වසා දැමූ ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් මුඛ ආවරණ මැසූ හාමුදුරු‍වෝ

අප්‍රේල් 8, 2020

*මුඛ ආවරණ 15000ක් මසා කරවනැල්ල සහ කෑගල්ල රෝහල්වලට පරිත්‍යාග කරයි.

 

*ආහාර අර්බුදයට විසඳුමක් ලෙස ප්‍රදේශයේ පුරන් කුඹුරු අස්සැද්දවීමට ගොවියන් දිරිමත් කරයි.

 

 

වෛරසය එන්න එන්නම වේගයෙන් ලොව පුරාම පැතිරෙනවා. වෛද්‍ය පහසුකම් දියුණුම රටවලත් එක දවසකට සිය දහස් ගණනකට වඩා මිය යනවා. මේ මහපොළොව මත මනුෂ්‍ය වාසය කවදා කොහොම පටන් ගත්තත් වත්මන් මනුෂ්‍යයා සිටියේ මහ උජාරුවෙන්.

මේ පෘථිවිය විතරක්නෙවෙයි සෞරග්‍රහ මණ්ඩලයේම තොරතුරු සොයා ගත්තා යැයි ආඩම්බරයෙන්. උඩින් යන්න, යටින් යන්න, කිමිදෙන්න විතරක් නොවේ ආලෝකයේ වේගය පරදවමින් අභ්‍යවකාශය තරණය කරන්න පවා යාන වාහන හැදුවා. අවුරුදු ගාණකින් ඵලදාව දුන් ගස්වැල් වල ජාන වෙනස් කරලා කෙටිකාලයකින් පලදාව ගත්තා.

ඒ විදියට පලතුරු ගෙඩි කඩා ගත්තා කියල, අඩු මාස ගණනකින් වී අස්වැන්න නෙළාගත්තා කියලා මිනිස්සු ආඩම්බරයෙන් උදම් ඇණුවා. මිනිස්සු පාට පාට වාහනවල වේගයෙන් පියඹා ගියේ ජීවිතය ජයගත්තා කියලා හිතාගෙන.

සියලුම සත්වයන්ට එකසේ පරිහරණය කරන්නට අයිතිවාසිකමත් තිබුණත් මිනිස්සු මුළු පරිසරයම විනාශ කළේ ඉවක් බවක් නැතිව. මාළු නිදහසේ දඟලපු වැව් කඩිති ඇළ, දොළ, ගංගා වලට කර්මාන්ත ශාලා වල කුණු කාණු හැරෙව්වා. සතා සිවුපාවා ජීවත් වූ පරිසරය විනාශ කරල මහා හෝටල් ගෙවල් හැදුවා. වන සත්තු හිරකරලා මිනිස්සු නිදහස හෙවුවා. ඒ විතරක් නෙවෙයි දවස් තුන්සිය හැටපහම දුමාරයෙන් නිල් අහසම විනාශ කරා. අන්තිමට මිනිස්සුන්ට පරිසරය රිදෙන්න ටොක්කක් ඇනල සිහිය උපද්දවන්න උත්සහ ගත්තා.

මිනිස්සු ගෙවල් වල හිරවුණා. හංසයෝ විල් වල නිදහසේ පීනා ගෙන ගියා. පරිසරයම අලුත්ම උද්දීපනයකින් හිනැහෙන්න පටන් ගත්තා. කිසිදාක නොපිපෙන්න හිතාගෙන හිටපු ගස් වල මල් පිපිල හිනැවුණා. කුරුලු රෑන් අහසෙ පියඹාගෙන ගියේ පුදුම නිදහසකින්. මේ සොබා දහම මිනිස්සුන්ට දුන්න පුංචි දඩුවමක් විතරයි.

සොබා දහම කියන දේ නොඇසුවහොත් ආයෙත් නැගිටින්න බැරිවෙන්නම දඩුවම් විදින්නට අපට සිද්ද වෙයි.

හැබැයි මේ අවධානය කලින්ම දැනගත් මිනිස්සු වේගයෙන් දුවන ජීවිතේ පුංචි විරාමයකදී අධ්‍යාත්මික සුවය සොයාගෙන ගියා. ඔවුන් දැනගෙන හිටියා මේ සියල්ලටම වඩා සිල් සුවදින් නැහැවුණු අධ්‍යාත්මික සුවය ප්‍රබලයි කියල. ඒත් සමහර පන්සල්වල කෝවිල්වල පල්ලිවල රැඳීල තිබුණෙ අධ්‍යාත්මික සුවය වෙනුවට සිල්ලර කාසි තැවරුණු ඝෝෂාකාරී ශබ්ද පූජාවන් විතරයි. මේ අතර කසාවත අතර සිල් සුවඳ තැවරුණු අපේ

යතිවරුන් කළ සේවය අති විශිෂ්ටයි. මෙවැනි මෙහොතක එවැනි යතිවරුන්ගේ මඟ පෙන්වීම රටකට විශාල ශක්තියක්.

තරුණී අප සොයා ගියේ දැඩි හිරු එළියේ දැවෙන මිනිසුන්ට සෙවණ දෙන මහා රුක්ෂයක් බඳු සිල් සුවඳ තැවරුණු එ‍වැනි පුණ්‍ය භූමියකට. ඒ තමයි රුවන්වැල්ල ශ්‍රී විශූධාරාමය. අප ශාන්ති නායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම මාර්ගයේ යමින් එම පුණ්‍යභූමියේ සිල් සුවඳීන් නැහැවෙන මහා බලවේගය නිර්මාණය කිරීමට වසර ගණනාවක් වෙහෙසුණු නායකත්වය හා මගපෙන්වීම සපයන යතිවරයාණන් වන්නේ තුන්කෝරළයේ සහ පහත බුලත්ගම දෙපළාතේ මහා සංඝනායකහරියාලේ අරියවංශාලංකාර නායක හිමිපාණන්ය.

උන් වහන්සේ මේ අසීරු මොහොතේ සිදු කරන මෙහෙවර සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවට පමණක් නොව මේ මොහොතේ වගකීම පැහැර හැර සිටින දේශපාලන නායකයන්ට පවා පුර්වාදර්ශයකි.

උන්වහන්සේ ජාතිය අවදි කිරීම වෙනුවෙන් සිදු කරන මහගු මෙහෙවර පිළිබඳ අපට පැහැදිලි කළේ ඉතාමත් සැහැල්ලු සිතින් හා අධ්‍යාත්මික ස්වරයකිනි.

“අපි මේ අසීරු අවස්ථාවේ දී රට වෙනුවෙන් කරන්න පුළුවන් මොකක්ද කියල හිතුවා. පන්සල ලැබෙන දානෙ වේල වළඳල හවසට පිරිත් ටිකක් කියල ආශීර්වාද කරනවාට අමතරව වඩා පුළුල් දැවන්ත වැඩක් කරන්න තිබෙන හොඳම අවස්ථාව මේක කියල මට හිතුණ. ඒ අනුව අපි පියවරවල් පහක් යටතේ මේ කටයුත්ත සඳහා දායක වෙන්න අදහස් කෙරුවා. මෙහිදී මම මුලින්ම උත්සහ කළේ අපේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් මූලිකම මෙහෙවර කරන්න. ඒ අනුව තමයි

මුලින්ම අපේ විහාරස්ථානයට මහා සංඝ රත්නය වඩම්මවල 108 වාරයක් රතන සූත්‍රය දවස් තුනක් අඛණ්ඩව සජ්ජායනය කළේ. මේ කටයුත්ත කළේ මිනිස්සුන්ගේ මානුෂික ශක්තිය සහ ඒකාග්‍රතාවය ඇති කරල ජනතාවට චික්තශක්තිය ඇති කිරීමට. අපි ඊළගට කළ දේ තමයි මේ ප්‍රදේශයේ රෝහල්, පොලීසි සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකරාශි කරගනිමින් ජනතාවට සේවය සැලසීම වෙනුවෙන් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම.

ඒ සඳහා මගේ පෞද්ගලික මැදහත්වීමෙන් හදපු කෝටි හතර හමාරක් වටිනා කුමාරිහාමි ශ්‍රී සෝභිත අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සෞඛ්‍ය කටයුතු අවශ්‍යතා සඳහා පරිත්‍යාග කිරීම.

ඊළඟට ඇතිවු ලොකුම ගැටලුව තමයි සෞඛ්‍ය අංශවලට මුඛ ආවරණ නොතිබීම.

අප ඒ සඳහා ප්‍රදේශයේ වසා තිබුණු ඇගළුම් කම්හලක් විවෘත කරල ප්‍රදේශයේ තරුණ තරුණියන් 15 දෙනකුගේ දායකත්වයෙන් මුඛ ආවරණ 15000ක් මැසීම කඩිනමින් සිදු කිරීම. එම කටයුත්ත සිද්ධ වුණේ කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධීක්ෂණය යටතේ නිවැරැදි ප්‍රමිතියට අනුවයි. මේ සියලු මුඛආවරණ අපි කරවනැල්ල සහ කෑගල්ල රෝහල්වලට පරිත්‍යාග කළා. දැනට මෙම කටයුත්ත තාවකාලිකව අපට නවත්තන්නට සිදු වෙලා තියෙන්නේ නූල් සහ අනිකුත් අමුද්‍රව්‍ය සොයා ගැනී‍මේ අපහසුතාව නිසායි.

අපේ ඊළග පියවර වුණේ රටේ ඉදිරියේදී ඇති වියහැකි ආහාර අර්බුදයට විසඳුමක් සොයාගැනීම. ඒ වෙනුවෙන් මේ ප්‍රදේශයේ සිටින සියලුම ගොවි මහත්වරු කැඳවල ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරල පුරන් වෙලා තිබුණු කුඹුරු අස්සැද්දීම ඉතාඉක්මනින් ආරම්භ කිරීමට සැලසුම් කරල තියනවා. මේ සතිය ඇතුළත මේ කටයුත්ත අපි සිදු කරනවා. ඊට අමතරව ගෙවතු වගාව වෙනුවෙන්ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනයෙන් අපේ විහාරස්ථානයට බීජ සහ පැළ ගෙන්වා ගෙන ඒවා බෙදා දීම ඉදිරි දින කිහිපය පුරාම සිදු කරනවා. අපගේ පස්වැනි පියවර වී තිබෙන්නේ දෛනිකව කුලී රැකියාවල් කළ අය, කුඩා ව්‍යාපාර කළ අය වෙනුවෙන් උපකාර කිරීම. මේ මොහොතේ ඔවුන් ඉතාම අසීරුතාවයට පත් වෙලා තියනවා. මේ අවුරුද්ද උදාවෙන මොහොතේ එවැනි පවුල් 5000කට වියළි ආහාර පාර්සල් බෙදා දීමේ කටයුතු අප සිදු කරනවා.අද (අප්‍රේල් 8 වැනිදා) සිට 10 වැනිදා දක්වි මේ කටයුත්ත සිදු කිරීමට අප සැලසුම් කරලා තියනවා.

අපි සියලු කටයුතු සිදුකරන්නේ ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී ගන්නා උත්සහයට ශක්තියක් වෙන්න. සමස්ථ ජනතාවම දෑස් ඔසවා ජනාධිපතිවරයාට ආශිර්වාද කරන්නේ මෙම කටයුත්ත කිරීමට ශක්තියක් වෙන්න කියල. ‘’