විශ්ව සත්‍යයට මුහුණදිය හැකිවන්නේ සමාධිගත සිතටයි

අගෝස්තු 7, 2019

විඩාබර සිතට සැනසුම අවැසිය. ඒ සඳහා භාවනාවෙන් ලැබෙන්නේ අනගි සහනයකි. ඒ නිසාම සදහම් සෙවණ ඔස්සේ භාවනාව පිළිබඳ දිගින් දිගටම කරන මේ දැනුවත් කිරීම ඔබේ දිවියේ යහපත පිණිසමය.

ජීවිතය ගැන උපේක්ෂාවෙන් සිතන්න, උත්සාහ දරන පින්වත් ඔබට භාවනාවෙන් ලැබෙන විමුක්තිය වචනයෙන් විස්තර කළ නොහැකිය.

භාවනාව සඳහා කාලය

වර්තමානයේ බොහොමයක් දෙනාට ඇති ප්‍රධාන ගැටලුව වී ඇත්තේ කාලයයි. භාවනා කරන්නට ඕනේ. භාවනා කළොත් හොඳයි. ඒත් ඉතින් කෝ ඒකට කාලයක්..? මේ ගිහි ජීවිතේ ඉඳගෙන දවසේ වැඩ කටයුතු කරගෙන භාවනා කරන්නේ කොහොමද ? සිත එකලස් කරගන්න කාලයක් කොහෙන් ද? මේ මැසිවිලි ඔබ තුළත් ඇති.

පින්වතුනි, වුවමනාව සහ ඕනෑකම පවතින්නේ නම් භාවනාව සඳහා මහත් උත්සාහයෙන් කාලය සොයා යායුතු නොවෙයි. තමන් එදිනෙදා වැඩ කටයුතු කරන අතරතුරදීම, දවසේ පැය භාගයක් හෝ පැයක පමණ කාලයක් මේ සඳහා යොදාගත හැකි වෙයි. දවසේ වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර උදයේම හෝ දවසේ වැඩ කටයුතු නිමාකර රාත්‍රී නින්දට යාමට පෙර මේ සඳහා යෙදීම පහසුවෙන්ම කළහැකි වෙයි.

භාවනාවට කාලය ගැටලුවක් වන්නේ එය ආරම්භ කරන මුල් කාලය තුළදී පමණි. එය තමන්ට නිතර පුරුදු කටයුත්තක් බවට පත්වන හෙයින් දවසේ ඕනෑම වෙලාවක, ඉඩ ලැබුණ විටෙක සිදු කළ හැකියි. එවිට භාවනාව ජීවිතයේ කොටසක් බවට පත්වෙයි.

භාවනාව සඳහා ස්ථානයක්

භාවනාව කරන්නේ කොහේද? මෙය මුලින්ම භාවනාවට ප්‍රවේශවන බහුතරයක් දෙනකුට ඇති ගැටලුවක්. පින්වතුනි, ඔබේ නිවෙසේ රූපවාහිනිය නැරඹීමට ඉඩක් තිබෙනවා නේද? ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහයට ඉඩක් තිබෙනවානේද? ඔබේ ආටෝප ජීවිතයට ඉඩකඩ ඕනෑ තරම්. එහෙත් මේ විශාල නිවෙස තුළ සිත නිදහසේ තබාගැනීමට පුංචි ඉඩකඩක්වත් නැතිද?

එහෙත් ඉතාම දුප්පත් අතු පැලක ජීවත්වන ඉස්ලාම් භක්තිකයන් දෙස බලන්න. ඉතා කුඩා නිවෙසක වුවද ඔවුන්ට කුඩා පැදුරක් එළා ගන්නට හෝ රෙදි කඩක් එළාගැනීමට වෙන්වූ කුඩා බිම් ප්‍රමාණයක් නිවෙසෙහිම වෙන්කර ගෙන ඇත. එය නිවෙසේ ශුද්ධ ස්ථානය ලෙස ඔවුහු සලකති. මක්කම නමැති ශුද්ධ භූමිය පිහිටි දිශාවට හැරී ඔවුුහු තම දෙවියන් වැඳීම කරති. එවන් වූ අය දෙස බැලීමේ දී ඔබට භාවනාවට තැනක් සොයා ගැනීමට අපහසුය යන්න විහිළුවකි.

භාවනාව සඳහා අසුන් ගැනීම

භාවනාව සඳහා වාඩිවීමේදී මහත් වූ අපහසු තත්ත්වයේ හිඳ ගැනීමේ ක්‍රමයක් තෝරා නොගත යුතුය. ඔබට පහසුවෙන් වාඩි වී සිටීමට හැකි ආකාරයේ ක්‍රමයකට වාඩිවීම සුදුසුයි. එසේම එය බොහෝ සැපවත් වූ වාඩිවීමක් නම් නොවිය යුතුයි. වඩාත් වැදගත් විය යුත්තේ පිටකොන්ද කෙළින් තබාගැනීමයි. හැකිනම් එරමිණිය ගොතාගෙන (වම් පාදය උඩින් දකුණු පාදය තබා, වම් අත්ල උඩින් දකුණු අත්ල තබා) වාඩිවීම භාවනාවට සුදුසුයි. එසේම තමන්ට පවතින ආබාධවලට අනුව වේදනාකාරී ඉරියව්වක් තෝරා නොගැනීමට වගබලා ගත යුතුවෙයි.

දැන් පින්වත් ඔබ “මාගේ සිතෙහි වර්ධනයක් මෙන්ම චිත්ත පාරිශුද්ධිය සඳහා මෙම භාවනාව හේතු වේවා” යැයි අධිෂ්ඨානයෙන් යුතුව භාවනාව ආරම්භ කළ යුතු වෙයි.

විසිරී තැනින් තැන ගමන් කරන සිත එක අරමුණකට ගෙන චිත්ත වේගයක් ඇතිකර ගැනීම තුළින් සිත සමාධි ගතවන බව දැන් ඔබ දනී.

භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි

සමථ භාවනාව හා

විදර්ශනා භාවනාව එම කොටස් දෙකයි

 සමථ භාවනාව

මෙය ඉතාම සරල වූ භාවනා ක්‍රමයකි. භාවනාවට පිවිසෙන ආධුනික පින්වත් ඔබට මෙය පහසුවෙන්ම කළ හැකියි.

සිත එකඟකර ගැනීමට පෙරහුරුවකි. එසේම විසිරී ගිය සිත එකඟකර ගැනීමට වඩාත් වැදගත්ම වූවකි.

අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් මේ සඳහා දේශනාකර වදාරණු ලැබුවේ ‘ආනාපානසති භාවනාව‘ යි. එතුළින් සමාධිමය වූ සිතක් ඇති කරගත හැකිවනු ඇත.

පින්වත් ඔබට විශ්ව සත්‍යය අවබෝධ කරගත හැකියි. සමාජය හඳුනාගෙන ඒ සඳහා ශක්තිමත්ව මුහුණ දිය හැකියි.

ඉතිරිය ලබන සතියට......

 

අනුශාසනාව - සියනෑ හාපිටිගම් දෙකෝරලේ ප්‍රධාන සංඝනායක, මගලේගොඩ විද්‍යාලයේ විදුහල්පති, රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, ශාස්ත්‍රපති,

පූජ්‍ය රදාවඩුන්නේ ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.