මගේ දැනුමෙන් රටට සේවය කරන්න ලොකු ආසාවක් තියෙනවා

පෙබරවාරි 24, 2021

 

දෑත දෙපය අහිමි වුවත් වාචිකව උපාධියක් ලැබූ ලොව ප්‍රථම සිසුවිය කෑගල්ලේ තිළිණි ජයතිලක

නොමඟ ගිය දරුවන්ට ඇගේ ජීවිත කතාව ආදර්ශයක්

මිනිස් ජීවිතයක් හිමිවීම මහා පිං මහිමයකි. මෙලෙසින් ලබන මිනිස් ආත්මයකදී සමාජය විසින් ලබන ගෞරවය හෝ ප්‍රතික්ෂේපවීම අප ලබන උරුමයකි. අප ලැබූ මේ මිනිස් බවය සම්පූර්ණ වෙන්නට තවත් බොහෝ දේ උරුම විය යුතුය. සම්පූර්ණ මිනිසකුවීමේ අංගයන් සියල්ලම දෛවය විසින් අප සැමට එකලෙස උරුම නොවෙයි.

එහෙත් ඒ අංගසම්පූර්ණ බව අහිමි වුවත් මිනිසකු ලෙසින් උපත ලැබීම ආශිර්වාදයක් කරගත් ධෛර්යවන්ත මිනිසුන් මේ ලොව පහළ වෙයි. එවැනි මිනිසුන් ගැන අපට නිරතුරුවම අසන්න දකින්න ලැබෙන අතර ඔවුන්ගේ සෑම සාර්ථකවීමක් පසුපස ආදර්ශවත් පසුබිම් කතාවක්ද වෙයි. එහි රහස ඇත්තේ අහිමිවීම හමුවේ තමුන්ගේ ඉලක්කය කරා ඉතාම කැපවීමෙන් හඹා ගොස් ඒ ප්‍රතිඵලය තුළින් ලබන ජයග්‍රහණයයි.

ඇමෙරිකානු ජාතික ලිසී වැලින්ෂස් නම් තරුණිය එවැනි දැවැන්ත චරිතයකි. එසේම නික් යෙව්වි නැමැති දෑත දෙපය අහිමි ඔස්ට්‍රේලියානු ජාතිකයා ලෝකයේ ජයගත් පුද්ගලයෙකි.

මේ චරිත ලෝකයේම අවධානය දිනා ගත්තේ තමුන්ට උපතින්ම උරුම වූ ශරීර ලක්ෂණ අභිබවමින් තම ඉලක්කය කරා ගමන් කිරීමෙනි. ලිසී වැලින්ස් ලෝකයේ කැතම කාන්තාව ලෙස ජාන දුර්වලතාවයක් නිසා සියල්ල අහිමි වූ තරුණියකි.

නික් යෙව්වි තම දැත දෙපය අහිමිව උපන් දරුවෙකි. ඔවුන්ගේ ජීවිතයේ සියල්ල ප්‍රතික්ෂේපවීම් හමුවේ මුළු ලෝකයක් ජයගත් කතාව තුළ තිබෙන්නේ ඔවුන්ගේ ශරීරය තුළ වූ සැඟවුණු දක්ෂතාවය හා කැපවීමයි.

නික් හා ලිසීටත් වඩා දක්ෂතාවයක් ඇති දූ පුතුන් මේ ලක් දෙරණ මතද පහළ වෙයි. ඔවුන් ජීවිතයේ ප්‍රතික්ෂේපවීම්, කඩාවැටීම හා අඟහිගකම් දුප්පත්කම් මැදින් තමුන්ගේ ජීවිතය ජය ගැනීම විශාල ජයග්‍රහණයකි. එහෙත් ඔවුන්ගේ හැකියාවන් මේ මහපොළෙව මතම වැළලී යන්නට ඉඩ දිය නොහැකිය.

කෑගල්ලේ තිළිණි නිමේෂා ජයතිලක. ඇය අපේ මේ ලක් දෙරණට ආශිර්වාදයක් වුණු තරුණියකි. නික්ලා, ලිසීලාට වඩා දක්ෂ මේ දැරිවිය ගැන ලෝකයක් කතා නොකරත් අපට ඇය අප රටට සම්පතක් මෙන්ම ආදර්ශයක්. ඒ නිසාම ඇය ගැන සටහනක් තබන්නට තරුණී පත්තිරු අතරට එක් කර ගත්තේ ඇය තම දැත දෙපය දෙකම අප්‍රාණිකව උපාධියක් හිමිකරගත් තරුණිය ලෙසින් වාර්තාවක්ද තැබූ සතුට බෙදා ගත්තාය.

තිළිණි උපතින්ම තම දැත දෙපය අප්‍රාණික වන්නේ ස්නායු ආබාධයකිනි. ඇය තම දැත දෙපය අහිමිවීමේ කරුමය තමුන්ගේ උරුමය ලෙසින් සිතා වැළපෙමින් පසු තැවුණු චරිතයක් නොවේ.

දැත දෙපය වාරු ගෙන නැඟිටින්නට නොහැකි වුවත් තමුන්ගේ හිතේ ශක්තියෙන් ඇය අධ්‍යාපනයේ ඉහළටම පා නගමින් උපාධියක් හිමිකර ගත්තේ ලෝකයටම පාඩමක් කියා දෙමින් ලෝක වාර්තාවක්ද තබමිනි. අවුරුදු විස්සක් වූ තිළිණී තම උපාධිය හිමිකරගත්තේ දෑත දෙපය අහිමි තරුණියක් ලෙස වාර්තාවක් තබමින් පමණක්ම නොවෙයි. ලොව පළමුවරට ලිඛිත පරීක්ෂණයකට ඉදිරිපත් නොවෙමින් වාචිකව රජයේ සියලු විභාග සමත් වූ ශිෂ්‍යාවක් ලෙසිනි. තම රෝද පුටුවේ වාරුවෙන් සියල්ල ඉටුකර ගන්නා ඇයගේ ජයග්‍රහණය සැබැවින්ම අපට මහත් අභිමානයක්.

ඒ අභිමානය පසුපස වූ සංවේදී කතාවේ පියමං සටහන් ඇය හෙළි කළේ මහත් සතුටිනි. ඒ සතුට පසුපස ලියැවී තිබෙන්නේ ලොවක් දිනාගන්නට ඇය තුළ වූ දැවැන්ත ශක්තියයි.

“මම උපතින්ම ආබාධිත දරුවෙක්. ඒ කියන්නේ මම ඉපදුණේ සාමාන්‍යයෙන් ඉපදෙන්න තියෙන කාලයට වඩා මාසයකට කලින්. ඒ නිසා ‘ටෙරිබල් ටොක්්සි‘ කියන රෝගයට මුහුණ දුන්නා. ඒ නිසා උපතින්ම මගේ මොළයට හානි සිදුවීම නිසා අත්පා කොටස් ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා.

හැබැයි එහෙම වුණාට මගේ මව්පියෝ මාව අතහැරියේ නැහැ. පුදුම කැපවීමක් අද වෙනකම් කරනවා. ඒ කැපවීම ගැන නම් කියන්න බැරි තරම්.... අපේ අම්මයි තාත්තයි දෙන්නාම ගුරුවරු. මට තව මල්ලි කෙනෙක් ඉන්නවා. එයා රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබනවා. මම පුංචි කාලේ මාව හැමතැනම අරගෙන ගියේ වඩාගෙන. ඒ හැමදේම කළේ අම්මයි තාත්තයි. ඒ දෙන්නා යන හැම ඉස්කෝලෙකටම මාවත් එක්කගෙන ගියා. මුලින්ම මම අධ්‍යාපනය ලැබුවේ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ. හැබැයි ඒ ඉස්කෝලේ මට ඉගෙන ගැනීමේදී විවිධ ප්‍රායෝගික ගැටලු ඇති වුණා. මට ලියන්න බැරි නිසා සියලුම දේ කරන්න වුණේ වාචිකව. ඒ නිසා විශේෂ අවශ්‍යතා තියෙන පාසලකට යන්න සිද්ධ වුණා. මම අඹන්පිටිය මහා විද්‍යාලයට ඇතුළත් කළේ ඉන් පසුවයි.

හැබැයි මට පුංචි කාලේ ශිෂ්‍යත්ව විභාගයට ලියන්න බැරිවුණා. ඒත් සාමාන්‍ය පෙළ විභාගය බී දෙකයි, සී තුනයි, එස් තුනක් අරගෙන සමත් වුණා. ඊට පස්සේ අඹන්පිටිය මහා විද්‍යාලයෙන්ම උසස් පෙළට පෙනී සිටියා. උසස් පෙළට බී එකයි, සී එකයි, එස් එකක් අරගෙන තමයි පෙරාදෙණිය විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණේ. විශ්ව විද්‍යාලයේදී මට යාළුවෝ සෑහෙන්න උදව් කළා. හැම නෝට් එකම ඒ අය දුන්නා. මම දේශන හැම එකම අඥජධපඤ කරගෙන ඇවිත් ආයමත් අහනවා. එහෙම අහල හැම දෙයක්ම මතක තියාගෙන තමයි විභාගය සමත් වුණේ.

ඇත්තටම දැන් මට රස්සාවක් කරන්න සුදුසුකම් තියෙනවා. ඒත් රස්සාවක් කළත් අම්මටයි තාත්තටයි මාව එක්ක යන්න වෙනවා. අම්මා තවම උගන්වනවා. ඒ නිසා මං වෙනුවෙන් ඒ දෙන්නාට තවත් කැපවෙන්න අමාරුයි. ඒ අයට මම වෙනුවෙන් තවත් කැප වෙන්න පුළුවන්ද...? ඇය එලෙසින් හැඟීම්බර වූයේ මහත් සංවේදී ලෙසිනි.

සම්පූර්ණයෙන් කැඩා වැටුණු තිළිණිගේ ජීවිතය වෙනුවෙන් කැප වූ පුෂ්පකුමාර ජයතිලක මහතා සහ මව ධම්මිකා සෙනෙවිරත්න මහත්මිය කළ කැපවීමක තරම තිළිණි දියණියගේ හදවතට තදින්ම දැනෙයි. ඔවුන්ට වාරු දෙන්නට නැඟිට ගොස් හොඳ රැකියාවක් කර තම මව්පියන්ට සලකන්නට ඇති ආසාව ඇයගේ කඳුළු පිරි දෙනෙතින් කඩා වැටෙයි. එහෙත් එලෙසින් ඇවිද යන්නට ඇයට වාරු නැති කළ කුමක් කරන්නද?

එහෙත් ඇය තවමත් බලාපොරොත්තු දල්වාගෙන අනාගතය දෙස බලයි. තරුණියක් ලෙසින් ඇයගේ හදවතේ තෙරපෙන දහසක් සිතුවිලි මැද ඇය අනාගතයේදී රැකියාවක් කිරීමේ අපේක්ෂාව සිත් කොණක සිරකරගෙන සිටියි. 2017 වසරේදී විශ්ව විද්‍යාලයෙන් උපාධිය හිමිකරගන්නා තිළිණි නිමේෂාකාගේ හැකියාව සුළුපටු නොවේ. ඇය මෙම ජයග්‍රහණය ලබන්නේ ලෝකයේ වාචිකව රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් හිමිකරගත් ප්‍රථම සිසුවිය ලෙස වාර්තාවක් තබමිනි.

විදේශීය රටවල ධනාත්මක චින්තනය දේශන පවත්වන නීක්ලා ගැන උදම් අනමින් අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ගේ හැකියාවන් ගැන පුදුම වෙයි. තිළිණි නිමේෂා තරුණිය ලෝක වාර්තාවක් තබමින් විශ්ව විද්‍යාල උපාධියක් ලබා නිවෙසට කොටුවී අනාගතය ගැන සිහින මවයි. අපට තිළිණි වැනි දක්ෂ දියණියකගෙන් අපේ දරුවන්ට කොතරම් ආදර්ශයක් ගත හැකිවේද? දවසින් තරුවක් වී ජනප්‍රිය වී රටම හඳුනා ගන්නා පසුබිමක තිළිණි නිමේෂා ජයතිලක ගැන දන්නේ කී දෙනාද? ඇයගේ සහජ හැකියාව හා ඇයගේ මව්පියන් කළ කැපකිරීම සමස්ථ සමාජයටම කියා දෙන්නේ දැවැන්ත වූ පාඩමක් හා උත්ප්‍රේරණයකි. සියලු පහසුකම් හා සෑම ශරීර අංගයක්ම හොඳින් ක්‍රියාත්මක දරුවන් කොපමණ සංඛ්‍යාවක් අවම වශයෙන් සා/පෙළ විභාගය සමත්වීමට නොහැකිව අධ්‍යාපනය නිමා කර ගන්නා අයුරු අප දකින්නේද? ඔවුන්ට තිළිණි වැනි දරුවන්ගෙන් උගතහැකි පාඩම කොතරම් දැයි අපි මොහොතක් විමසා බලමු.

 

2021/02/24 තරුණි පුවත්පත බලන්න