කෝවිඩ් සඳහා වූ ඔක්ස්ෆර්ඩ් එන්නතේ ප‍‍්‍රධාන පර්යේෂිකාව මහේෂි රාමසාමි

මාර්තු 3, 2021

ලාංකේය නම ලෝකයට ගෙන ගිය අය ඉඳහිටෙක අපට හමුවේ. ඒ අතර ළඳුන් ද හිඳීම කාන්තාවන් ලෙස අපට අභිමානයකි. පසුගිය දා අසන්නට ලැබුණු එවන් කාන්තාවක් නිසා අපට නැවතත් සතුටක් ගෙන දුන්නේය.

ඒ කොරෝනා නිසා ලෝකයම බියෙන් තැතිගෙන හිඳින මොහොතක කෝවිඩ්වලට එරෙහිව එන්නතක් සොයාගන්නට පෙරමුණ ගත් මහේෂි රාමසාමි නම් ලාංකේය උරුමයක් සහිත ශ්‍රි ලාංකික-බ්‍රිතාන්‍ය වෛද්‍ය විද්‍යාඥවරිය නිසාය.

ඇය, පළමු වරට ලෝකයේ කෝවිඩ් වෛරසය ආසදනය වීම නිසා ගිලන් වී ජීවිතය අයදින මිනිසුන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරියකි. මුලින්ම එම රෝගීන්ට ප්‍රතිකාර කරන්නට ලැබුණ අවස්ථාව අදත් ඇය සිහි කරන්නේ දෙනෙතේ කඳුළු පුරවා ගනිමිනි. ඇය ඒ ගැන පවසන්නේ මෙවැන්නකි. "ඒක හරිම භයානක තත්ත්වයක්. මිනිසුන් මියයමින් සිටියා. වෛද්‍ය විශේෂඥයකු වුවද ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක් තිබුණේ නැහැ. ඔවුන්ට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. මම වෛද්‍යවරියක ලෙස රෝගීන් මියයනවා දැක තිබුණා. එලෙස සාමාන්‍ය හේතූන් නිසා මියයන අයට හොඳ මරණයක් අත්කරලා දෙන්න අපිට හැකියාව තිබුණා. ඒ අවස්ථාවල ඔවුන්ගේ පවුල්වල අය ඔවුන් ළඟින්ම හිටියා. ඒත් මේ තත්ත්වය එහෙම නෙමෙයි. ඔවුන්ට අපේ මුහුණු පෙනෙන්නේ නැහැ. පවුල්වල කවුරුවත්ම ළඟ නැහැ. ඔවුන්ගේ අත් අල්ලා ගන්න, ඔවුන්ගේ ඇඳ මත වාඩිවන්නට අපිට අවසර නැහැ. ඔවුන් සමඟ දුක බෙදාගන්නට අපිට නොහැකියි. මේ නිසා මම ගෙදර ඇවිත් සැමියා සමඟ හඬමින් ඒ දුක බෙදාගත්තා."

මේ වන විට කෝවිඩ් රෝගය සාර්ථක ලෙස මැඩපවත්වන්නට එන්නත් තුනක් ලෝකයට හඳුන්වා දී ඇත. එම එන්නත් තුනෙන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා AstraZeneca plc.. ඖෂධ සමාගම එක්ව හඳුන්වා දුන් ChAdOx1 nCoV-19 vaccine  එන්නත සියයට 90 ට වැඩි සාර්ථකත්වයක් දක්වමින් ඉහළ අපේක්ෂාවන් ජනිතකර තිබේ. කෝවිඩ් වසංගත කාලය පුරාවටම මේ එනන්ත ලාභ නොලබන පදනම මත නිෂ්පාදනය කර ලොව පුරා බෙදාහැරීමට ඔවුන් කැපවී හිඳී.

මේ එන්නත සම්බන්ධ පරීක්ෂණ සිදුකරන කණ්ඩායමේ ප‍‍්‍රධානියා (Chief Investigator) වූයේ මහාචාර්ය ඇන්ඩෘ පොලාර්ඩ්ය. පර්යේෂණ ප‍‍්‍රධානියා වශයෙන් මහාචාර්ය සාරා ගිල්බර්ට් කටයුතු කරන ලද අතර rincipal Investigator තනතුරෙහි කටයුතු කළේ වෛද්‍ය මහේෂි රාමසාමිය.

මේ වන විට කෝවිඩ් වසංගතය නිසා ලොව පුරා ලක්ෂ විසිපහකට ආසන්න සංඛාංවක් මිය ගොස් සිටින අතර මිලියන එකොළහකට වැඩි ප්‍රමාණයක් වසංගතයට ගොදුරුව හිඳී. හෙට දිනයේ දී කොතරම් ප්‍රමාණයක් මිය යන්නේ දැයි අපට කිව නොහැකියි. එසේම මේ වසංගතය කවදා අවසන් වේවිදැයි යන්න පවා අවිනිශ්චිතය. ඒ නිසා කණ්ඩායම් ප්‍රතිඵලයක් ලෙසින් සොයාගන්නා ලද මේ එන්නතෙහි වටිනාකම මේ මොහොතේ දී මිල කළ නොහැකි අගනා සම්පතකි.

ඒ සම්පත සොයාගන්නට වෙහෙස වූ මේ පිරිසට ලොවේම කෘතඥතාව හිමිවිය යුතුය. අපේ රටේ ද මේ වන විට හාරසිය ගණනක් මිය ගොස් හිඳින අතර වසංගතයට ගොදුරු වූ හා ගොදුරුවන පිරිස ද දිනෙන් දින ඉහළ යමින් පවතී. ලොවම බියෙන් තැතිගන්වන කොරෝනා මාරයාට එරෙහිව එන්නතක් සොයා ගැනීම ඒ නිසාම සුළුකොට තැකිය නොහැකි දෙයකි. මේ අවස්ථාවේ එහි ඇති වටිනාකම කොතෙක්දැයි හඳුනාගත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු පවා ඔවුන් හමුවී එන්නත පිළිබඳ කතා කරන්නට තරම් කෘතවේදී විය.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත් සම්බන්ධ පර්යේෂණ සිදු කරන්නේ Oxford Vaccine Group  නම් අංශයෙනි. මහේෂි මෙහි ජේ්‍යෂ්ඨ සායනික පර්යේෂකවරියක ලෙස කටයුතු කරයි. Oxford Vaccine Group  වෙබ් අඩවියේ මහේෂි ගැන දැක්වෙන්නේ මෙවන් සටහනකි.

‘‘වෛද්‍ය මහේෂි ප්‍රථම වෛද්‍ය උපාධිය ලබාගන්නේ කේම්බ්‍රිජ් සරසවියේ කි‍්‍ර‍ස්ට් කොලේජ් වෙතිනි. ආසාදන රෝග හා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් වැඩිදුර හැදෑරිම් කළ ඇය පශ්චාත් උපාධිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වඩාම් කොලීජියෙන් ලබා ගෙන ඇත. කෝවිඩ් සඳහා වූ Oxford Vaccine Group හී ප‍‍්‍රධාන පරීක්ෂකවරිය වශයෙන් කටයුතු කරන මහේෂි එන්නත් වැඩිහිටියන්ට ලබාදීම සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතුවල නිරත වෙයි.

ඇය විශ්ව විද්‍යාලයීය ආරෝග්‍ය ශාලාවල මෙන්ම  NHS Foundation Trust  ආරෝග්‍ය ශාලාවල ද කායික රෝග වෛද්‍යවරියක වශයෙන් කටයුතු කරන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරියකි." ඇය නිරන්තරයෙන්ම ඔක්ස්ෆර්ඩ් හි වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීමෙහි නිරත වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ උපාධි ප‍‍්‍රවේශ වෛද්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වශයෙන් ද කටයුතු කරයි.

කෝවිඩ් 19 එන්නත සම්බන්ධයෙන්, එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණ කටයුතු කරන්න සිදුවෙනවා. ඒනිසාම දිනෙන් දින එය වැඩිදියුණු කරන්න වැඩිහිටියන් සමඟ කටුයුතු කරන්නට ඇයට සිදුවේ. එය බෙහෙවින්ම වගකීම් සහිත කාර්යයකි.

මහේෂි රාමසාමි අපේ රටට ඇති සම්බන්ධය කුමක්ද?

ඇය ලාංකේය විද්‍යාඥයන් දෙදෙනකුගේ දියණියකි. ඇගේ මව කීට විද්‍යාඥවරියක වූ මහාචාර්ය මන්ත්‍රී සමරනායකය. කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් සත්ත්ව විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත් අතර පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් මත කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට යයි. ඇයට සිය සැමියා හමුවන්නේ එහිදීය.

ඇගේ පියා විද්‍යාඥ රන්ජන් රාමසාමි කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු ද පශ්චාත් උපාධිය ලබා ඇත්තේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙනි. ප්‍රතිශක්ති විද්‍යාව හා ජෛව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ඔහු ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනමේ සභාපතිවරයා ලෙස ද කටයුතුකර ඇත. මහේෂිගේ මාපියන් කීට විද්‍යාව හා ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාඥයන් දෙදෙනකු බවට පත් විය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු සෞදි අරාබියේ දමාන් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරුන් බවට පත්වූ ඔවුන් පසුව නැවත උපන්බිමට පැමිණෙයි. කොළඹදී මහේෂි උපන්නේ ඉන්පසුවයි. පසුව ඔවුන් කෙන්යාවේ නයිරෝබි හි සේවය කළ අතර 1980 දශකයේ මුල් භාගයේ යාපනය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරුන් ලෙස ද සේවයකර ඇත. 2016 වසරේ දී මහේෂිගේ මව ජීවිතයෙන් සමුගෙන ඇතත් ඈ එකල ද තම දියණියගේ හැකියාවන් හා දක්ෂාතාවන් නිසා අපමණ සතුටක් ලබා ඇති අතර ඈ ගැන බෙහෙවින් ආම්බරයට ද පත්ව ඇත.

අපේ රටේ කීර්තිමත් කායික රෝග විශේෂඥ වෛද්‍යවරියක වන අනුලා විජේසුන්දර ඇගේ අම්මාගේ නැගණියකි.

මහේෂිගේ පළමු පාසල කොළඹ විශාකා විද්‍යාලයයි. මහේෂිගේ මවත් ඇගේ පුංචි අම්මාත් යන දෙදෙනාම කොළඹ විශාකාවේ ආදි ශිෂ්‍යාවන් වූවාය. ඒ නිසාම ඇයත් තම අධ්‍යාපනයේ පදනම සලසා ගැනීමට විශාකාවටම ඇතුළත් වූ මුත් එහි අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ මාස දහයක පමණ ටික කලක් පමණි. ජාතිවාදී අරගල නිසා 1983 දී රටේ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය හමුවේ ජීවිත අනාරක්ෂිතභාවය නිසාම මහේෂිගේ මවුපියන් අමෙරිකාවේ පදිංචියට ගියෝය. තම ළමා කාලය ගැන මතකයට නඟන මහේෂි සිය පළමු පාසල පිළබඳ ද කතා කරයි. එහිදී ඈ පවසා සිටියේ සිය මවත් පුංචි අම්මා වූ අනුලා විජේසුන්දරත් විශාකාවට ආඩම්බරයක් ගෙන දුන් ආදි ශිෂ්‍යාවන් දෙදෙනෙක් බවය. ජාතීවාදී අරගල හමුවේ මවුබිමෙන් සමුගන්නට සිදුවීම නිසා ඇයට එයට එක්වන්නට තිබූ අවස්ථාව මඟ හැරුණි.

එකල තම මපියන් සෙවණේ බෝවන රෝග, ප‍‍්‍රතිජීවක හා එන්නත් ගැන සාකච්ඡාවන් කරමින් රාත‍‍්‍රී ආහාර ගත් ආකාරය අද ද ඇය සිහිකරයි. ඒ සාකච්ඡාවන් බොහොමයක් තමනගේ අනාගත වෘත්තිය තෝරාගැනීම කෙරෙහිත් වෛද්‍ය වෘත්තිය කෙරෙහි ඇල්මක් ඇතිකළ බවත් ඇය පවසයි.

මහේෂිගේ මාපියන් ලංකාවන් සමුගෙන ඔස්ටේ‍්‍රලියාවේ බි‍‍්‍රස්බෙන් නුවර කලක් වාසය කළ අතර පසුව නැවතත් 1989 වර්ෂයේ දී උපන් රටටම පැමිණියෝය. එහෙත් ඒ කාලයේ මහේෂිගේ සිංහල දැනුම අල්ප විය. මේ නිසාම ඇය විශාකාවට ඇතුළත් නොවී තම අධ්‍යාපාන කටයුතු වෙනුවෙන් ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලට ඇතුළත් විය. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට මුහුණ දෙන්නේ එහිදීය. එකල ඇය එම පාසලේ ප‍‍්‍රධාන ශිෂ්‍ය නායිකාව වූ අතර ෆිලික්ස් ආර් ද සොයිසා අධ්‍යාපන විශිෂ්ටතා ශිෂ්‍යත්වයට ද හිමිකම් කීවාය.

ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපන කටයුතු කළ කාලය ද ඈ සෙනෙහසින් සිහිකරයි. එවකට එහි විදුහල්පති දූරය දැරූ නොරීන් වැලිකල පිළිබඳ පවසන්නේ ගෞරවයෙනි. එකල ඇය සිය කොළඹ විසූ පවුලේ සමීප ඥාතීන් සමඟ ගත කල කාලය සිහිකරයි. සිය ඥාති සහෝදර සහෝදරියන් සමඟ උදේ කාලයේ පාසලට යන ඔවුන් දහවලේ ආහාරය සඳහා සිය ආච්චිගේ හා සීයාගේ නිවහනට පැමිණෙයි. සියල්ලන් එක්වී රාත්‍රී කාලයේ පියානෝව වාදනය කරමින් ගී ගැයූ හැටි ද අද ඇයට මිහිරි මතකයන්ය.

ඇය උසස් පෙළ සමත් වන විට වයස අවුරුදු දහසයක් වූවා පමණි. මේ නිසා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නට තවත් වසරක කාලයක් බලා ඉන්නට සිදු වූවත් 1995 වර්ෂයේ දී විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ කේම්බි‍‍්‍රජ් පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයකට හිමිකම් ලබාගනිමිනි. අද 43 හැවිරිදි මහේෂි වයස අවුරුදු 10, 13 හා 15 යන වයස්වල පසුවන දරුවන් තිදෙනකුගේ ආදරණීය මවකි. ඇය විවාහ වී සිටින්නේ තමන් සමඟ එකට ඔක්ස්ෆර්ඩ් හි අධ්‍යාපනය ලැබූ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සමඟිනි.

ඇය බෙදා හදාගෙන වැඩ කරන්නට සමතෙකි. කීර්තිමත් පර්යේෂණායතනයක ප‍‍්‍රධාන පර්යේෂිකාවක් වශයෙන් බරපතළ වගකීමක් දැරුවත් ඇය තවමත් රෝගීන්ට බෙහෙත් දෙන වෛද්‍යවරියකි. ඒ ගැන ඇගේ මතය මෙවැන්නකි. ‘‘මම සායනික කටයුතුවලටත් සියයට පනහට පනහේ කාලයක් ලබා දෙනවා.’’ ඒ විතරක් නොවේ, ඉඩ ලැබෙන විවේකයේ දී ඇය සිය හිත මිතුරන්ට ආහාර සකසා පිරිනමන්නට දක්වන්නේ ද මහත් රුචියකි.

ඔබ ආදරණීය මවක්. ඒ වගේම සෙනෙහෙබර බිරියකගේත් භූමිකාවක නිරත වෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම කරන්න ඔබට කාලය කොයින්ද? මේ පැනයට ඇගේ පිළිතුර සිනහවක් සමඟ සිය ආදරණීය සැමියා ගැනයි. ‘‘මගේ මහත්තයා අපේ පවුලෙ කටයුතුවල දී හොඳ සහායක් ලබාදෙනවා. උයන පිහින දේට වගේම, දරුවන් රැක බලාගැනීමේ දී පවා ඔහු මට ආදරණීය සහායකයෙක්.’’

මෙතරම් අවිවේකී දිවියක් ගෙවූවද ඇය පොත්පත් කියැවීමට දක්වන්නේ ඉමහත් ඇල්මකි. ඒ නිසාම සිය වටිනා කාලයෙන් කොටසක් ඒ වෙනුවෙන් වැය කරන්නට ද අමතක නොකරයි. ඇය නිරන්තර පොත් කියවන්නියකි. කොයි තරම් වැඩ තිබුණත් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඇගේ පොත් ගුල එක පරිහරණයට සෑම මාසයකම අවකාශ සොයා ගනී.

දැන් ඇය ඔක්ස්ෆර්ඩ් කෝවිඩ් -19 එන්නත පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගනිමින් සිටී. බ්‍රිතාන්‍යයේ ජීවත් වුවද මහේෂිගේ නෑදෑයන් බොහොමයක් හිඳින්නේ ලංකාවේය. ඇගේ පුංචි අම්මා වන අනුලා විජේසුන්දර හා සිය ඥාති සහෝදර සහෝදරියන් සමඟ කාලය ගත කරන්නට ලංකාවට පැමිණෙන්ට ඈ බලාපොරොත්තුවෙන් හිඳී.

තම උපන්බිමට අභිමානයක් ගෙන දුන් මහේෂි ඇතුළු කණ්ඩායමට කෝවිඩ් - 19 එන්නත 100% ක් ම සාර්ථක කරගන්නට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු. එය ලෝකයට අසමසම සේවයක් වනු නියතයි.

තොරතුරු ලබාගැනීම අන්තර්ජාලයෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.