පරෙස්සම සහ අරපරෙස්සම හැමදාටම ඇති කර ගත යුතුය

මැයි 6, 2020

මාවරලියේ භද්දිය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද ධර්ම දේශනයක් ඇසුරිණි.

අද ලංකාවත් මුළු මහත් ලෝකයත් ඉතාම තීරණාත්මක සංධිස්ථානයකට ඇවිත්. ලෝකයේ පළමු ආසාදිතයින් ලක්ෂ පහ වාර්තා වන්නට මාස ගණනාවක් ගතවුණා. ඊළඟ සති දෙක ඇතුළත දෙවැනි ලක්ෂ පහ වාර්තා වුණා. මෙය හදවත තිගැස්සෙන තත්ත්වයක්. මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු කිසියම් ආකාරයක සැනසුමකට ලක් වෙනවා අපේ රටේ තවම ඉන්නේ රෝගීන් පොඩි ප්‍රමාණයක් කියලා. එහෙත් එසේ නොවී අපි පරෙස්සම් සහගතව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

ලෙඩවීම ඉපදුණු හැම මනුස්සයකුටම පොදු ධර්මයක්. ලෙඩ නොවී අපිට සදාකල් සිටිය නොහැකියි. එහෙත් ලෙඩවන ආකාරයට අපි හැසිරිය යුතු නැහැ. ලෙඩ වෙන හේතු හරි හැටි අවබෝධ කරගෙන පුළුවන් තරම් ඒවායින් වැළකී සිටිම තමයි කළ යුත්තේ.

" ආරෝග්‍යා පරමා ලාභා

සන්තුට්ඨි පරමං ධනං "

නිරෝගී කම පරම සැපයි. ඒ ලාභය කිසිවකු අපිට ප්‍රදානය කරන්නේ නැහැ. එයට අපි නිවැරැදි සෞඛ්‍ය පිළිවෙත්වල නිරත වීම අත්‍යවශ්‍යයි.

අද අපේ රටේ ගම් දනව් ඇතුළටත් මේ රෝගය ව්‍යාප්ත වෙලා. මෙයට ප්‍රධානම හේතුව තමයි අපේ අවංකභාවය නැති කම.

දැන් බලන්න, එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයාට මේ කොවිඩ් 19 වැලඳුණා. චාල්ස් කුමරාටත් රෝගය ආසාදනය වුණා. ඒ අය ඒ බව අනෙක් අයට හෙළිදරව් කළා. අදාළ නිරෝධායන ක්‍රියාවලිය සිදුකළා. ඔවුන් සුවපත් වුණා.

අපේ රටේ ප්‍රශ්නය ලෙඩේ තියෙන අය ලෙඩේ හංගනවා. තව අයගේ ඇසුරට යනවා. උජූච ගුණය, අවංක කම ඔවුන් තුළ නැහැ. මුළු ජීවිතයම වංචාවක්. මේක හංගන්න අවශ්‍ය නැහැ. මේක උගතුන්ට හැදෙන්නේ නැති නූගතුන්ට හැදෙන, සිංහලයාට හැදෙන්නෙ නැති සෙසු ජාතින්ට හැදෙන රෝගයක් නොවෙයි. එබැවින් උගතුන්, ධනවතුන්, ප්‍රසිද්ධ වූවන්, යන්ත්‍ර මන්ත්‍රකරුවන් සියලු අය මෙයට යටයි.

මේ රෝගී තත්ත්වය අපට පාලනය කරන්න බැරි වෙන්නේ අවංක නැතිව වංචනික වීමෙනි. තව අතකින් මේ පිළිබඳ සමාජය බලන ආකල්පයේත් වරදක් තිබෙනවා. මේ රටේ පුරවැසියන් වන අපි අනෙක් පුද්ගලයා ගැනත් සිතිය යුතුයි. ඇතැමුන් රෝගය සමච්චලයට ලක් කරනවා.

" අපිට ඔය කොරෝනා හැදෙන්නේ නැහැ "

එහෙම මේ ලෙඩේ සමච්චලයට ගත හැකි තත්ත්වයක නොවෙයි අපි ඉන්නෙ. ඔබ බුද්ධිමත්ව, වගකීම් සහගතව මේ කාලයේ මේ රෝගයෙන් රට බේරගන්න ප්‍රඥාවන්තව කටයුතු කළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් කොයි කවුරුත් මනුස්සයෝය. ඒ මිනිසුන් බේර ගන්න අවංකව වැඩ කළ යුතුය. මේ මොහොතේ ඔබ වංචා සහගත වුණොත් නැවත වංචා කර කර ජීවත් වන්නට කිසිවකු ඉතිරිවන්නෙ නැති බව සිහිතබා ගන්න.

අරපරෙස්සම කියන එක මේ කාලයේ මිනිසුන්ගේ ඔළුවට ඇවිත් ඇත්තේ අවබෝධයක් ඇතිව නොවෙයි මරණ බියටයි. ඒ කියන්නේ මේ වෙලාවේ කොත්තමල්ලි ඇටයක් බිමට වැටුණත් අහුලා ගන්නවා. හරියට උරච්චි කරපු රත්තරන් කුඩු අහුලනවා වගේ, වෙනිවැල් ගැට ටික කපද්දි වැටෙන කුඩු ටිකක් අහුලනවා. ඒ තරම් අරපරෙස්සම්. ඇත්තෙන්ම මේක මේ වෙලාවෙ සිද්ධ වෙන්නෙ බියට. හිතන්න, මේ කොරෝනා ව්‍යසනය මාස දෙක තුනකින් ඉවරවුණා කියලා. අනේ අපේ මිනිස්සු කොත්තමල්ලි, වෙනිවැල් ගැට උඩ දාලා පයින් ගහන මට්ටමට එනවා. ඔය අරපරෙස්සම් කතා ඔක්කොම ඉවරයි. දැන් පැළ හදන අය ඒවාට පයින් ගහලා යනවා. ඒක තමයි ඇත්ත. ඔබ බය ඇතුළේ මේ සියල්ල කරලා සොබා දහමට වංචා කරන්න එපා. ඊළඟ වාරයේ තත්ත්වය මීට වඩා භයානක විය හැකියි. අපට තව සැරයක් සොබාදහමට බොරු කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. දැනුත් ඔබ මේ වගා කරනවා කියලා වෙන කරන්නට දෙයක් නොමැති නිසා කරනවා නම් පමණක් එයින් පලක් නැහැ. මතක තබා ගන්න නැවත මේ මහ පොළොව රැවැට්ටීමේ විපාකය භයානකයි.

ඇත්තටම ඔබ මේ කාලයේ ගෙවල්වලට හිරවෙලා හිටපු හැටි, වෙළෙඳසල් වලට ගිහින් පෝලිමේ දුක් විඳපු අයුරු මේ වසංගතය සුවපත් වූවායින් පසුවත් සිහිපත් කරන්න. ඇතැම් ගම් නියම්ගම්වල කන්න නැතිව දුක් විඳි ජනතාව සිහිපත් කරන්න. මේ තත්ත්වය ඔබ මැනවින් වටහා ගත යුතුයි.

අද මේ විපාක දෙන්නේ ඇතැම් විට ඔබ ආහාර නාස්ති කළ බැවින් විය හැකියි. හිතන්න ඔබේ නිවෙසට ගෙනෙන පලතුරු, එළවළු කොච්චර නම් භාගෙට භාගයක් අපතේ දාන්න ඇති ද? ඔබ වුවමනා ප්‍රමාණය පමණක් නොවෙයි නේද මිලදී ගත්තේ. සමහර විට කෑම පිඟානට බෙදා ගත්තෙ කන ප්‍රමාණය නොවෙයි. කොතක් තරමට බෙදා ගෙන කටක් දෙකක් කා ඉවත දමනවා.

අද මුළු ජාතියක්ම විඳවන්නේ ඔබ මඟුල් ගෙවල්වල, දානෙ ගෙවල්වල, වෙනත් උත්සවවලදී වගේම එදිනෙදා කෑමවලට කළ අපරාධයයි. මොන තරම් කෑම නාස්ති කරන රටක්ද මේ රට. දැන් මේ වෙලාවෙ ඔබ හාල් කිලෝ එකක් ගන්න මහ පෝලිමක ඉන්නවා.

බත් විසිකරපු, පලතුරුවලට පයින් ගහපු අයට අද පලතුරු දකින්න නැතිව විඳවනවා.

ඔබ මේවායින් පාඩමක් ඉගෙන ගන්න. මේ වෙලාවෙ අවංකව අරපිරිමැස්ම ඉගෙන ගන්න. මේ වෙලාවෙ වගාවකට යොමුවෙන්න. එය අවංකව කරන්න.

 

මේ මාසයට දෙකට වගා කරලා බොරුවක් කළොත් ඉන් පලක් නැහැ. ආයෙත් අර නාස්ති කරන විනාශ කරන පරණ මනුස්සයාම වන්නට උත්සාහ කරන්න එපා. කවදාවත් සොබා දහම රවටන්න එපා. ඔබට සොබා දහම රවටන්න බැහැ. මිහි මව එක්ක ඔබට සෙල්ලම් කරන්නට බැහැ.

කොරෝනාවලින් පසුව මිනිසුන් කොටස් දෙකක් ඉතිරි වෙනවා. එක් පිරිසක් බුද්ධිමතුන්. අනෙක් පිරිස මේක තේරුම් නොගත් අය. කොරෝනා දුන්න පණිවිඩය තේරුම් ගන්න. මෙතැනින් පසුව මුළු රටම වෙනස් විදිහට කල්පනා කරාවි. තමන් කන බත් පත ඇතුළේ හාල් මුට්ට කර ගහපු මිනිසා දකිවී. උයපු අම්මා දකිවි. ඔවුනට ගෞරව කරාවි. මේක තේරුම් නොගත්ත වූවන් පරණ තාලයටම ජිවත් වේවි. ඒ අයට බොහොම ඉක්මනට ඊළඟ ව්‍යසනයකටත් මුහුණ දෙන්නට වේවි. ඒක සොබා දහමේ නියමයයි. කරන අපරාධ වංචනික හැසිරීම් නැති කරගන්න. ඔබ අවංක වෙන්න. මේ කාලේ පෙරුම්කායම් රත්තරංවලටත් වඩා වටිනවා. ඔබ පෙරුම්කායම් තියෙන තැනකින් රත්තරං දීලා වුවත් එය ගනීවි. මේ තත්ත්වය තේරුම් ගන්න. අවංක විම, බුද්ධිමත්වීම තමයි මේ කාලයේ ඉගෙනගත යුතු හොඳම පාඩම. මේක ජීවිතේ කර ගන්න. මහපොළොව සොබාදහම සමඟ දයාවෙන් අවංකව කටයුතු කරන්න. එවිට සොබාදහම පෙරළා ඔබට යහපතක්ම සිදු කරාවි .

අතීතකාමය, පරණ දේවල් ගැන හිතමු. දියුණු තාක්ෂණයත් එක්ක අනාගතයට අපි යන ගමන් මාර්ගයකට ඕවා පලක් නැහැ කියලා කියූ පිරිසක් ඉන්නවා.මෙහෙම කිවුව අය අද හදවතින් පසු තැවෙනවා ඇති.