යමකුට වැඩදායී වන දෙයක් නම් සිත් රිදවා වුව කීම වැදගත්

ජනවාරි 22, 2020

බුදු දහම පිළිබඳ එදා මෙදාතුර ලෝකයෙහි ලියැවී ඇති පොත්පත් ප්‍රමාණය අන් කිසිදු ආගමක් හෝ දර්ශනයක් පිළිබඳ ලියැවී නැතැයි කීම පුදුමයට කරුණක් නොවේ. වසර දෙදහස් පන්සියයකට වැඩි කාලයක් මානව ශිෂ්ටාචාරයට බුදු දහමෙන් ඇති වූ බලපෑම අතිවිශාලය.

සාගර ජලය කොතැනින් රස බැලුවත් ලුණු රස වන්නා සේ බුද්ධ දේශනාවේ හැම ධර්ම කරුණක්ම විමුක්ති රසයෙන් යුක්ත වේ. ඉදින් ඔබේ හිත සුව පිණිස අදත් තරුණී සදහම් සෙවණ මෙසේ දිග හැරේ.

ඉවසීමේ ගුණය

ඉවසීමේ ගුණය ගැන ප්‍රසිද්ධියට පත් වේදේහිකා නම් කාන්තාවක් පෙර කල සැවැත්නුවර වාසය කළාය. ඇයට කාළි නම් වූ දාසියක විය. ඕ තම ස්වාමි දුවගේ ගුණ යහපත්කම ගැන නිතරම සැක කළාය. ඇයට කදිම පරික්ෂණයක් කිරීමට සිතිණි.

දාසිය එක් දිනක් දවල් වී අවදි වූවාය. එදින ස්වාමි දුව ඇය දෙස රවා බලා අවවාද කළාය. ඊළඟ දින දාසිය තවත් දවල් වී අවදි වූවාය. එදින ස්වාමි දුව ඇයට නොසෑහෙන්න බැණ වැදුණාය. තවදුරටත් තම ස්වාමි දුව පරීක්ෂා කිරීමට සිතූ දාසිය හොඳටම දවල් වනතුරු නිදාගත්තාය. ස්වාමිදුවගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේය. ඇය දොර පොල්ල ගෙන ඉන් පහරදී දාසියගේ හිස පැළුවාය. ස්වාමි දුව හිස පැළුවා කියමින් දාසිය ගමපුරා ඇවිද ගියාය. වේදේහිකා නම් ස්වාමි දුව තදබල කේන්තිකාරියක් ලෙස ඉන්පසුව ප්‍රසිද්ධ විය.

පින්වතුනි, මිනිසුන් තම දුර්ගුණ සඟවාගෙන සිටින ආකාරයත් එක සිද්ධියකින් සැබෑ ස්වරූපය ඉස්මතු වන ආකාරයත් මේ කතාවෙන් පැහැදිලි වේ.

මේ ඉවසීමේ ගුණය ගැන කතා කරද්දී නිකරුණේ එල්ල කරන නින්දා හිරිහැර ආදිය සම්බන්ධව ඉවසීමේ සීමාවක් ඇත. තවද අනුන්ට වධහිංසා කරදර කරන පුද්ගලයා තමාවම වධයට පමුණුවා ගනියි. එය මේ කතා පුවතින් සනාථ කරගත හැකියි.

අප ලොව්තුරා බුදුරදුන්ට සහ බෞද්ධයන්ට කරදර හිරිහැර කිරීම මාර දිව්‍ය පුත්‍රයාගේ සිරිතයි. පෙර කකුසඳ බුදුන් කල දුසී නම් මාරයෙක් විය. දුසී මාරයා හැම කල්හිම කකුසඳ බුදුන්ට කරදර හිරිහැර කිරීමට මාන බැලීය.

හේ වරෙක උපාසකයන්ගේ සිත්වලට බලපෑම් කරයි. උපාසකයෝ විකාර වූ සිත් ඇතිව බුදුන්ට නින්දා පරිභව කර මහත් පව් පුරවා ගනිති. මේ කෙනෙහිලිකම් දිනෙන් දිනම උත්සන්න විය. කකුසඳ බුදුන්ට විධුර හා සංජීව යන නමින් අගසව් දෙනමක් වූහ.

පාපී මාරයාට විධුර තෙරුන්ට හිරිහැර කිරීමට සිත් විය. හේ එක්වරම ළමයකුගේ හිසට ආවේශ විය. ඒ ළමයා ගලක් ගෙන විධුර තෙරුන්ට දමා ගැසීය. විධුර තෙරුන්ගේ හිස පැළී ලේ ගලන්නට විය.

කාගේ වුවත් නොපනත් කම් ඉවසිය හැකි සීමාවක් ඇත. කකුසඳ බුදුහු වහාම නැවතී පාපී මාරයා දෙස බලා

“එම්බා මාරය, මම තුන්ලොවටම අධිපති වූ කකුසඳ බුදුහුු වෙමි. තා මාගේ තරම නොදන්නෙහි දැයි” කියා පාපී මාරයාගේ ඍද්ධි බල නැතිව යන සේ අධිෂ්ඨාන කළහ.

මාරයාගේ ඍද්ධි බලය ගිලිහී අපායට ඇද වැටුණි. හේ දිගුකලක් නිරයෙහි දුක් වින්දේය.

 

වැරැදුණු උපාය

නිගණ්ඨනාථපුත්‍ර හෙවත් වර්ධමාන මහාවීර බුදුන් කල ප්‍රසිද්ධව සිටි යෝගියෙකි. ඔහුට මහත් පිරිවර විය. එහෙත් තම පිරිස එන්න එන්නම අඩුවනු දකින හේ මහත් දුකට පත්විය. මෙලෙස සහපිරිවර අඩුවීමට හේතුවූයේ බුදුන් වහන්සේ ක්‍රම ක්‍රමයෙන් භාරතය තුළ ජනපි‍්‍රය වීමයි.

හේ නිගණ්ඨනාථපුත්‍ර බුදුන් පැරදවීමට උපායක් කල්පනා කළේය. ප්‍රාතිහාර්ය පෑමෙන් බුදුන් පැරදවිය නොහැකිය. දේවදත්ත භික්ෂුව බුදුන් මැරීමට ගොස් එය කළ නොහැකිව මහත් සේ අවමානයට පාත්‍ර විය. එසේ නම්, මා කළ යුත්තේ කුමක් ද? ඔහුට උපායක් කල්පනා විය.

“මා බුදුන් සමඟ වාදකර පැරදවිය යුතුයි. එහෙත් යම් ආකාරයකින් මා පැරදුණොත් ඒ ලැජ්ජාවත් මටමයි” එහෙයින් තම සුවච කීකරු අනුගාමිකයකු වන අභය රාජ කුමාරයා මේ කාර්යයෙහි යෙදවීය.

“ඔබ මෙසේ කළ යුතුයි. භවත් ගෞතමයන් ළඟදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා දේවදත්ත අපායේ යනවමයි කියලා. අපට මේ ප්‍රශ්නේ ඇදගෙන වාසියක් ගන්න පුළුවන් වෙයි. ඔබ කළයුත්තේ මෙපමණයි. බුදුන් කාගේ හෝ සිත රිදවන දේ කියන්නේ ද අසන්න. බුදුන් ඔව් කීවොත් එයින්ම පරාදයි. නැත කීවොත් අසන්න. දේවදත්ත අපායට යන බව කිව්වේ නැද්ද කියලා”

මේ උපායට බුදුන් අසුවන බව නිගණ්ඨනාථපුත්‍රට සැකයක් නැහැ. එහෙත් අභයරාජ කුමාරයා එක්වරම බුදුන්ගෙන් මේ ප්‍රශ්නය ඇසීමට බිය විය. හේ බුදුන්ට දනට ආරාධනා කොට තම නිවෙසේදී මෙසේ ඇසීය.

“ඔබ වහන්සේ අනුන්ගේ සිත රිදවන දේ කියනවා ද?”

“මේ ප්‍රශ්නයට ‘ඔව්’ හෝ ‘නැත’ කීම වැරැදියි” බුදුහු කීහ.

තවදුරටත් පැහැදිලි කර දෙනවානම් තමුන්ගේ දරුවකුගේ උගුරේ ලී කැබැල්ලක් හිරවුණොත් තුවාල වේද නැද්ද කියලා හිතන්නේ නැතිව ඒක ගන්නවා නේද? මේකත් ඒවාගේ දෙයක්. බුදුහු ඒ කීමෙහි අර්ථය පැහැදිලි කරදීම ඇරැඹූහ.

යමක් අනුන්ට අපි‍්‍රය වුණත් අමනාප වුණත් ඒ දෙය කීමෙන් යහපතක් සිද්ධ වේ නම් මම එවැනි දේ කියනවා. එය එසේම විය යුතුයි.

අභයරාජ කුමාරයා එම කීම පිළිගත්තා පමණක් නොව නිගණ්ඨනාථපුත්‍ර අතහැර දමා බුදුන්ගේ ළඟම අනුගාමිකයකු බවට පත්විය.

එයින් සිදුවූයේ නිගණ්ඨනාථපුත්‍රගේ ප්‍රධාන දායකයා ඔහුට අහිමි වීමයි.

පින්වතුනි, යමකුට වැඩදායක වන්නේ නම් ඔහුගේ සිත් රිදවන දෙයක් වුව ප්‍රකාශ කිරීම යහපත්ය යන්න ඔබට මෙම කතා පුවතින් විද්‍යමාන වේ.

 

හැසිරීම ඔබේ කැඩපතයි

පින්වතුනි, ඔබ දන්නවා ශක්‍රයා දෙව්ලොව අධිපති. අසුර ලොව අධිපති වේපචිත්ති අසුරයායි. අසුරයන් දෙවියන්ගේ පරම සතුරන් වූ නමුත් ශක්‍රයා සහ වේපචිත්ති අසුරයා අතර රහස් හමුවීම් ඉඳහිට සිදුවිය.

“අපි බුදුන් වඳින්න යමු” ශක්‍රයා වේපචිත්ති හමු වූ දිනක යෝජනාවක් කළේය.

“මගේ අකැමැත්තක් නෑ. ඔහේ කැමැති නම් මේ දැන්ම වුණත් යමු” වේපචිත්තති එක පයින්ම ඊට කැමැති වූයේය. මොහොතකින් ඔවුන් දෙදෙනාම බුදුන් අබියස විය. ශක්‍රයා පාවහන් ඉවත්කර පාවහන් පයලාගෙන කුඩයක් ද උසුලාගෙන බුදුන් වැන්දේය.

පින්වතුනි, ඔබට මින් වැටහෙන්නේ කුමක් ද? යහපත් පරිසරයක සිටි කෙනකුත් අයහපත් පරිසරයක සිටින කෙනකුත් අතර වෙනස හැසිරීමෙන් කතා බහෙන් අඳුනාගන්න පුළුවන්.

ඔබ ඔබේ දරුවන් සැමවිටම යහපත් පරිසරයකට හුරුකරවන්න. ඔබ ද හැකි පමණින් යහපතෙහි පිහිටන්න. අයහපත් පරිසරයෙන් මිදීමත් අයහපත් මිත්‍ර ඇසුරින් මිදීමත් එක්වරම කළ නොහැකි වේවි. එහෙත් සිත් රිදවාගෙන හෝ ඉන් මිදීමෙන් ඔබට යහපතක්ම උදාවනු ඇත.

 

අනුශාසනාව ශාස්ත්‍රපති පූජ්‍ය

කැටවල හේමාලෝක

ස්වාමීන් වහන්සේ

2020/01/22 තරුණි බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.