අම්මකුගේ ආදරයෙන් රැකවරණයෙන් දියණියක් දියමන්තියක් කරන්න පුළුවන්

පෙබරවාරි 17, 2021

ජන සන්නිවේදනය පිළිබඳව ලංකාවේ ළාබාලතම මහාචාර්යවරිය

වාසනා මෛත්‍රී හේරත්

 

“Surround youreself with people who challenge you, teach you and push you to be your best self”

මේ වියත් සටහන තබන්නේ ලෝකයක් අවදි කළ ධනවතකු, මෘදුකාංග නිර්මාණකරුවකු වූ බිල් ග්‍රේට්ස්ය. “ඔබව ඔබගේ හොඳම පුද්ගලයාවීමට දිරිගන්වන පුද්ගලයන්ගෙන් වටකරගන්න...” ඔහු මෙලෙසින් සටහන් තැබුවද අප ජීවිතයේදී මුහුණ දෙන මුණ ගැසෙන අභියෝග සුළු පටු නොවේ. කාන්තාවක ලෙස අපගේ සංස්කෘතික හා සමාජ පසුබිම අනුව එවැනි ගමනක් යා යුතුව ඇත්තේ තරමක් සීරුවෙනි.

මහාචාර්ය වාසනා මෛත්‍රී හේරත්. ඇය අප රටේ ජන සන්නිවේදනය පිළිබඳ ළාබාලතම මහාචාර්යවරිය බවට පත්වන්නේ මේ සියලු කඩඉම් පසුකරගෙන විත් කඩතුරාවන් ඉරාගෙන ඉතා දුෂ්කර ගමනක් අවසන් කරමිනි. ඒ ගමන් මඟේ සැබැවින්ම දුෂ්කර, බාධක අභියෝ හා අත්දැකීමේ එමටය. ඒ සියලු අභියෝග හමුවේ ඇය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී තම ගමන පැමිණියේ පැමිණෙන බාධක සියල්ලම තමුන්ගේ ජීවිතයට පන්නරයක් බවට පරිවර්තනය කර ගනිමිනි. අද ඇය ඒ ගමන් මඟ දෙස ආපසු හැරී බලන්නේ මහත් උපේක්ෂා සිතුවිල්ලෙනි.

 

ඔබ මහාචාර්යවරියක් ලෙස මේ පැමිණි ගමන තරමක් වෙනස්. එසේම දුෂ්කරයි. දුෂ්කර ප්‍රදේශයක පුංචි පාසලකින් අධ්‍යාපනය ලබා ඔබ පැමිණි ඒ ගමන ගැන මුලින්ම අපි දැනගන්න කැමැතියි.

මගේ පුංචි කාලේ හීනයක් වෙලා තිබුණේ රංගන ශිල්පිනියක් වෙන්න. ඇත්තටම මම පුංචි කාලේ දක්ෂ ශිෂ්‍යාවක් නොවෙයි. ඉගෙනීමට වඩා මගේ හිත ගියේ නැටුමට, සංගීතයට, සෞන්දර්යයට. නමුත් මගේ අප්පච්චිගේ සිහිනය වුණේ මට හොඳට උගන්වන්න. අප්පච්චි හැම වෙලාවෙම කිව්වේ මගේ දුව හොඳට ඉගෙන ගන්න. ඔයා දිහා බලලා රටේ තව දරුවෝ ඉගෙන ගන්න ඕනේ කියලා. මම පුංචි කාලේ නිළියක් වෙන්න හීන මැව්වට ටිකක් තේරෙන වයස එනකොට අප්පච්චි කියපු දේ ඇත්ත කියලා මට අවබෝධ වුණා. මගේ අප්පච්චි ගුරුවරයෙක්. අම්මා නැටුම් ගුරු උපදේශකවරියක්. ඒ දෙන්නා සම්පූර්ණයෙන්ම කැප වුණේ තමුන්ගේ රැකියාව වෙනුවෙන්. අප්පච්චිට වැඩිය සල්ලි නොතිබුණාට අපට උගන්වන හීනය තදින්ම තිබුණා. මගේ පවුලේ ඉන්නේ අක්කයි, නංගියි, මල්ලියි, මමයි. අපි හතර දෙනාටම උගන්වන්න අපේ මවුපියෝ සෑහෙන්න කැප වුණා. මගේ අක්කා නිම්මි මුදිතා හේරත්. ඇය ප්‍රසිද්ධ ලේඛිකාවක්.

අපට බදුල්ලට යන්න සිදු වුණේ අපේ අම්මා ඒ පළාතේ සේවය කරපු නිසයි. බදුල්ල විශාඛා විද්‍යාලය, බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය සහ බණ්ඩාරවෙල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයෙන් තමයි මම මූලික අධ්‍යාපනය ලැබුවේ. මම පුංචි කාලේ ඉගෙනීමට දක්ෂ නැති වුණත් තාත්තාගේ හීනය හැබෑ කරන්න ඕනේ නිසා සාමාන්‍ය පෙළ පංතියට එනකොට මට ඉගෙනීමේ වටිනාකම දැනෙන්න පටන් ගත්තා. මම සා. පෙළ වැඩිම ලකුණු අරගෙන සමත් වුණා. ඊට පස්සේ උසස් පෙළ සමත් වුණේ කලා අංශයෙන් ඒ සාමාර්ථ හතරක්ම ලබාගෙන ඌව පළාතේ දෙවැනි ස්ථානයට පත්වෙමින්.

 

ගමෙන් ආපු විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ලෙස ඔබ දිගු ගමනක් පැමිණියා. ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද?

අනෙක් ශිෂ්‍යාවන්ට වගේම මටත් තරුණියක් ලෙස සර්ව පිත්තල අරමුණු, සිහින අපේක්ෂා ගොන්නක් හිතේ තිබුණා. නමුත් ගමෙන් ආපු අපට ඒ හැම දේම කරන්න ආර්ථික අපහසුකම් බාධක පිරිලා. ගමෙන් ආපු අපට කැමැති කැමැති දේ කරන්නා අවස්ථාව තිබුණේ නැහැ. ඒ සියලුම අමාරුකම්, අඟහිඟකම් අමතක කරලා ඉගෙන ගත්තා. ඒ ඉගෙනගත්තු එකේ ප්‍රතිඵලයක් හැටියට ජන සන්නිවේදනය පිළිබඳ පළමු ශ්‍රේණියේ ගෞරව සාමාර්ථයක් සමඟ විශේෂවේදී උපාධියක් හිමිකර ගන්න අවස්ථාව ලැබුණා.

හැබැයි මේ වගේ ලකුණු ගන්නකොට විශ්ව විද්‍යාලයේ විවිධ කතා පැතිරෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යාවකට එවැනි කතා බොහෝ විට නිර්මාණය වෙනවා. හැබැයි ඒ කතාවලට ආයුෂ අඩුයි. දිගු කාලයක් පවතින්නේ නැහැ. මටත් විශ්ව විද්‍යාල ජීවිතයේදී විවිධ බාධක රැසක්ම ආවා. එක් අවස්ථාවක මගේ මල්ලි දරුණු රිය අනතුරකට මුහුණ දුන්නේ මම අවසාන විභාගයට පෙනී සිටින කාලයේදී. මම ඒ හැම ප්‍රශ්නයක්ම අභියෝගයක්ම ඉතාම උපේක්ෂාවෙන් දරාගෙන හිටියා. ඇත්තටම ඒ තරම් ශක්තියක් මට ලැබුණේ මගේ අම්මයි අප්පච්චියි පෙන්නපු ලෝකය නිසයි.

 

ඔබ එතැනින් නැවතුණු චරිතයක් නොවෙයි. ඉන්පසුව ඔබේ ගමන් දිසානතිය කොහේටද හැරුණේ?

ඒ විශිෂ්ට සාමාර්ථයක් සමඟ කැලණිය විශ්ව විද්‍යාලයේම තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස සේවය කිරීමේ අවස්ථාව ලැබුණා. ඉන් අනතුරුව 2007 වසරේදී රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක්වීමේ අවස්ථාව උදා වුණා.

 

ආපසු ඔබට උපන් ගමට යන්න අවස්ථාවක් ලැබුණේ කොහොමද?

කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් හැටියට සේවය කරන කාලයේදී තමයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය 2006 වසරේ ආරම්භ වුණේ. මට ආසාවක් තිබුණා අපේ ගමේ මුලින්ම පටන් ගන්න විශ්ව විද්‍යාලයට යන්න. මම ඒ විශ්ව විද්‍යාලය ආරම්භ කරපු දවසේම දේශනයක් කරන්න මට වාසනාව ලැබුණා. ඒක මගේ ජීවිතයේ අමතක නොවන සිහිවටනයක්. ඌව විශ්ව විද්‍යාලය පටන්ගත් දවසේ පටන් මගේ සේවා කාලය දැන් අවුරුදු 15 ක්.

මම ඒ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවැනි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළා.

 

ඔබ ආචාර්ය උපාධිය හිමිකර ගත්තේ කොයි වසරේද?

2014 තමයි මම ආචාර්ය උපාධිය හිමිකර ගත්තේ. ඉන් පසුව තමයි මම විශ්ව විද්‍යාල ආචාර්යවරියක් ලෙස කටයුතු කිරීම ආරම්භ කළේ. 2017 වසරේදී මම පළමු ශ්‍රේණියේ කථිකාචාර්යවරියක් ලෙස පත්වීම ලැබුවා.

 

ඔබ ඒ සියලු කඩඉම් පසුකමින් දැන් ජනසන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරිය බවට පත්වී තිබෙන්නේ අප රටේ ළාබාලතම මහාචාර්යවරිය ලෙසයි. ඒ ගැන ඔබට දැනෙන සතුට හා හැඟීම කොයි වගේද?

මගේ සාර්ථකත්වයේ හැම වෙලාවෙම පසුපසින් හිටියේ මව්පියන් දෙන්නා. අප්පච්චි මිය ගිහින් දැන් අවුරුදු 17 ක්. ඇත්තටම අප්පච්චිගේ මහන්සිය මතක් වෙද්දී අදත් ගේ ඇස්වලට කඳුළු එනවා. ඒ වගෛ්ම මගේ සහෝදර සහෝදරියෝ, නෑ හිතමිතුරන්, ගුරුවරුන් වගේම ජීවිතයේදී මට හමුවුණු හොඳ මිනිස්සු සිටිනවා. ඒ හැම දෙනාම නිසයි මම අද මේ තරම් දුරක් ආවේ. මහාචාර්යවරියක්වීමත් සමඟම ජීවිතේ පටන් ගත්තා කියලා හිතෙනවා. මට අවුරුදු 22 ක් විශ්ව විද්‍යාලයේ සේවා කාලය ඉතිරිවෙලා තියෙනවා. ඒ කාලයේදී මේ රටට වගේම ලෝකයට හැකි තරම් වැඩ කරන්න තමයි මට බලාපොරොත්තුව. මම කාන්තාවක් ලෙස මේ ආපු ගමන දෙස බැලුවොත් ඒක ඇත්තටම අසීරු ගමනක්. කාන්තාවකට වැරදුණොත් හිනාවෙන්න ලොකු පිරිසක් ඉන්නවා. වැරැද්ද කාගේ වුණත් අන්තිමට නඩු නොආසාම සමාජය කාන්තාව වැරැදිකාරියක් කරනවා. මේක අපේ සමාජයේ අලුත් දෙයක් නොවෙයි. බමුණු කාලේ පටන්ම සිද්ධ වුණු දෙයෙක්. මං හිතන්නේ බුද්ධිමත් කාන්තාවකට පුළුවන් තමන්ට ගහන හැම ගලක්ම එකතු කරලා ඒවායින් මාලිගාවක් හදා ගන්න. ඒ මාලිගාව ඇතුළේ තමන් ආරක්ෂිතව ඉන්න ගමන් තමුන්ට ගල් ගසපු අයව පුදුමයට පත් කරන් පුළුවන්. මම හිතන්නේ ඒ දේ සෑහෙන දුරකට මට කරන්න හැකි වුණා කියලා. මට ඒ ගැන හිතට දැනෙන විට සියුම් නිහතමානී සතුටක් දැනෙනවා. ඒ සතුට ළඟාකර ගන්න මම ජීවිතේ සෑහෙන මහන්සියක් ගත්තා.

 

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කාන්තාවකට කොයි තරම් දුරක් යන්න පුළුවන් කියලද ඔබ හිතන්නේ?

කාන්තාවකට ලෝකයේ ඕනෑ තැනක ඕනෑම ක්ෂේත්‍රයක ඉදිරියට යන්න පුළුවන්. මාධ්‍ය ක්ෂේත්‍රයත් ඒ වගේ තමයි. කාන්තාවකට විශාල ශක්තියක් තියෙනවා. කාන්තාවක් සියුමැලි වෙන තරමට ලස්සනයි. හැබැයි සියුමැලිබව කියන්නේ දුර්වලකමක් නොවෙයි. සියුමැලිකම තියෙන්න ඕනේ හදවතේ තිබෙන බැඳීම් තුළයි. හැබැයි ඇයගේ බුද්ධිය ලෝකයේ කොතැනකදීවත් අවතක්සේරු කරන්න බැහැ. ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන කාන්තාවෝ ඉන්නවා. ලෝකය දිනපු කාන්තාවෝ ඉන්නවා. මෙතැන තිබෙන වැදගත්ම දෙය කාන්තාවක් ලෙස කොහොමද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නේ කියන ගැටලුව. මාධ්‍ය ක්ෂේත්‍රයේ විතරක් නොවෙයි හැම තැනකම කාන්තාවක් ගෞරවණීය ආකාරයට පරිස්සමින් ඉදිරියට යනවා නම් ඒ කාන්තාව ඒ හැම ක්ෂේත්‍රයකම බබලන ආභරණයක් වෙනවා.

 

විශාල වගකීමක් සම්බාරයක් ඇති සිටින ඔබගේ පෞද්ගලික ජීවිතය ගෙවෙන්නේ කොයි ආකාරයටද?

මට පුංචි දියණියක් ඉන්නවා. ඇය සමඟ තමයි මගේ ජීවිතය ගෙවෙන්නේ. මට ජීවිත කාලය තුළ ලැබුණු සියලුම වාසනාවන් අතර ලොකුම භාග්‍ය තමයි මගේ හසරා ආශිර්වාදිනී දියණිය. ඇය හරිම ගුණ යහපත් දියණියක්. ඇය පාසල් කටයුතු කරන අතර මගේ වැඩකටයුතුවලටත් එකතු වෙනවා. පිට දේශනවලට යනකොට දුවත් මා සමග එනවා. ඇය ආදර්ශය කරගෙන ඉන්නේ මාව. එයා හැදෙන්නේ මා දිහා බලලා. ඒ නිසා මමත් ඕනෑම දෙයක් කරන්න පෙර දෙවරක් හිතනවා.

මවක් විදිහට මා ඇය වෙනුවෙන් කළහැකි උපරිමය ඉටු කරනවා. ඒ වගේම සමාජය තුළ කිසිම විටක ඇයව තනි කරන්නේ නැහැ. ගැහැනු දරුවෙකුට හොඳ ආරක්ෂාවක් ඕනේ. එය දෙන්න පුළුවන් හොඳම කෙනා තමයි අම්මා. මගේ අම්මා මා ගැන තවම හොයලා බලනවා. ඇය මම ගෙදර එන්න පොඩ්ඩක් පරක්කු නම් බය වෙනවා. අම්මා කෙනෙකුගේ ආදරය රැකවරණයෙන් දියණියක් දියමන්තියක් කරන්න පුළුවන්.

 

ජන සන්නිවේදන මහාචාර්යවරියක් ලෙස ඔබට සමාජයේ විශාල පරිවර්තනයක් කරන්න හැකියාව තිබෙනවා. ඔබගේ දැනුම්වත් හා දක්ෂතාවයෙන් ඉදිරියට ගමන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ කොයි ආකාරයටද?

මගේ දර්ශනපති පශ්චාත් උපාධියට පසුව ආචාර්ය උපාධිය සඳහා තෝරා ගත්තේ දරුවන්ගේ සන්නිවේදන කුසලතාවය කියන විෂයය. මෙම කුසලතාවය වර්තමාන සමාජයේ හැම කෙනෙකුටම අවශ්‍ය දෙයක්. දරුවන්ට තාක්ෂණය අවශ්‍යයි. හැබැයි ළමයා තාක්ෂණය සමඟ ගනුදෙනු කරන විට තමුන් සන්නිවේදනය කරන ආකාරය හරියට දැනගත යුතුයි. එහෙම නොවුණොත් ඒ තාක්ෂණය දැනගෙන හිටියත් සන්නිවේදනයේදී අතරමං වෙනවා. මේ දෙය කොයි පාසලකවත් කියා දෙන්නේ නැහැ. අප දරුවකුට කුඩා කාලයේ පටන්ම කියාදිය යුත්තේ තමුන්ගේ ඉදිරි අරමුණ කරා ගමන් කිරීමයි. ඒ ගමන් කරන ඉලක්කයේදී අනුන්ව තේරුම් ගැනීම, ආත්ම ශක්තිය වැනිදේ දරුවාට කියා දෙන්න පුළුවන් නම් ජන සන්නිවේදනය තුළ මේ සාරධර්ම ගැන කතා කරන විට හැම දරුවෙක්ම සිතන ආකාරය වෙනස් වී විශාල පරිවර්තනයක් සිද්ධ වෙයි. දරුවන් තාක්ෂණයෙන් කොහොමත් ඉදිරියට යනවා. අපි දරුවන්ට කියා දිය යුත්තේ ආත්ම ශක්තිය, දරා ගැනීම, අනෙක් අය තේරුම් ගැනීම කියන සාරධර්ම හා ගුණ ධර්මයි. අපි හැම වෙලාවෙම දරුවන් තරගයට යොමු කරනවා. නමුත් ජීවිතයේ දරා ගැනීම කියන ගුණ ධර්ම කියා නොදීම නිසා සමාජයම පිරිහී තිබෙනවා. අපට පුළුවන් නම් දරුවන්ගේ පුද්ගල සංවර්ධනය ඇති කරන්න සන්නිවේදන කුසලතාවය ඉබේම දියුණු වෙනවා. එවැනි දරු පරපුරක් බිහි කිරීම ගැන පෙරමුණ ගැනීම තමයි මගේ ලොකුම ඉලක්කය.

 

 

 ඡාය - ප්‍රමෝද් නිර්මාල්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.