සෑම ගැහැනියක්ම යශෝදරාවක වීමට සිතට ගත යුතුයි

පෙබරවාරි 12, 2020

පින්වතුනි, ගෙදර බුදුන් අම්මා. ඇය කාන්තාවක්. මෙවන් විරුදාවලියක් ලබන්න තරම් කාන්තා ඔබ පින්වන්තයි. සැබෑවටම මේ ලෝකය පවතින්නට කාන්තාව අවශ්‍යයි. සියල්ල සිදුවන්නේ ඇය මුල්කරගෙනයි.

ලොව්තුරා බුදුපියාණන් දේශනා කළ සප්ත අපරිහානී ධර්මය තුළ කාන්තාවට අවශ්‍ය ආරක්ෂාව සැලසිය යුතුයි යන්න කියැවෙනවා. හිතන්න පින්වතුනි, කාන්තාවකට ලැබිය යුතු ආරක්ෂාව නොලැබී යන්නේ නම් රටක් රාජ්‍යයක් වුවද බිඳ වැටෙනවා.

මෙය ගෙදරකට ද පොදුයි. යම් නිවෙසක අම්මා, දියණිය අනාරක්ෂිත නම් පවුලම විනාශ වී යනවා. ඔබ අසා ඇති ‘සෑම සාර්ථක පිරිමියකු පසුපසම කාන්තාවක් සිටී’ කියමන. ඒ වගේමයි යම් පිරිමියකුගේ පරිහානියට ද කාන්තාවගේ පැවැත්ම බලපානවා. එසේ දියුණුවට මෙන්ම පිරිහීමට ද හේතුකාරකයක් වන කාන්තා ඔබ මේ ලෝකයේ ජීවත්විය යුතු ක්‍රමවේදයක් තිබේ.

බුද්ධ චරිතයේ එන යශෝදරාව ගැන හිතන්න. ඇය තුළ කාන්තාවකට අවශ්‍ය කරන සියලුම ගුණාංග තිබුණා. විශාඛාවත් එසේමයි. භාර්යාවකට අවශ්‍ය කරන ගුණාංගවලින් ඈ පිරිපුන් වුණා.

යශෝදරාව සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේව සාරාසංකල්ප ලක්ෂයකට පෙර සංසාරේ පතාගෙන ආ කෙනෙක්.

දීපංකර බුදුන් සමයෙහිදී උන්වහන්සේට වඩින්නට සුදුසු පරිදි මඟ පිළිසකර කරමින් සිටි සුමේධ තවුසාණන් වූ බෝධිසත්ත්වයන්ට යශෝදරාව මුණ ගැසුණු පළමු අවස්ථාවේදීම ඇය උන්වහන්සේට පිළිසරණක් වූවා. ඒ තමන් නෙළා ආ මල් මිටෙන් මල් පිදීමෙන්.

“මල් දෙන්නම්, මල් දුන්නොත් මට මොනවද දෙන්නේ...” සුමේධ තවුසාගෙන් ඈ විමසීය. “මගේ ආදරය කිසිවකුට පුදා නැත

මම කැමැතියි එය ඔබට තිළිණ කරන්න. එහෙත් මා බුදු බව පතන කෙනෙක්. පාරමී ධර්ම පුරන කෙනෙක්. ඔබව මඟ හැරෙයි මට. එවිට ඔබට සංසාරයේ දුක උරුම වෙයි”

“ඔබේ ආදරය වෙනුවෙන් දුක දරාගන්නම්” සුමේධ තවුසාණන් ඉදිරියේ ඈ පැවසූ වදන් අදත් අපේ තරුණියන් පවසනවා. එහෙත් අපේ තරුණියන්ට මෙය ටික දවසකින් අමතක වී යනවා. මොනතරම් කරදර බාධක ආවත් ගැහැනිය බුද්ධිමත් විය යුතුයි. අවබෝධය තිබිය යුතුයි. යශෝදරාව හැම සංසාරයකම ලොකු කැපකිරීමක් කළා.. අද අපේ අය කැපකිරීමක්, ඉවසීමක් ගැන හිතන්නෙවත් නැහැ. ක්ෂණික තීරණ ගන්නවා වැඩියි. ඒ නිසාම පවුල රැකෙනවා වෙනුවට පවුල ඉහිරී යනවා.

පිරිමි ඔවුන්ගේ අභිමානය ගැන නිතරම හිතනවා. මේ හේතුවෙන් කිසිවකු ඉදිරියේ හිස නමන්නට යන්නේ නැහැ. හරි හෝ වැරැදි වේවා ඔවුන්ගේ තීන්දු තීරණ දැඩියි. එවන් වටපිටාවක ගැහැනිය බොහොම පරෙස්සම් සහගත විය යුතුයි. පුළුවන් පමණින් අවබෝධය, ඉවසීම ඇතිකරගත යුතුමයි. පින්වතුනි, අපි මෙහෙම හිතමු. පවුලක තාත්තා කොපමණ වැරැදි කළත් අම්මා හොඳයි නම්, ධෛර්යවන්ත නම් ඒ පවුල රැකෙනවා. අම්මාගේ වීර්යයෙන් දරුවෝ නඟා සිටුවනවා. හැබැයි පවුලක අම්මා අයහපත් කෙනෙක් නම් තාත්තා කොච්චර යහපත් වුණත් ඵලක් නැහැ. පවුලම අගාධයට වැටෙනවා. මේක තමයි ඇත්ත. ලෝක ස්වභාවය.

එබැවින් තාත්තට වඩා සිය දහස්වාරයක් අම්මා කරන කියන දේ ගැන හිතන්නට ඕනේ. පවුල ගොඩනඟා ගන්න පුළුවන් වෙන්නෙ අම්මාගේ ඇති ආදරණීය බැඳීම මතයි. බුද්ධිමත්කම මතයි.

හැම කාන්තාවක්ම යශෝදරාවක් විය යුතුªයි. ඇය සිද්ධාර්ථයන් හට අම්මා, සහෝදරිය, යෙහෙළිය, බිරිය පමණක් නොව දාසිය ද වූවාය.

සමහර කාන්තාවෝ මේ දේවල්වලට අකැමැතියි. ඔවුන් කැමැති කාන්තා අයිතිවාසිකම් දිනාගන්න. නමුත් කාන්තා අයිතිවාසිකම් අමුතුවෙන් දිනාගත යුතු දෙයක් නොවෙයි. ඔබ ඔබේ සැමියාට ආදරණීය නම් සෙනෙහෙබර නම් ඔබ තුළ උත්තම මවුගුණ පිහිටියේ නම් නිතැතින්ම අයිතිවාසිකම රැකෙනවා.

අනුශාසනාව - පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ

සම්බන්ධීකරණය - උපාලි ජයරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.