අකුණු ගහන වෙලාවට එළියටවත් බහින්න එපා

අප්‍රේල් 7, 2021

 

අකුණක් වැදුන විට මාංසපේශි වේදනාව, අස්ථි බිඳීම, හෘදය අකර්මණ්‍ය වීම, ව්‍යාකූලත්වය, කන් නො ඇසී යාම, වලිප්පුව, පිලිස්සීම, හැසිරීමේ වෙනස්කම් සිදුවීම සුලබවම ඇති විය හැකි ලකුණුයි. අකුණකදී බොහෝදෙනකුට සිහිසුන් වෙනවා. පසුකාලීනව ඇහේ සුද ඇති වීමටත් අකුණු වැදීම හේතු වෙනවා.

ස්වාභාවික මාරාන්තික තර්ජන අතරින් අකුණු ගැසීම දෙවැනි වන්නේ ගං වතුරට පමණයි.

අකුණු ගසන වෙලාවක එළි මහනක සිටියොත් බිම දිගා වෙන්න එපා. ඇණ තබා ගෙන වාඩිවී පොළොව සමඟ ගැටීම හැකිතරම් අඩු කරන්න. වැව්,පොකුණු, ගංගා, ඇල දොළ වැනි ජලාශ්‍රිත තැන්වලින් ඈත් වන්න. ජලයේ සිටීම අකුණු ඉල්ලා ගෙන කෑමක් වගෙයි. තමන් සමඟ කණ්ඩායමක් සිටිනවා නම් හැකි තරම් එකිනෙකාගෙන් ඈත් වන්න.

වසා ඇති වාහනවල සිටීම අනතුරුදායක නැති නමුත් විවෘත වාහනවල නම් ඉන්න එපා. මෝටර් රථවල ගමන් කිරීමත් අනතුරුදායකයි.

අකුණු ගසද්දී ස්නානය නො කරන්න. විදුලි උපකරණ භාවිත කිරීමත් අනතුරුදායකයි. පරිගණක, ලැප්ටොප් භාවිතයෙන් වළකින්න.

“බක් මහටයි ගොඩ වැස්ස වහින්නේ. බක් මහටයි අවුරුද්ද පුරන්නේ. “මේ සියලු සුබ කරණා සමඟ අප අමතක නො කළ යුතු දෙයක් තියෙනවා.

 

“බක්මහටයි හෙණ විදුලි කොටන්නේ

ජීවිත ගණනක් වැනසී යන්නේ“

යන්න ඒ අමතක නො කළ යුතු දෙයයි. වසරකට අකුණු අනතුරුවලට දෙලක්ෂ හතළිස් දහසක් පමණ ගොදුරු වන අතර විසි හතර දහසක් මිය යනවා. කාන්තාවන්ට වඩා පිරිමින් අකුණු අනතුරුවලට ගොදුරු වෙනවා. අකුණු අනතුරකින් මිය නො ගියත් ජීවිත කාලය පුරාම වධ දෙන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසයි අකුණු වැඩි මාසවල මේ පිළිබඳව නිරන්තරයෙන්ම දැනුවත් කරන්නේ.

අකුණු ගසන විට හිසේ කෙස් කෙළින් වෙනවා වගේ අකුණු අනතුරු ගැනත් අපට අසන්නට ලැබන්නේ ගෙරවීමක් නැතිවම හිස කෙස් කෙලින් කරන කාරණායි.

අකුණක් කියන්නේ යෝධ විදුලි බල ප්‍රමාණයක්. එක් අකුණු ධාරාවකට කිලෝමීටර් 8කට ( සැතපුම් 5 කට ) වඩා දුරකට යා හැකියි. වාතයේ උෂ්ණත්වය අකුණක් නිසා ෆැරන්හයිට් අංශක 50, 000 කින් ( සෙල්සියස් අංශක 27,700 කින් ) ඉහළ යනවා. මෙතරම් බලසම්පන්න අකුණක ගොදුරක් වුණොත් අත්වන ඉරණම ගැන කවර කතාද? අකුණු පහරකට ලක්වන සියයට දහයක් පමණ මිය යනවා. ජීවිතය අහිමි නො වුණත් අකුණු වැදීම නිසා හදවත අකර්මණ්‍ය වීම, දරුණු ලෙස පිලිස්සීම, මොළයට ස්ථිර ලෙස හානි සිදුවීම, මතකය අහිමි වීම, පෞර්ෂත්වය වෙනස් වීම වැනි විවිධ ආබාධවලට ලක් වෙනවා.

අකුණු අනතුරකට ලක් නො වීමට නම් අප කළ යුත්තේ කුමක්ද? මහමඟ අනතුරු මෙන්ම අකුණු අනතුරු ද අපට පහසුවෙන් වළක්වා ගන්න පුළුවන්. අංක එකට කළ යුතු දේ අකුණු ගහන වෙලාවට නිවෙසටම වී සිටීමයි. එපමණකින් පමණක් අකුණකින් බේරී සිටීමට බැහැ. නිවෙසකට විවිධාකාරයෙන් අකුණකට ඇතුළු වන්න පුළුවන්. කෙළින්ම නිවෙසට අකුණ වදින්න පුළුවන්. පිටතින් සම්බන්ධ පයිප්ප, වයර් මාර්ගයෙන් හා දුරකථන, නළ, රේඩියෝ, රූපවාහිනී සම්බන්ධ පද්ධති හරහා ද අකුණු ඇතුළු වෙනවා. කොන්ක්‍රීට් බිත්ති හරහා ද බිම හරහා ද අකුණු පැමිණෙනවා. නිවෙස් තුළ සිදුවන අකුණු අනතුරුවලට ප්‍රධාන හේතුව අකුණු ගසන වෙලාවේදී වයර සහිත දුරකථන භාවිත කිරීම.

මේ වෙලාවට හෑන්ඩ් වොෂර්ස්, ඩ්‍රයර්ස් භාවිතය ද සුදුසු නැහැ. විදුලි උපකරණ විසන්ධි කළ යුත්තේ අකුණු ගසද්දී නො වෙයි. අකුණු ගැසීමක පෙර නිමිති පහළ වෙන විටයි. මේ වේලාවට අත් සේදීම, භාජන සේදීම, රෙදි සේදීම නො කළ යුතුයි. ගෘහණියන් අකුණු ගැසීමකටවත් වැඩ කටයුතු නතර කරන්න කැමැති නැහැ. ඒත් පවුලේ අය වෙනුවෙන් තමන්ගේ ජීවිතය රැක ගැනීම පවුලේ අම්මා වශයෙන් තමන්ගේ යුතුකම බව අමතක කරන්න එපා.

විදුලි අනතුරුවලට මිථ්‍යා විශ්වාසත් බලපානවා. සමහරු හිතන්නෙ රබර් සෙරෙප්පු දැම්මම ආරක්ෂාවක් සැලසෙනවා කියලයි. ඒ විශ්වාසය වැරැදියි. අකුණු වැදුණු කෙනෙක්ව බේරා ගන්න බය වෙන්න එපා. ඒ තැනැත්තා ඇල්ලීමෙන් තමන්ට අනතුරක් වෙන්නේ නැහැ. වහාම ඔහු / ඇය ප්‍රතිකාර පතා රැගෙන යන්න.

එක් වරක් අකුණු වැදුණු තැනකට නැවත අකුණු නො වැදේවි කියා සිතන්න එපා. උස ගොඩනැඟිලිවලට, ස්මාරකවලට නිතර අකුණු වදිනවා. වැස්සෙන් බේරීමට කුඩය උදව් වුණත් කුඩය නිසා අකුණු වැදීමේ ඉඩ නම් වැඩි වෙනවා. ඒ වගේම වැස්සෙන් බේරීමට උස් තැනක සිටියත් අකුණෙන් බේරීමට උස ගසක්, උස් ද්‍රව්‍යයක්, ලෝහ ද්‍රව්‍යයක්, කම්බි වැටක්, භූගත පයිප්ප ළඟ ඉන්න එපා.

 

උපදෙස් -ප්‍රජා වෛද්‍ය විශේෂඥ

දිමුතු ධර්මවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.