මෙත් සිත් ඇත්තාකාගේත් ගෞරවයට, ආදරයට පාත්‍රවෙයි

නොවැම්බර් 6, 2019

ධර්මයෙහි හැසිරෙන ධම්මචාරී පුද්ගලයා ඒකාන්තයෙන් ඒ ධර්මය විසින්ම ආරක්ෂා කරන්නේය. වැස්සෙන් තෙමෙන්නට නොදී රක්නා කුඩයක් මෙන් තමා යහපත් සේ පුරුදු කළ ධර්මය විසින් දෙලොවින්ම රැකගන්නේය. “යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යමෙක් නිවැරැදිව ධර්මය දකී ද ඔහු බුදුරජාණන් වහන්සේ දකින්නේ ය.

බුදුරජාණන් වහන්සේ දකින පුද්ගලයා නිවුණු සැනසුණු පුද්ගලයකු වන්නේය.

තරුණී පාඨක ඔබට සදහම් සෙවණ දහම් පත් ඉරුව තුළින් මේ දහම් කරුණු කාරණා ගෙනහැර දක්වන්නේ ද හුදෙක් ඔබේ හිතසුව පිණිසමය.

පින්වතුªනි, ඔබ දන්නවා මෛත්‍රීය පිළිබඳ විවිධ සූත්‍ර බණ පොතේ සඳහන් වෙනවා. කරණීයමෙත්ත සූත්‍රය තුළත් කියැවෙන්නේ මෛත්‍රීය පිළිබඳවයි. සර්පයන්ගෙන් ආරක්ෂාවීම පිණිස දේශනා කොට වදාළ කඳ පිරිතෙන් කියැවෙන්නේ මෛත්‍රීයයි. මේ මෛත්‍රීය කියන්නේ මිතුරු භාවයයි. මෛත්‍රීයේ විරුද්ධ පැත්ත ද්වේශයයි. මෙත් වැඩීම නිසා ද්වේෂය ජය ගැනීමට හැකියාව ලැබෙනවා. එබැවින් පින්වත් ඔබ මනා ලෙස මෛත්‍රිය ප්‍රගුණ කිරීමට පුරුදු පුහුණු විය යුතුයි.

බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ මෙලෙසින් සඳහන් කර තිබේ.

* මෛත්‍රී භාවනාව ආදරයෙන් ආරම්භ කළ යුතුයි.

* නැවත නැවත වැඩිය යුතුයි.

* බහුලව වැඩිය යුතුයි.

* ධාවනය කරන යානාවක් වගේ සූදානම් කරගෙන වැඩිය යුතුයි.

* ගොවියෙක්, කුඹුරු කිරීමට පොළොව සකස් කරන්නා සේ නිතර ම මෛත්‍රීය සකස්කර ගත යුතුයි.

* තම සිත ඕනෑම අවස්ථාවක මෛත්‍රී භාවනාවට යොමු කරගත හැකි පරිදි පුරුදු කරගත යුතුයි.

* අතට ගත් දෙයක් වගේ සෑම විටම මෛත්‍රිය සූදානම් ව තබාගත යුතුයි.

මෙන්න මේ විදිහට මෛත්‍රී භාවනාව ප්‍රගුණකර ගත් කෙනකුට ලැබෙන අනුසස් 11 ක් තිබේ.

 1. සුඛං සුපති

සැපසේ නින්ද යනවා. පින්වතුනි, සෑම සතකුටම නින්ද අත්‍යවශ්‍යයි. සැප නින්දක් නැතිව බොහෝ අය දුක් විඳිනවා. සමහරු කඩින් කඩ නිදා ගන්නවා. නින්දෙන් අවදි වී නැඟිටලා ගිහින් ඇවිදිනවා. තවත් අය ගොරවනවා. කියවනවා. දඟලනවා. මේ විදිහට නින්ද නොලබා දුක් විඳින අය ඉන්නවා. එහෙත් මෛත්‍රී සහගත සිතිවිලි නිසා ලේ ධාතුව පිරිසුදු වෙනවා. නපුරු සිතිවිලි යටපත් වෙනවා. චිත්ත රූප සෞම්‍යය වෙනවා. සිතේ බර ගතිය අඩුවෙනවා. එතකොට නින්දට වැටුණු ගමන්ම සැප නින්දක් ලැබෙනවා.

 2. සුඛං පටිබුජ්ඣති

සැපසේ අවදි වීම ඔබේ දෛනික කටයුතුවලට සුබයි. සමහරු නින්දෙන් අවදි වී ඇඟට පණ නෑ වගේ ඉන්නවා. නමුත් මෛත්‍රී සහගත පුද්ගලයා මලක් පිපුණා මෙන් ප්‍රබෝධයකින් යුතුව දින චරියාව ආරම්භ කරනවා.

 3. න පාපාකානං සුපිනං පස්සති

රාතී‍්‍ර නින්දේ දී භයානක සිහින පෙනෙන්නේ නැහැ. ඔබට සිහින පෙනෙන්නේ අඩ නින්දේදීයි. සමහර අය හීනෙන් භය වී කෑ ගහනවා. ඔහුට නින්ද නැති රාත්‍රිය ඉතා දිගයි. මෛත්‍රී සහගත පුද්ගලයාට සිහින පෙනුණත් ඉතා ලස්සන සිහින පමණයි දකින්නේ.

 4. මනුස්සානං පියෝ හෝති

මනුස්සයන්ගේ ආදරයට, ගෞරවයට හා පි‍්‍රය භාවයට පත් වේ. මෙය මෛත්‍රීයෙන් ලැබෙන ඉතා වටිනා ආනිසංසයක්. කොහේ කොතැන ගියත් සමාජය ඉහළින් ඔහුව පිළිගනී.

 5. අමනුස්සානං පියෝ හෝති

මිනිස්සුන්ට පමණක් නෙමෙයි ඇසට නොපෙනෙන අදෘශ්‍යමාන දෙවියන්ට, භූතයන්ට පවා පි‍්‍ර‍්‍රය මනාප වීමට මෛත්‍රිය වඩන්නාට හැකියි.

 6. දේවතා රක්ඛන්ති

මෛත්‍රීයෙන් ම නිතර ක්‍රියා කරන පුද්ගලයාට දෙවියන්ගේ ඇල්ම බැල්ම නිතරම ලැබෙනවා. එබැවින් කරදර, බාධක, දුක් දුරු වී යනවා.

 7. වස විසෙන්, අවි ආයුධෙන් ආරක්ෂා වේ

මනා ලෙස මෛත්‍රීය වඩන කෙනකුට ගින්නෙන් වස විසවලින්. අවි ආයුධවලින් විපත් වෙන්නේ නැහැ. එදා උත්තරා කියන උපාසිකාව දින පහළොවක් බුද්ධ ප්‍රමුඛ මහසංඝ රත්නයට දානය දුන්නා.

මේ දානය දැක ඉවසන්න බැරි ව හිටපු සිරිමා කියන ගණිකාව උත්තරාගේ හිසට උතුරන තෙල් වක් කළා. පුදුමයකි. අල කොළයට වතුර වත්කළාම ලිස්සා යනවා මෙන් අර උතුරන තෙල් අඟේ නොරැඳී බිම වැටුණා.

ඒ මොකද උත්තරා දානය පිළියෙල කළේ මෙත් සිතින්. තවත් කතාවක මෙලෙස සඳහන් වෙනවා. එනම් චූලසීහ කියන ඉතාමත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඉතා මෛත්‍රී සහගතයි.

දිනක් උන්වහන්සේගේ විරුද්ධවාදීන් දානයට වස මිශ්‍රකර පාත්‍රයට බෙදුවා. ඒ බව නොදත් ස්වාමීන් වහන්සේ දානය වැළඳුවා. අවසානයේ වස මිශ්‍ර වෙච්ච ආහාර ටික පාත්‍රයේ ඉබේම ඉතිරි වුණා. මේ මෛත්‍රීයේ ප්‍රතිඵලයි.

 8. මුඛවණ්ණෝ විප්පසීදති

මෛත්‍රීය නිසා ලේ පිරිසුදු වෙනවා. එවිට රුව ප්‍රසන්න වෙනවා. මුහුණ පියකරු වෙනවා. දකින කෙනාට ආකර්ෂණයක් ඇති වෙනවා.

 9. තුවටං චිත්තං සමාධියති

මෙත් සිත් ඇත්තාගේ සිත ඉතා ඉක්මනින් සමාධිමත් වෙනවා. භාවනාවට වාඩි වුණාම අරමුණකට සිත එකඟ වෙනවා.

10. අසම්මුල්හෝ කාලං කරෝති

මරණයේ දී සිහි විකල් නොවේ. සමහර පුද්ගලයෝ මාස ගණන්, අවුරුදු ගණන් සිහි විකල්ව දුක් විඳ මරණයට පත් වේ. එහෙත් මෛත්‍රීය වඩන කෙනා යහපත් සිහියෙන් යුතුව අවසන් හුස්ම ටික මුදා හරිනවා. පින්වතුනි, සැනසිලිදායක මරණයත් වාසනාවකි.

 11. බ්‍රහ්ම ලෝකූපගෝ හෝති

මෙලොවදී මෛත්‍රීයෙන් මාර්ගපලයට පත්වෙන්නට බැරි වුණත් මරණයෙන් පසු බ්‍රහ්ම ලෝකයේ උපදී. ඒ ලෝකවලදීත් මෛත්‍රීය ම පාදක කරගෙන ධ්‍යානය වඩලා අමාමහ නිවන් සුව දකින්න පුළුවන්.පින්වතුනි, මේ කියා දුන්නේ මෛත්‍රී භාවනාවේ අනුහස්. මෛත්‍රීය කියන්නේ පාරමිතාවක්. එබැවින් මෙතැන් පටන් පින්වත් ඔබ මෛත්‍රීය පුරුදු පුහුණු කරන්න. ඔබේ ජීවිතය ආලෝකයෙන් ආලෝකයට පත්වනු ඒකාන්තයි.

අනුශාසනාව

රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අති පූජ්‍ය රදාවඩුන්නේ

ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ