නිසරු දෙයින් සරු දෙය වෙන්කර ගන්න

ජුනි 26, 2019

ජීවිතය උත්තරීතරය. යමකුට ජීවිත ඥානය තුළින් පහළවන්නා වූ නික්ලේශී සුවය ආදරය, කරුණාව, දයාවයි. එහෙත් වර්තමානයේ මිනිස් හදවත තුළ මේ කියන්නාවූ සානුකම්පිත ළෙන්ගතු හැඟීම් මැළවී ගොස් ඇත.

සිත ඇදී යන්නේ බාහිර උත්තේජන වෙතය. ඒ හා බැඳි පටු ආශාවන්ටය.

ඒ නිසාම අපේ ජීවිත වෙතින් පලා ගොස් ඇති මෘදු, මොළොක් භාවය යළිඳු ගොඩනගා ගත යුතුය. ධර්මය ධර්මානුකූලව අවබෝධකර ගැනීම එයට ඇති එකම මඟයි.

පින්වත්නි, සැබැවින්ම ජීවිතයේ උතුම්කම මල්ඵල දරන්නේ ධර්මාවබෝධයෙනි.

එකිනෙකාගේ හිත් තුළ උපන් වෛරය, ක්‍රෝධය, තරහව, පළිගැනීම මැඬලීමේ කදිම ඔසුවකි ධර්මය. අපේ මතු පරපුර රටේ අනාගතය දරුවන්. ඒ නිසාම ඔවුන්ගේ චර්යාව, ආකල්ප, සාරධර්ම ගැන මවුපියන් වඩ වඩාත් උනන්දු විය යුතුය.

ඔබ දරුවාව තරඟ විභාග හා අධ්‍යාපන දැනුම මතම මෙහෙය වන්නේ නම් පමණක් එය අසාර්ථක ප්‍රයත්නයකි. අද රටට ලෝකයට අවශ්‍ය වන්නේ නැණවත් මෙන්ම ගුණවත් දරුවෙකි.

පසුගිය කාලයේ රට තුළ උද්ගත වූ යුදමය වාතාවරණය මෙයට කදිම නිදසුනකි. රටේ ඇතිවූ කලකෝලාහල, භීෂණයන්ට මුල් වූ බොහොමයක් අය උසස් අධ්‍යාපනයේ පරතෙරටම ගිය අයයි.

පින්වත්නි, ඔවුන් ප්‍රගුණ කර ඇත්තේ විභාගයකට අවැසි පොතපතේ දැනුම පමණි. ලෝකය දිනන්න, ලෝකය ජයගන්න, මිනිසත්කම සුරකින්නට හැකි සාරධර්ම සංවර්ධනයක් ඔවුන් වෙත කිසි කලෙකත් ලැබී නැති සේය.

රටට වැඩැති දරුවන්

ආදරණීය අම්මේ, තාත්තේ ඔබේ දුව, පුතා රටට හිතැති, රටට වැඩැති පුරවැසියකු බවට පත්කිරීමේ වගකීම ඔබ සතුයි.

එමෙන්ම ඒ සඳහා තරයේ අදිටන් කරගත යුතු කාලය මෙයයි. සියල්ල සිදුවූවාට පසු පසුතැවිලිවීමෙන් පලක් නොවේ. විෂයය සමගාමී දැනුම ලබා දීමත් සමඟම දහම් දැනුම දරුවාට ලබාදිය යුතුයි. හැකිතරම් ගුණ දහමින් පෝෂිත ආකල්ප එකතුකළ යුතුයි.

පළමුව ඔබ දහම් පාසල් අධ්‍යාපනයේ වටිනාකම අවබෝධකර ගැනීම වැදගත්. දෙවැනුව ඒ සඳහා ඔබේත් දරුවාගේත් කාලය වෙන්කර ගැනීමත් අතිශය වැදගත්.

ඔබ දරුවාට ලබා දෙන මේ සාරධර්ම අධ්‍යාපනය ඔබේ අනාගතය ද සුරක්ෂිත කරනු ඇත. ගුණගරුක දරුවකු කිසිදා මවුපියන්ට නොසලකා හරින්නේ නැත. විනයකින් තොර ඉගෙනීමක් වේ නම් එය තමාටත් අනුන්ටත් සාරවත් පිණිස නොපවතී.

මෛත්‍රිය, මුදිතාව, කරුණාව, උපේක්ෂාව වැනි උතුම් සාරධර්ම ජීවිතයට සම්බන්ධ කරමින් උසස් ජීවිතයක් කරා ගමන් කිරීම දහම් අධ්‍යාපනයේ පරමාර්ථයයි.

සාරධර්මවල වටිනාකම

පින්වතුනි, මිනිස් සංහතිය අද දක්වා හැඩවුණේ මල්ඵල ගැනුණේ සාරධර්මවලිනි.

දහමට ළැදි පුද්ගලයා තුළ ක්‍රෝධය නැතිබව, නිරෝගී බව, දිනන ලද ඉඳුරන් ඇති බව, දයාවන්තබව, ඉවසීම, සියලු දේ ප්‍රියබව, ත්‍යාගවන්ත බව, ලෝභ නැතිබව, නිර්භීත බව හා ප්‍රසන්න බව ඇතිවේ.

දරුවකුට මේ ලක්ෂණ ඇතිකරලීමට නම් දහම් අධ්‍යාපනයක් ඇවැසියමය.

සාරධර්ම පිරි ශ්‍රේෂ්ඨ ජීවිතයක් අත්පත් කර ගැනීමට පදනම වන්නේ පංචශීල ප්‍රතිපත්තියයි. අපේ බෞද්ධ දරුවෝ මෙම පංචශීලයේ පිහිටා තම ජීවිතය සකස්කර ගැනීමට උත්සාහ ගන්නෝය.

 

මම දිවි හිමියෙන් අන් ජීවිතවල අයිතිය සුරකිමි.

මම දිවි හිමියෙන් අන් සතු දේපළවල අයිතිය සුරකිමි.

මම දිවි හිමියෙන් වැරැදි ලෙස නොහැසිරෙමි.

මම දිවි හිමියෙන් සත්‍යවාදී වෙමි.

මම දිවි හිමියෙන් මතින් වළකිමි.

 

දහම් දැනුමේ අවශ්‍යතාව

ඔබ කවදාක හෝ මරණාසන්න පුද්ගලයකු එසේත් නැතිනම් මරණයට ගෙන යන ගවයකු දැක තිබේද? ඒ අවස්ථාවේ එම මුහුණෙන් පෙනෙන අසරණකම, බිය, ශෝකය කොයිතරම් දැයි දැක තිබේද? සැබෑවටම හදවතින් එවන් දෙයක් දැක ඇත්නම් ඔබ කුහුඹුවකු හෝ මරා දමන්නේ නැත.

සෑම කෙනකුටම වේදනාව, දුක දැනේ. එසේම ජීවත්වීමට කැමැතියි. එබැවින් ප්‍රාණ ඝාතය පාපී ක්‍රියාවකි. අකාරුණික සමාජයක් බිහි වන්නේ පාපී සිත් සමූහයකිනි. ඉදින් පින්වතුනි දහම් පාසල වෙත යොමුකරවන ඔබේ දරුවා පවෙන් මිදෙනු ඇත. අන් සතු දේ අයුතු ලෙස ගැනීම, සොරකම, සූදුව, අල්ලස් ගැනීම, වැඩ පැහැර හැරීම මේ සියල්ල වරදකි. හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කිරීම හිතට වදයකි. කුඩා කල පටන්ම හෘද සාක්ෂියට අවනතවීම වටිනා ගුණයකි.

මානසික වශයෙන් ආශාවන්ට පමණට වඩා යොමු වීම නිසා සිතේ ඒවා රැස්වී මනෝ රූප දැකීම, සිහින ලෝකෙක ජීවත්වීම ඉගෙන ගන්නා වයසේ පසුවන දරුවන්ට බාධාවකි. ඔබේ දරුවාට පමණට වඩා ආශා ගොනුකර ගැනීමේ අයහපත්කම වටහා දිය යුතුය. දහම් පාසලක වටපිටාව තුළින් මෙය සිදු කළ හැකිය.

පින්වතුනි, බොරු කියන්නේ ආත්ම ශක්තියක් නැති අයයි. බොරුව රජයන ජීවිතයක්, සමාජයක් හිස් බවින් යුක්තය. ගැටුම් සහිතය. අවංක බව මානසික ගැටුම්වලින් තොරය. දහම් අධ්‍යාපනයට යොමු වී කුඩා කාලයේ සිට අවංකව කටයුතු කරන්නේ නම් තමා තමාටම ගෞරවනීය පුද්ගලයෙකි.

සිහිය විකල් කරන මත්ද්‍රව්‍ය

ශාරීරිකව හා මානසිකව අපගේ ජීවිතය වනසාලන මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පංචශීල ප්‍රතිපත්තිය අනුගමනය කරන්නකුගේ ලක්ෂණයකි.

මත් වතුර, මත් ද්‍රව්‍ය ගැනීමෙන් රුධිරයේ ගමන් මඟ අවහිර වේ. මොළයේ අක්‍රීයභාවය නිසා මතක ශක්තිය, ඉගෙනීම දුර්වල වේ. මේ අයට බුද්ධිය අහිමි වේ. බුද්ධිය යනු හොඳ නරක තෝරා බේරා ගැනීමට ඇති ශක්තියයි.

සාරධර්ම වටහා ගැනීමට බුද්ධිය අවශ්‍යයි. සාරධර්ම හඳුනා නොගත් අය බුද්ධිමත් නොවන නිසා ධනයෙන් ද මත් වේ. බලයෙන් හා තරුණකමෙන් උමතු වේ. ඔහු බාහිර දේ මඟින් ද සතුට සොයා යයි. ඔවුහු මත්ද්‍රව්‍ය, දුම්පානය, කය වැරැදි ආකාරයෙන් පිනවීම, සිදුකෙරෙති. මෙවන් අය දුර්වල කායික, මානසික තත්ත්වයක් ඈත්වීම නිසා සමාජයේ අන් අය අතර පිළිකුල් සහිත වේ. සන්සුන්කම, සංවේදීබව තුරන් වේ.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවකින් සන්සුන්කමට පත්වන මිනිසා මරණයට පෙර සත්‍යාවබෝධය ලබා සැනසීමට පත්වෙන බව සුත්ත නිපාතයේ පුරාභේද සූත්‍රයේ සඳහන් වේ.

එමෙන්ම අප දරුවන් ද නො සන්සුන්කම, නො දැනුවත්කම තුරන් කොට නිසරු දෙයින් සරු දේ වෙන්කර ගැනීමට හැකි වන ධර්මාවබෝධයක් ලැබිය යුතුයි.

 

අනුශාසනාව රාජ්‍ය මාධ්‍ය බෞද්ධ උපදේශක,

ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය

කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ