මුදල් හම්බ කරනවා වගේම කළමනාකරණයත් කලාවක්

අප්‍රේල් 22, 2020

අනුශාසනාව ශාස්ත්‍රපති පූජ්‍ය

කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

ධර්ම මාර්ගය අනුගමනය කරමින් ජීවත්වන මිනිසා ලබන සැපය ඉතා උසස් වූවකි. වත්මන් ලොව බොහෝ මිනිසුන් ආගම දහමෙන් වෙන්ව කටයුතු කිරීමෙන් අත්වන් ඉරණම දැනටමත් අපට පෙනී යයි. සත්ත්ව හිංසනය, සත්ත්ව ඝාතනය, පරිසර දූෂණය එකිනෙකා පරයා නැගී සිටීමේ තරගය මේ සියල්ලේ නිමක් නැත.

එහෙත් ලොව පුරා පැතිරී ගිය කොවිඩ් 19 වසංගතය කිසිදු වත් පොහොසත්කමකට, කිසිදු තානාන්තරයකට හිස නැමුවේ නැත. ඔබ ඔබේ ආගම කුමන හෝ එකක් වේවා ඒ අනුව කටයුතු කරන්නේ නම් පිළිතුර එතැන ඇත. මින් ඉදිරියටවත් ආගම දහමට, පරිසරයට සංවේදීව ජීවත් වෙමු.

මේ අතර ඉගෙන ගත යුතු තවත් අපූරු පාඩමක් ඇත. එනම් ඔබ මේ වන විටත් මුදල් හරිහම්බ කරමින් ‍යාන වාහන, ගේ දොර, ඉඩ කඩම්. කොතෙකුත් නම් මිල දී ගෙන ඇති සුපිරි කෑම බීම, ඉස්තරම් ඇදුම් පැළඳුම් ඔබ භුක්ති විඳින්නට ඇති. එහෙත් මෙවැනි දුෂ්කර වකවානුවක දී ප්‍රයෝජනයට ගන්නට යමක් ඉතිරි කළාද? මේක අද බොහෝ දෙනාට පැන නැගෙන ප්‍රශ්නයකි.

ඔබ මුදල් හම්බ කරන්නට දැන සිටියාට මුදල් වියදම් කිරීමේ කලාව ඉගෙන ගෙන නැත. අද වන විට එළවළු, පලතුරු, බේකරි නිෂ්පාදන ඔබේ නිවෙසටම ගෙන දෙයි. එහෙත් ඒවා ගන්නට ඔබ ළඟ මුදල් නැත. ඒ ඔබ පෙර දා ඉතිරි කර ගත් දෙයක් නොමැති බැවිනි.

බුදු දහමට අනුව ඔබ හරි හම්බ කරන දෙය කොටස් 04 කට බෙදා දැක්වේ. ඒ අනුව එක කොටසක් තමුන්ගේ යැපීම සඳහා, කොටස් දෙකක් තම ව්‍යාපාර කටයුතු සඳහා, අනෙක් කොටස ආපදා අවස්ථාවකදී ප්‍රයෝජනයටත් තබා ගත යුතුය. එලෙසින් නිසි ළමනාකරණයක් ඇති පුද්ගලයාට සැපවත් ජීවිතයක්, යහපත් ජීවිතයක් ගත කරන්නට හැකිය.

 

අත්ථි සුඛය - මට ධනයක් තිබෙනවා කියන හැඟීම නිසා ඇතිවන සැපය.

භෝග සුඛය - හරි හම්බ කරගත් භව බෝග ප්‍රයෝජනයට ගැනීමෙන් ලබන සැපය.

අනණ සුඛය - මා කිසිවකුට කිසිම දෙයක් ණය නැහැ කියල සිතන විට ඇතිවන සැපය.

අනවජ්ජ සුඛය - මාගේ කයින්, වචනයෙන්, සිතින් කිසිම වරදක් සිදුවෙලා නැහැ කියලා සිතීමේදී ඇතිවන සැපය.

අත්ථි සුඛය

මේ ලෝකයෙහිම යම්කිසි මනුෂ්‍යයකු ධනයක් හම්බ කරලා තියෙනවා. ඒ මනුෂ්‍යා ඒවා හම්බ කරලා තියෙන්නේ මහත් වෑයමකින්. ඒ වගේම දෑතෙ ශක්තියෙන්, දහඩිය වගුරලා. ඒවා ධාර්මිකයි. ධාර්මිකව සොයා ගත් ධනයක්, තමන් උත්සාහයෙන්, දෑතේ මහන්සියෙන් දහඩිය වගුරලා, ධාර්මිකව හම්බ කරගත්ත ධාර්මික වස්තුවක් මට තියෙනවා කියා හිතලා ඔහු තෘප්තියක් ලබනවා, සතුටක් ලබනවා, අන්න ඒකටයි අත්ථි සුඛය කියන්නෙ.

භෝග සුඛය

මේ ලෝකයෙහි යම්කිසි මනුෂ්‍යයකු මුලින් කියපු ආකාරයට හරිහම්බ කරගත් වස්තුවෙන් කොටසක් තමන්ගේ ප්‍රයෝජනයට ගන්නවා. භුක්ති විදිනවා. තවත් කොටසක් යොදා පින් දහම් කරනවා. මා හරි හම්බ කරගත්ත ධනය මා භුක්ති විදිනවා. ඒවා වියදම් කරලා. මා පින් කරනවා කියා ඔහු සැපයට පත් වෙනවා. සතුටක් ලබනවා. අන්න ඒකටයි භෝග සුඛය කියන්නේ.

අණන සුඛය

මේ ලෝකයෙහි යම්කිසි මනුෂ්‍යයකු වෙනත් කෙනෙකුට ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිම ණයක් නැත්නම් ඔහු සිතනවා මම සුළු වූ හෝ බොහෝ වූ හෝ කිසිම දෙයක් කාටවත් ණය නැහැ කියා. එයින් ඔහු සැපයක් ලබනවා. සතුටක් ලබනවා. එය අනණ සුඛයයි.

අනවජ්ජ සුඛය

මේ ලෝකයෙහි ආර්ය ශ්‍රාවකයා නිවැරැදි කායික ක්‍රියාවලින් යුක්ත වෙනවා. නිවැරැදි වාචික ක්‍රියාවලින් යුක්ත වෙනවා. නිවැරැදි මානසික ක්‍රියාවලින් යුක්ත වෙනවා. ඔහු සෑහීමට පත් වෙනවා මගේ කායික ක්‍රියා පිරිසිදුයි, මගේ වාචිසික ක්‍රියා පිරිසිදුයි, මගේ මානසික ක්‍රියා පිරිසිදුයි කියා. තමන්ගේ සිත, කය, වචනය ගැන නිවැරැදි බව සිතා ඔහු සැපයක් ලබනවා. සතුටක් ලබනවා. එය අනවජ්ජ සැපයයි.

සැප විදින්නට, ප්‍රීති වන්නට, සතුටු වන්නට, තෘප්තියක් ලබන්නට සිතේ සැනසීමක් ලබන්නට සෑම සත්ත්වයෙක්ම කැමතියි. දුක් වෙන්න, දුක් විඳින්න, සිත නරක් කර ගන්න කවුරුත් කැමති නැහැ. සෑම සත්ත්වයෙක්ම සොයන්නේ සැප විඳීමේ ක්‍රමයක්. දුක් දුරු කිරීමේ මඟක්.

සැප විඳීම සත්ත්වයා ලොව පහළ වූ දා සිටම ඇති වූවක්. විශේෂයෙන් මනුෂ්‍යා තමන්ගේ නුවණ මෙහෙයවා දුක් දුරු කිරීමටත්, වැඩි වැඩියෙන් සැප ලැබීමටත් ක්‍රම සෙව්වා. අදත් සොයනවා. හෙටත් සොයනවා. අතීතයෙත් සෙව්වා.

මේ අනුව වත්මන් සමාජයේ බොහෝ දෙනා දක්නට ලැබෙනුයේ තිරිසන්, ප්‍රේත හා අසුර ගති ඇති මිනිසුන්ය. බ්‍රහ්ම, දේව හා මනුෂ්‍ය ගති ඇති මිනිසුන් ඇත්නම් සමාජයක් දියුණුවට මිස කිසි විටෙක පරිහානියට පත් නොවේ. කෙටි කාලයක් පවතින දිය බුබුළක්, තණ අග පිනි බිඳක් වැනි වූ මේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් ගෙන බ්‍රහ්ම, දේව හා මනුෂ්‍ය ගුණාංගවලින් යුතුව ජීවත්වීමට සෑම කෙනෙකුම වග බලා ගත යුතුය.