම් ගොඩක් බය වුණා. මොකද එයා මේ ලෙඩේ තිබුණු භයානකකම දැනුවත්ව හිටි නිසා මම අවධානමක ඉන්නේ කියන එකයි, ගෙදර දොර වගකීම් දරුවන්ගේ වගකීම් මේ සියල්ලම දරන්න වුණේ ඔහුට. ඉතිං ඒ නිසාමදෝ මහත්තයා සෑහෙන්න කලබල වුණා.

අපිව නිරෝධායනය සඳහා රැගෙන ගියේ කන්දකාඩු වලට. එහාට යද්දී හොඳටම හවස් වුණා. ඒ යන අතරතුරේ වරින්වර අපේ කට්ටියගේ PCR වාර්තා පිළිබඳ තොරතුරු ලැබුණා. ඉතිං පළමු දවස අවසාන වෙනකොට වෙහෙස මහන්සිය වාගේම හිතට බයකුත් ආවා."

ඔබ කන්දකාඩුවල ඉඳලා වැලිකන්ද රෝහල වෙත යන්නේ PCR පරීක්ෂණය පොසිටිව් වුණු නිසා නේද?

"ඔව්. මගේ වාර්තා පොසිටිව් කියන එකත් මම බාරගත්තේ හරියට බලාපොරොත්තු වුණු දෙයක් හැටියට. මොකද අපි වැඩ කරද්දී හැමෝම එකටමයි ඉන්නේ. ඉතිං මම හිතුවා මේ ලෙඩේ මටත් බෝවෙලා ඇති කියලා. ඒ ගැන ගෙදර අයට කියද්දී එයාලත් බය වුණා. මොකද ඒ වෙනකොට එයාලත් නිරෝධායනයට රැගෙන යන්න සූදානම් වෙමින් හිටියේ.

හැබැයි කන්දකාඩුවලින් වැලිකන්ද රෝහලට යන්න ගිලන්රථයට නගිද්දී මම මේ යන්නේ මගේ අන්තිම ගමන දෝ කියලත් හිතුණා. ඒ වාගේම ජීවිතයේ යථාර්ථය මේක නේද කියලත් දැනුණා. මගේ මිලමුදල්, රන් ආභරණ කොයිතරම් තිබුණත් මහත්තයා, දරුවෝ, අම්මා, තාත්තා හිටියත් ඒ හැමෝම දාලා යන්න වෙනවානේ කියන සැබෑ තත්ත්වය මට තේරුම් ගියා."

ඔබටත් මෙහි රෝග ලක්ෂණ මතුවුණේ නෑ.

"ගඳ, සුවඳ නොදැනෙන එක හැරුණුවිට කෑමවල රහත් දැනුණේ නෑ. අපි හැමෝටම වාගේ වෙන අපහසුතා තිබුණේ නැහැ. අපි ඉතිං උණුවතුර බිව්වා, දුම් ඇල්ලුවා, වරින්වර ලුණු මිශ්‍ර වතුරෙන් උගුර හේදුවා.

අපිට දිනපතාම පැණි දොඩම් ගෙඩියක්, යෝගට් එකක් එහෙම ලැබුණා. ඉතිං මේ දොඩම් ලෙලි උණුවතුරට දමලා අපි දුම් ඇල්ලුවා.

මේ වෙලාවේ මම අපේ ආයතනය ගැනත් කියන්නම ඕනේ.

අපට අවශ්‍ය නියපොතු කපන කටර් එකේ සිට සීනි, තේකොළ, සමහන්, බිස්කට්, රටඉඳී වාගේ කෑම ද්‍රව්‍ය ෂැම්පු, සබන්, ටූත්පේස්ට්, සෙරෙප්පු, බේසම්, බෙඩ්ෂීට්, යට ඇඳුම් පවා ලබාදුන්නා. නිරතුරුවම ඔවුන් අපට කතා කළා අපේ මනස හැදුවා.

කෝල් ගන්න රීලෝඩ් දැම්මා. පුදුමාකාර සහයෝගයක් ලබාදුන්නා.

ඒ විතරක් නෙමෙයි මගේ නිවෙස අසලමයි අපේ අම්මයි, තාත්තයි ඉන්නේ. එයාලා වයස්ගතයි. මම තමයි ඔවුන්ව බලාහදා ගත්තේ. ඉතිං මම නැතිවුණාට මගේ ආයතනය ඔවුන් රැකබලා ගත්තා. හැමදේම ගෙනත් දීලා තිබුණා."

ඔබ වාගේම සැමියා සහ දරු දෙදෙනාටත් මේ කොරෝනා පොසිටිව් වුණා.

"දරුවන් සහ සැමියා නිරෝධායනයට රැගෙන ගියේ අයියකච්චිවලට. එහිදී දුවට තමයි මුලින්ම පොසිටිව් වුණේ. ඒ වෙලාවේ මම මගේ ආයතනයට කතා කරලා දුවව මා ළඟට ගෙනත් දෙන්න කිව්වා. ඒක සෑහෙන දුෂ්කර ගමනක් වුණත් මා වෙනුවෙන් එය ඉටු කළා. දුව මගේ ළඟට ආවහම දුවට වාගේ මටත් අමුතුම ශක්තියක් ලැබුණා වාගේ වුණා. පසුව තාත්තා සහ පුතාව ඉරණමඩුව රෝහලට ඇතුළත් කර තිබුණා.

දැන් අපි හතරදෙනාම නැවතත් නිවෙසට පැමිණියා. තාමත් නිවෙසින් පිටතට යන්නේ නැහැ. මේ වෙලාවේ මගේ ආයතනයට වාගේම අපේ අහළ පහළ අයට, ග්‍රාමසේවක කිත්සිරි මහතා, සායක්කාරමුල්ල වාළුකාරාම පන්සලේ පොඩි හාමුදුරුවෝ, මගේ සහ මහත්තයාගේ නෑදෑ හිතමිතුරන්, දරුවන්ගේ පාසල්වල ගුරුවරුන් මේ හැමෝම අපට පුදුමාකාර විදිහට උදව් කළා. අපි ගැන හොයාබැලුවා. තව අදටත් කෑම බීම මේ වැට ගාවට ගෙනත් දෙනවා. මගේ අම්මා, තාත්තා ගැන බැලුවා. ඉතිං ඒ හැමෝටම පින්.

ඒ වාගේම මේක අපේ ජීවිතවල භයානක අත්දැකීමක්. ඒත් ඒ හැඟීම අපට නොදැනෙන්න අනෙක් හැමෝම උදව් කළා. ඉතිං මට හිතෙනවා කරදරයක දී පිහිට වෙන්න මේ තරම් කට්ටිය ඉන්න මම කොයිතරම් වාසනාවන්ත ද කියලා."

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.