චතුර ලෙස ඉංග්‍රීසි සහ හින්දි භාෂා කතා කරන නයිවල සෙනුර පුතා ගැන මව්පියන් කියන කතාව

ජනවාරි 6, 2021

අපි ඒ වීඩියෝ එක දැම්මේ පුතාට හොඳ ඉස්කෝලයක් හොයා ගන්නයි

පියා නිමල්

‘නයිවලින් හමුවූ අරුම පුදුම කොලු පැංචා ‘

ඉංග්‍රීසි සහ හින්දි භාෂාව චතුර ලෙස කතා කරන නයිවල පදිංචි පුංචි සෙනුර ගැන මුලින්ම අන්තර්ජාලයේ වීඩියෝවක් මුදා හැරෙන්නේ මීට මාසයකට දෙකකට පෙරයි.

මෙය ඉතාමත් වේගයෙන් ජනතාව අතර ජනප්‍රිය වන අතර මාධ්‍යවේදී හරේන්ද්‍ර ජයලාල් ගොස් සෙනුර සමඟ කතා බහ කරන වීඩියෝව ප්‍රචාරය වන්නේ ඉන් අනතුරුවයි. මෙයින් පසු වයස අවුරුදු 7ක් වන සෙනුර පිළිබඳව අපේ රටේ පමණක් නොව ලොව පුරාම කතා බහට ලක්වෙනවා.

සෙනුර පදිංචිව ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නයිවල ප්‍රදේශයේ. කාර්මිකයකු වන ඔහුගේ පියා ඩීසල් වාහන අලුත්වැඩියා කරන ගරාජයක් පවත්වාගෙන යනවා. අම්මා ජෙනීටා. ගෘහණියක්. සෙනුරට ඉන්නේ අක්කලා දෙන්නෙක්. සාමාන්‍ය පවුලක ඉපදුණු සෙනුරට ඉතාමත් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවත් හින්දි භාෂාවත් කතා කරන්න පුළුවන්. ඒ වගේම ඔහුට ඩයිනසෝරයන් පිළිබඳව අභ්‍යවකාශය පිළිබඳව මෙන්ම විවිධ විද්‍යාත්මක කරුණු පිළිබඳව ඇත්තේ විස්මිත දැනුමක්.

කල්පනා චව්ලා කියන්නේ අභ්‍යවකාශයට ගිය ප්‍රථම ඉන්දීය කාන්තාව. ඇය අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක්. පසුකාලීනව අමෙරිකාවේ පදිංචියට යන ඇය 2003 වසරේදී අභ්‍යවකාශ ෂටල කොලොම්බියා යානය අනතුරකට ලක්වීමෙන් මියයනවා. සෙනුර පුතා වරින් වර කර ඇති ප්‍රකාශ වලට අනුව, ඔහු කල්පනා චවිලාගේ යළි ඉපදීමක් ලෙස බොහෝ දෙනෙක් උපකල්පනය කරමින් වීඩියෝ කිහිපයක්ම අන්තර් ජාලයට මුදා හැර තිබෙනවා.

මේ කතාවේ ඇත්ත නැත්ත හරියටම දැනගන්න අපි පසුගියදා සෙනුර ජීවත්වන නයිවල පිහිටි ඔහුගේ නිවෙසට ගියෙමු. ලැබුණු ජනප්‍රියත්වයත් සමඟ වරින් වර විවිධ පුද්ගලයන් පැමිණ කතා බහ කරන්නට උත්සාහ ගැනීම නිසා සෙනුර අමුත්තන් සමඟ කතා බහ කරන්නට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ.

අප මුලින්ම මේ අපුරු දරුවා මෙලොවට බිහිකළ මව සමඟ කතා බහට මුල පිරුවා.

මගේ නම ජෙනීටා ෆොන්සේකා. ගම වේයන්ගොඩ. මහත්තයා වීරසිංහ ආරච්චිගේ නිමල්. අපි දෙන්නා විවාහ වෙන්නේ ආදර සම්බන්ධතාවයකින්. පාසල් ගමනින් පස්සේ මම රැකියාවක් කළා. ඒ යන අතර තමයි මට මහත්තයාව හම්බවුණේ . අපි විවාහ වුණේ 1996 අවුරුද්දේ. අපි මුලින්ම පදිංචිවෙලා හිටියේ මහත්තයාගෙ මහගෙදර. එයා එදා ඉඳලා කළේ මිකෑනික් වැඩ. මට ඉන්නේ දුවල දෙන්නයි පුතයි. ලොකු දුව රශිකා ගිම්හානි. අවුරුදුු 23ක් වෙනවා. දැන් එයා විවාහකයි. එයාටත් පුංචි පුතෙක් ඉන්නවා. දැන් අවුරුදු එකහමාරක්. දෙවැනි දුව රශිනි ඉමාෂා. එයාට වයස අවුරුදු 19යි. තුන් වැනියා තමයි මේ සෙනුර පුතා. එයාගේ නම සෙනුර අනුහස් වීරසිංහ. සෙනුර පුතා ඉපදුණේ 2013 අවුරුද්දේ. වතුපිටිවල ඉස්පිරිතාලෙ.

සෙනුර කුසේ ඉන්නවිට කිසියම් විශේෂත්වයක් අම්මාට දැනුණා ද?.

නැහැ. මට කිසිම විශේෂත්වයක් තිබුණේ නැහැ. දරුවන් තුන්දෙනාම සාමාන්‍ය ලෙස තමයි ඉපදුණේ.

දියණියන් දෙදෙනෙක් ලැබිලා ඉන්නවිට තෙවැනියා පුතෙක් වුණොත් හොඳයි කියලා හිතුවාද?

දුවලා දෙන්නෙක්ම හිටපු නිසා පුතෙක් හම්බවෙනවාට අපි දෙන්නාම කැමැත්තෙන් හිටියේ. මොකද පුතෙක් නැති අඩුව අපිට දැනුණා. ඒත් හිතුවේ නැහැ පුතෙක් ලැබෙයි කියලා. අපි ස්කෑන් කරලාවත් බැලුවේ නැහැ. ලැබෙන ඕනෑම දරුවෙක් බාරගන්න තමයි සූදානමින් හිටියේ. දුවල දෙන්නාට පස්සේ පුතා ලැබුණාම ගොඩක් සතුටු හිතුණා.

අක්කලා දෙන්නාගේ ආදරය මැද පුතා හැදෙද්දී ටිකෙන් ටික ලොකු වෙද්දී කිසියම් වෙනසක් දුටුවාද?

ඇත්තටම වෙනසක් දැනුණා. ටිකෙන් ටික ලොකු වෙද්දී අක්කලා දෙන්නාට වඩා පුතා වෙනස් බව දැනුණා. කෑම බීම වුණත් වෙනස්. එයා දැවිල්ල දේවල් කන්න කැමැති නැහැ. බත් කන්න වුණත් වැඩි ආසාවක් නැහැ. මිරිස් අඩුවෙන් තමයි කන්න කැමැති. පලතුරු කන්න ආසයි.

දැන් පුතාගේ වයස අවුරුදු 7යි.

එයාට අකුරු කියවපු දවස මතකද?

එයාට අකුරු කියෙව්වේ අවුරුදු තුනේදී. මම තමයි අකුරු කියෙව්වේ. මොන්ටිසෝරි යනකොට වුණත් එයාට අකුරු ලියන්න කියන්න බැහැ. වේයන්ගොඩ ප්‍රදේශයේ පෙර පාසලකට තමයි ගියේ. අක්කලා එක්ක සෙල්ලම් කළත් එයා වැඩියෙන්ම ආසා වුණේ සත්තුන්ට. ඒ නිසා අපි එයාට සත්තුන්ගේ සෙල්ලම් බඩු තමයි ගෙනත් දුන්නේ. හැම දේටම සත්තු තමයි ඉල්ලන්නේ වෙන සෙල්ලම් බඩු නැහැ. ඒ අතරින් ඩයිනසෝරයන්ට ගොඩක් කැමැතියි.

බහ තෝරන වයසේදී පුතා මොනවද කිව්වේ.

සාමාන්‍ය විදියට සිංහලෙන් කතා කළා. ඒත් මොනවා හරි ඇහුවාම ඉංග්‍රීසියෙන් උත්තර දෙනවා නම් හරිම කැමැතියි. මොන්ටිසෝරි යන වයසේදී ගොඩක් දේවල් ගැන ප්‍රශ්න අහනවා. ඉංග්‍රීසියෙන් කියන්න කියලා තමයි කියන්නේ. එයාට ඉංග්‍රීසියෙන් කියන දේ හොඳට තේරුණා. ඒ බව අපටත් දැනුණා.

මට ඉංග්‍රීසි ගැන තියෙන්නේ සාමාන්‍ය දැනුමක්. මහත්තයාට නම් තරමක් දුරට ඉංග්‍රීසි භාෂාව පුළුවන්. පුංචිම කාලේ ඇහුවේ පොඩි පොඩි දේවල්. ඒවාට අපි උත්තර දුන්නා. පස්සේ ටිකෙන් ටික ලොකු වෙද්දී තමයි අපිට එයා අහන දේවල් වලට උත්තර දෙන්න අමාරු වුණේ. මොකද අපි දැන් තමයි දන්නේ පුතා ඉංග්‍රීසි කතා කරන්නේ පිටරටවල අය කතා කරන විදිහට කියලා. ඉංග්‍රීසි හොඳට දන්න අය කියනවා පුතා හොඳ දැනුමකින් ඉංග්‍රීසි කතා කරනවා කියලා.

පුතාගේ හැසිරීම් වල පැහැදිලි වෙනසක් දැනුණේ කොයි විදිහටද?

දුවලා දෙන්නාම ඉස්කෝලෙ ගියාම මම වැඩපල කර ගන්න පුතාට ටී වී එක දාලා දෙනවා. එයා ගෙට වෙලා තනියම තමයි ඉන්නෙ. එහෙම වෙලාවට එයා පුටුව උඩ වාඩිවෙලා භාවනා කරනවා වගේ ඉන්නවා දැකලා තියෙනවා. එහෙම වෙලාවට මම ඇහුවාම කියන්නේ එයා භාවනා කරනවා කියලා. එහෙම කිව්වාට අපි එච්චර හිතුවේ නැහැ.

මහත්තයාගේ ගැරේජ් එකට වාහන හදන්න ගොඩක් පිරිසක් එනවා. එහෙම නිතර එන යන අය මෙයා ගැන දන්නවා. මොකද පුතා තාත්තා එක්ක හින්දියෙන් කතා කරනවා. ඉංග්‍රිසියෙන් කතා කරනවා. ගැරේජ් එකට නිතරම එන මහත්තුරු එක්කත් පුතා ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒ විදිහට පුතා ගැන මේ පැත්තේ අය දැනගෙන හිටියේ.

පුතා මේ තරම් ජනප්‍රිය වුණේ යූ ටියුබ් වීඩියෝවෙන් පස්සේ.

ඔව් දවසක් අහම්බෙන් වගේ තමයි සේනක මහත්තයා පුතා එක්ක කතා කරලා ඒක ඉන්ටනෙට් එකට දැම්මේ. ඒ මහත්තයා පුතා එක්ක කතා කරලා කාගෙද මේ ළමයා කියලා අහලා. අපේ දරුවා කියලා දැනගත්තාම නිමල් එක්ක කතා කරලා තමයි ඒ වීඩියෝව කළේ.

පුතා මේ භාෂාවල් කතා කරන්න ඉගෙන ගත්තේ කොහොමද?

පුංචි කාලෙ පුතා හින්දියෙන් කතා කරන කොට අපි හිතුවේ ටී වී එකෙන් ඉගෙන ගෙන කියලා. මොකද ගෙදර අපි සාමාන්‍යයෙන් ඒ භාෂා කතා කරන්නේ නැහැනෙ. තාත්තා රට හිටපු හින්දා එයාට චුට්ටක් හින්දි පුළුවන්. ඒකෙන් තමයි අපි දැන ගත්තේ පුතාට ඒ භාෂාව හොඳට පුළුවන් කියලා. මෙතනට එන ඒ භාෂා දන්න අය එක්ක කතා කරද්දී ඒ අයත් කිව්වා පුතා හොඳට ඒ භාෂා ගැන දන්නවා කියලා.

 

මේ දරුවා දැන් ලෝකයේම ජනප්‍රියයි. පුතාගේ ඉදිරි අනාගතය මොනවගේ වේවිද අම්මා කෙනෙක් හැටියට මොකද හිතෙන්නේ.

පුතාට තියෙන දැනුමත් එක්ක හොඳට ඉගෙන ගනීවි කියලා තමයි හිතෙන්නේ. ඉදිරියට යයි කියලා හිතෙනවා.

අභ්‍යවකාශ අනතුරකින් මියගිය ඉන්දියානු ජාතික ඉංජිනේරුවරියක වන කල්පනා චව්ලා යළි ඉපදීමක් කියලා කියන එක අම්මාට පිළිගන්න පුළුවන්ද?

ඒ කතා නම් බොරු වෙන්න ඇති. අපි දන්නේ නැහැනෙ. පත්තරවලයි ඉන්ටර්නෙට් එකෙයි එක එක කතා ගිහින් තියෙනවා. ඒවා එක එක්කෙනා හදලා දාන ඒවා. අපි ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම අපි ඒ මුල්ම විඩියෝ එක කළේ පුතාට ඉස්කෝලයක් බලාපොරොත්තුවෙන්. ඒක හරිගියා. දැන් පුතා කියන්නේ එයාට සයන්ටිස්ට් කෙනෙක් වෙන්න ඕන කියලයි. ඉතින් අපිට ඕන වුණේ එයාගේ දැනුමට හරියන්න උගන්වා ගන්න හොඳ ඉස්කෝලෙකට යවාගන්නයි.

පුතාගේ මේ අසාමාන්‍ය හැසිරීමෙන්, අසාමාන්‍ය භාෂා දැනුමෙන් අම්මාට හිතෙනවාද පෙර ආත්මයක සිට ගෙනා දෙයක් තිබෙන බව

ඔව්. ඉතින් දැන් අපිටත් එහෙම හිතන්න වෙනවා. මොකද අපිට ආභාෂයක් නැහැනෙ. ඒ වගේ හින්දි ගැන දන්න ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙක් අපේ පවුලක වත් නැහැ. තාත්තා චුට්ටක් දන්නේ රට ගිහින් හිටපු නිසා. ඒ විදිහට බලන කොට පුතා ගොඩක් වෙනස්. මොකක් හරි ඇති කියලා හිතෙනවා.

ඇත්තටම පුතා විද්‍යා අංශයට යොමුවේවි කියලා හිතෙන්නේ කොහොමද? එයා ඒකට දක්ෂතාවක් පෙන්වනවද?

ඔව්. එයා කුස්සියේ ඉන්න කොට වුණත් ඒ තියෙන දේවල් අරගෙන කලවම් කරලා එක එක ජාති හදලා බලන්න කැමැතියි. මොනවද කරන්නෙ කියලා අහන කොට පරීක්ෂණ කරනවා කියලා තමයි කියන්නේ.

අම්මා කෙනෙක් විදිහට පුතාගේ අනාගතය ගැන තියෙන්නේ මොනවගේ බලාපොරොත්තු ද?

පුතා හොඳට ඉගෙන ගනීවි කියලා හිතෙනවා. ඉතින් එයා කැමැති පැත්තකින් ඉදිරියට යන්න උදව් කරන්න තමයි ඕන.

ඇඳුම් පැලඳුම් කෑම බීම වගේ දේවල් වලින් පුතා විශේෂත්වයක් පෙන්වනවද?

ඇඳුම් පැලඳුම් ගැන නම් කිසිම විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය විදිහට අපි දෙන දෙයක් එයා අඳීනවා. කෑම බීම නම් ඉතින් විශේෂයි. මිරිස් නම් කන්නෙම නැහැ. බත් කෑමත් අඩුයි. සැර කෙරුවොත් විතරයි බත් කන්නේ. මස් මාළු කොහොමත් කන්නේ නැහැ. කන්න දෙන්නද කියලා අහනවාටවත් කැමැති නැහැ.

ඉංග්‍රීසි , හින්දි කතා කරනවා වගේම පුතාට ලියන්න කියවන්න පුළුවන් ද?

තවම දෙක වසරේ වුණාට සිංහල පොතක් වත් හරියට කියවන්න බැහැ. ඉංග්‍රීසි නම් අකුරු මොනවත්ම බැහැ. සිංහල මම ළඟ ඉඳලා කියලා දෙන්න ඕන. ඇලපිලි, පාපිලි නම් මුකුත්ම දැනෙන්නේ නැහැ. මොන්ටිසෝරි ටීච මෙයා ගැන දන්නවා. ටීච මට මුල ඉඳන්ම කිව්වේ මෙයාව දාන්න එපා අම්මේ සිංහල ඉස්කෝලෙකට. ඉන්ටනැෂනල් එකකට දාන්න මෙයාගේ දැනුම අපරාදේ කියලා. නමුත් අපේ ආර්ථික මට්ටම එක්ක අපිට කරගන්න බැහැ. ඒ නිසා තමයි අර වීඩියෝ එක කළේ දැන් ඒ මහත්තයට පින් සිද්ධ වෙන්න චාන්ස් එකක් හම්බ වුණා. අපිත් එක්ක පුතාට කතා කරන්න දෙයක් නැහැනෙ. නමුත් එයා අහන දේ ගැන දැනුමක් තියෙන කෙනෙක් හම්බවුණාම එයා කතා කරනවා. අර වීඩියෝ එක කරපු යසිත් කියන මල්ලි එක්ක හරි හරියට කතා කළා.

ජෙනීටා මහත්මිය සෙනුර පුතාගේ චිත්‍ර පොත් කිහිපයක් රැගෙන විත් පෙන්වයි.

දවස් දෙකෙන් තුනෙන් පොත ඉවරයි. එයා අඳීන්නේ ඩයිනසෝරයන්ගේ චිත්‍ර. මේ තියෙන චිත්‍රය ඇඳලා පෙන්නුවා. මොකක්ද කියලා අහපුවාම සත්තුන්ගෙන් පිටවෙන තරංග කියලා තමයි කිව්වේ. සේරම හරි අමුතු චිත්‍ර. මේ තියෙන්නේ ඉස්කෝලෙ චිත්‍ර පොත. ඒත් ඉස්කෝලෙ ඒවා නෙමෙයි ඇඳලා තියෙන්නේ මුළු චිත්‍ර පොත පුරාම තියෙන්නේ එක එක විදිහේ සත්තු. එහෙම ඇඳලා ඒවායේ ඉලක්කම් ලියනවා. ඒ ඉලක්කම් වලින් තමයි එයා ඒ චිත්‍ර හඳුන්වන්නේ.

 

සත්තුන්ගේ විස්තර මොනවා හරි ලියන්නේ ඉලක්කම් වලින්. ඇය චිත්‍රය කිහිපයක් පෙන්වයි. ඒවායෙහි ලියා ඇත්තේ 1 සහ 0 යන ඉලක්කම් පමණි. ඒවා බොහෝවිට බයිනරින් නම්බර්ස් විය හැකිය. කිසියම් චිත්‍රයක් හෝ දෙයක් පරිගණක වල දත්ත ලෙස තැන්පත් කරන්නේ මෙම බයිනරින් අංක ලෙසිනි. ඒ පිළිබඳ දැනුමක් සාමාන්‍ය අයකු සතුව තිබිය නොහැකි නිසා එයින් අදහස් කළ හැක්කේ සෙනුර සතුව සුවිශේෂී දැනුම තිබෙන බවයි.

මව තවත් චිත්‍රයක් පෙන්වයි.

‘‘ මේ චිත්‍රය ප්ලෑන් එකක් කියලා තමයි මට පෙන්නුවේ රෝබෝ එකක් හදන ප්ලැන් එකක් කියලා කිව්වා. ‘‘

ඇත්තෙන්ම එහි රෝබෝවරයකු ගේ කොටස් ලෙස සිතිය හැකි ලෙස ඇඳ තිබේ.

සෙනුර සතුව ඇතැයි සිතිය හැකි මේ අසීමිත දැනුම් සම්භාරය එළියට ගත යුත්තේ සෙමින් සහ පරෙස්සමිනි. ඒ දැනුමට හානියක් නොවන ලෙසිනි. ඒ පිළිබඳව සුවිශාල වගකීමක් අනාගතයේ සෙනුරට ශිල්ප ලබාදෙන ගුරුවරුන් සතුව ඇත.

ජෙනිටා මහත්මියගේ කතා බහින් අනතුරුව අපට තම පුතා පිළිබඳව තොරතුරු පවසන්නට වූයේ සෙනුරගේ පියා වන නිමල් මහතාය.

කුඩා කාලයෙ ඒ කියන්නේ බහ තෝරන කාලයේ ඉඳලම පුතා හින්දි වචන කියනවා. ඉංග්‍රීසි වචන කියනවා.

අපි ඕක ගැන ඒ තරම් ලොකුවට හිතුවේ නැහැ. මොකද පුතා ටීවි බලනවනෙ. එහෙම වෙලාවට ඇවිත් කාටූන් වගේ දේවල් වල තියෙන ඒවත් ඇවිත් කියනවනෙ.අපිට ඒක තේරුම් ගන්න බැහැ.

මම ඩුබායි වල රැකියාවක් කළා. එතැනදි මාත් එක්ක වැඩ කළා ඉන්දියාවේ කෙනෙක්. ඒ නිසා මට ලොකුවට නැති වුණත් හින්දි ගැන දැනුමක් තියෙනවා.

මම දැනටත් නොදන්නා හින්දි වචන අහගන්නේ පුතා ගෙන් ඒ තරම් හොඳට පුතාට හින්දි පුළුවන්. මෙයා කතා කරන්නේ හොඳම හින්දි. අමිතාබ් බච්චන්ලා වගේ අය කතා කරන. අපි ඒ ගැන ඒ තරම් ලොකුවට හිතුවේ නැහැ.

දවසක් මම මෙතැන වාඩි වෙලා බුලත් විටක් කකා ඉන්නකොට පුතා ඇවිත් මට හින්දියෙන් වචන ටිකක් කියලා ගියා. මම ගණං ගත්තේ නැහැ. පැයක් විතර ගියාට පස්සේ මට එකපාරටම හිතුණා මේ කොල්ලා කියපු දේවල් හරිනෙ කියලා.මට දැන් ඒ කියපු දේ මොකක්ද කියලා මතක නැහැ. ඊට පස්සෙ මම ගිහින් පුතා එක්ක ටිකක් හින්දියෙන් කතා කළා.

මට ලොකු දැනුමක් නොතිබුණාට පුතා මම අහන දේවල් වලට හොඳට උත්තර දීලා කතා කළා. එදා තමයි මම දැන ගත්තේ පුතාට අසාමාන්‍ය විදිහට හින්දි වගේම ඉංග්‍රීසි භාෂා ගැන දැනුමක් තියෙනවා කියලා.

මගේ ගැරේජ් එකට එනවා හින්දි දන්න අය. මම ඒ ගොල්ලන්ට කිව්වාම මගේ පුතා මෙහෙම හින්දි දන්නවා කියලා ඒ අය ඇවිත් පුතා එක්ක කතා කරනවා. පුතාත් එහෙම අය එක්ක ආසාවෙන් කතා කරනවා. ඒත් ඉතිං අපි ඒ ගැන ඒ තරම් විශේෂත්වයක් දැක්වූයේ නැහැ. හැබැයි ඉස්කෝලෙට බාර දෙද්දී ගුරුවරු දැනුවත් කළා. පුතා හින්දි කතා කරනවා කියලා. මොකද මෙයා කියන වචන තේරුම් ගන්න බැරි වුණාම ප්‍රශ්න ඇති වෙයි කියලා.

ඒ වගේම එහෙම ප්‍රශ්නයක් ඇතිවුණා. පුතා අපේ නෝනත් එක්ක පන්සලෙන් ට්‍රිප් එකක් ගියා. අපේ පුතා අනිත් සීට් එකේ හිටපු ළමයට ‘බයියා‘ කියලා. හින්දියෙන් බයියා කියන්නේ සහෝදරයා කියන එක. ඒත් එතැන හිටපු ඒ පුතාගේ අම්මාට ඇහිලා තියෙන්නේ ඒක වෙනත් විදිහට. ඒ ගැහැනු කෙනා එයාගෙ පුතාට කියලා මේ ළමයා නරක වචන කියනවා. මෙයා ආශ්‍රය කරන්න එපා කියලා.

ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හින්දා ඉස්කෝලෙට කියලා බාර දුන්නා මේ ළමයා හින්දි කතා කරනවා.

ගුරුවරු ඒක ඒ තරම් ලොකුවට ගත්තේ නැහැ. හැබැයි ඉස්කෝලෙ ඉන්නවා හින්දි කතා කරන්න පුළුවන් සර් කෙනෙක්. ඒ සර් පුතා එක්ක හින්දියෙන් කතා කරනවා. ළඟදී පුතා බලලා යන්න ආවා.

ඉංග්‍රීසි දැනුමත් ඒ වගේම තියෙනවා. කොහොම හරි ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වන ටීචර් ලොකු මැඩම්ටත් කියලා තියෙනවා අපේ සෙනුර පුතාට හොඳට ඉංග්‍රීසි පුළුවන් කියලා. මොන්ටිසෝරියේ උගන්වපු ටීචත් පුතා හොඳට තේරුම් අරගෙන ඉන්නේ. මෙයාට ගොඩක් ආදරෙයි.

යූ ටියුබ් එකේ ප්‍රචාරය වුණු පළමු වීඩියෝවෙන්ම පුතා ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වුණු චරිතයක් වෙනවා. ඒ වගේම අතිශයින් ජනප්‍රියත්වයට පත්වෙනවා. කොහොමද ඒ වීඩියෝව කළේ.

දවසක් මම වාහනයක් ගලවල හදන කොට ආවා මහත්තයෙක්. එයාගේ නම තේජාන් රණසිංහ. එයා මාත් එක්ක හරි හිතවත්. ඒ වගේම පුතා එක්ක හින්දියෙන් කතා කරනවා. තේජාන් මහත්තයා තමයි සේනක කරුණාරත්න මහත්තයායි එයාගේ අක්කාගේ දුව ගයාත්‍රි නෝනායි ඇවිත් මුලින්ම වීඩියෝ එක හදලා දැම්මේ. ඒක දැකලා තමයි හරේන්ද්‍ර මහත්තයා ඇවිත් පුතා එක්ක කතා කරලා විඩියෝ එක දැම්මේ.

ඇයි ඒ වගේ දෙයක් කරන්න හිතුවේ.

ඇත්තටම මම ඒකෙන් බලාපොරොත්තු වුණේ ළමයාට හොඳ ඉස්කෝලයක් හොයා ගන්නයි. අපිට ආර්ථික අපහසු කම් තියෙන බව ඇත්ත. නමුත් කන්න බොන්න නැතුව අසරණ වෙලා ඉන්න අය නෙමෙයි. මගේ දැනුමෙන් යමක් උපයාගෙන ජීවත් වෙනවා.

නමුත් ඉන්ටනැෂනල් ඉස්කෝලෙකට දාලා උගන්වන්න තරම් ලොකු වත්කමක් නැහැ. හරේන්ද්‍ර මහත්තයා කිව්වා හොඳ ඉස්කෝලයක් පුතා බාරගන්න කැමැති වුණා කියලා. තවම ඒ ගැන හරියට විස්තර කියන්න අපහසුයි.

පුතා ගැන තාත්තා හැටියට ඔබේ බලාපොරොත්තු මොනවද?

ඇත්තටම අපේ බලාපොරොත්තු සියල්ලම තියෙන්නේ පුතා ගැනයි. දරුවාගේ මේ අසාමාන්‍ය හැකියාව නැතිවෙන්න දෙන්නේ නැතිව එයින් එයා හොඳ තැනකට ගේන්න.

පුතා කියන්නෙත් එයාට විද්‍යාඥයෙක් වෙන්න ඕන කියන එක. එයා හොඳට ඉගෙන ගෙන එහෙම වුණොත් අපිටත් වටිනවා. ඒ වගේම රටටත් මොන තරම් වටිනා සම්පතක් වෙයිද? මොකද පුතාට ඉංග්‍රීසි කතා කරන්න උගන්වන්න ඕන නැහැනෙ. ලියන්න තවම බැහැ.

පුතා විශේෂයෙන් ඒ ගැන මොනවත් කියලා තියෙනවාද?

ඔව්. මට කියලා තියෙන්නේ. තුනේ පන්තියෙදී තමයි මම වැඩ පෙන්වන්නේ කියලා. එහෙම කිව්වේ දවසක් මම විහිළුවට කිව්වා ඔයා කයිය ගැහුවට තවම අකුරක්වත් ලියා ගන්න බැහැනෙ. කියලා. එයා කියනවා තාත්තා ඉන්නකො, මම තුනේ පන්තියේදී තමයි වැඩ පෙන්වන්නෙ කියලා..

පුතෙක් ඉපදුණා කියලා දැනගත්ත දවසේ ඇතිවුණු හැඟීම මතක් කළොත්.

මට ඇත්තටම සතුටක් දැනුණා. මම හිතුවේ කවදා හරි මගේ රස්සාව පුරුදු කරලා ඒ අංශයෙන් උගන්වලා මේවා වැඩි දියුණු කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට ඒ බලාපොරොත්තු හාත්පසින්ම වෙනස් වුණා. පුතා නිකංවත් ගැරේජ් එකට එන්නෙ නැහැ කළු වෙයි කියලා.

අර පළවෙනි විඩියෝ එක ගියාට පස්සේ ඒක දැකලා කොළඹ ඉන්න ශිරෝමි පිනිදිය කියන මැඩම් පුතාගේ උපන් දිනයට ලැප්ටොප් එකක් ගෙනත් දුන්නා. ටෙලස්කෝප් එකක් දුන්නා. ඇත්තටම එයාට ගොඩාක් ස්තූති කරනවා.

පුතා කියන විස්තර අතර විශේෂිත දේවල් මොනවද?

පුතා කතා කරන්න කැමැති අලි කොටි වලස්සු සමනල්ලු වගේ සත්තු ගැන නෙමෙයි. ඩයිනසෝරයින් ගැන. මේ ළඟදී දවසක කියනවා ඩයිනසෝරයිනටත් කලින් මකරු හිටියලු. මකරුන්ගේ කටේ තියෙනවලු හයිඩ්‍රජන් වායුව. ඒකෙන්ලු මකරු ගින්දර පිට කරන්නේ. ඒ වගේම තමයි එක එක කෙමිකල් වල නම් කියනවා. ඊ ළඟට කියනවා ඔයා මට එක්ස්පරිමන්ට් කරන්න උදව් කරන්නේ නැහැනෙ.

මෙහෙම ගියොත් මට ඒවා අමතක වේගෙන යන්නෙ කියලා.

මෙයා බර කියන්නේ පවුන්ඩ් වලින්. ගණන් කතා කරන්නේ ඩොලර් වලින්.

මම ඔහුට අමෙරිකානු ඩොලර් එකක වටිනාකමින් යුතු නෝට්ටුවක් දුන්නෙමි. එය අතට ගත් සැණින් එය ඩොලර් නෝට්ටුවක් බව හඳුනා ගත් සෙනුර එහි සිටින්නේ ජෝර්ජ් වොෂ්ංටන් බව කීවේ අප සැම පුදුමයට පත් කරමිනි. ඒ මින් පෙර කවදාවත් ඔහු අමෙරිකානු ඩොලරයක් දැක නොතිබුණු නිසාය.

එතැනින් පසු අප සමඟ කතා බහට එකතු වුණු සෙනුරට අප අන්තර්ජාලයෙන් ඔහුට අවශ්‍ය බොහෝ දේ සොයා දෙන්නට කටයුතු කළෙමු. ඒ අතර සාගර ජීවීන් පිළිබඳව කුතුහලයෙන් යුතුව සෙවීම් කළ සෙනුර විවිධ මත්ස්‍යයන් ගැන තොරතුරු කතා බහ කළේ අප සැම පුදුමයට පත්කරවමිනි.

එහිදී සෙනුර කියූ දේවල් ලියන්නට මෙහි ඉඩකඩ මදිය. පැය කිහිපයක්ම සෙනුරගේ පුංචි නිවහනේ ගත කළ අප යළිත් දිනයෙක එන බවට පොරොන්දු වෙමින් ඔවුනගෙන් සමුගත්තෙමු.

අවසානයේ එක් විශේෂිත දෙයක් සඳහන් කරමින් මේ සටහන නිමා කරමි. ඒ අති විශේෂිත මතක ශක්තියක් සහිත බුද්ධියක් සහිත දරුවකු වන පුංචි සෙනුර කෙරෙහි අතිගරු ජනාධිපති තුමන්ගේත්, ගරු අගමැති තුමන්ගේත් අවධානය යොමු කරවීමට වගකිවයුත්තන් කටයුතු කරන්නේ නම් එය ඔහු අනාගතයේ අපේ රටට කීර්තියක් ගෙන දෙන්නට සමත් කෙනකු බවට පත් කරන්නට කළ හැකි හොඳම දෙය බවය.

 

ඡායා -  ශාන් රූපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.