කොරෝනාව සියල්ල අවබෝධ කර දුන්නා

අවාසනාවකට හරි කොරෝනා රෝගය අපේ රටට ආවේ වාසනාවන්ත කාලෙක
මැයි 13, 2020

මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද ධර්ම දේශනයක් ඇසුරිණි.

 

සියල්ල වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස් වීම පමණි. එබැවින් ඒ යථාර්ථය හරි හැටි තේරුම් ගත්තොත් ඔබ දිනුම්.

පසුගිය වසරේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් වෙසක් උත්සවය සමරන්නට ලැබුණේ නැහැ. ඒ වගේම උපාසක උපාසිකාවන්ට සිල් සමාදන් වීමේ අවස්ථාවත් මඟ හැරුණා.

මෙවරත් නොසිතු ලෙස මුළු මහත් ලෝකයම කොරෝනා වෛරසයට ගොදුරු වෙලා. වෙසඟේ සිල් සමාදන් වීමට විහාරයකට යා නොහැකි වුණා. එළැඹෙන පොසොන් පෝදාට වුවත් වැඩි පිරිසක් සමඟින් විහාරයට යාමත් සිල් සමාදන් වීමත් එතරම් කාලෝචිත නොවෙයි. එහෙත් ඔබට ඔබේ නිවෙසේ සිටම සිල් සමාදන් වීම කළ හැකියි.

පන්සලට ගොස් සිල් ගන්න එකයි ගෙදර සිට සිල් ගන්න එකෙයි ආනිසංස දෙකක් කියලා ඔබ සිතාවි. එහෙත් සීලය කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගත්තට පසුව ඔබටම වැටහේවි මෙහි සැබෑ අරුත.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව සීලය පිළිබඳ අර්ථ කථනය වන්නේ සිත නිවැරැදි කරගෙන යහපත් සිතුවිලි මත පිහිටීමයි. එනම් එම යහපත් සිතුවිල්ල තුළින් කෙනෙක් කයෙහි සංවර බව, නිවැරැදි ඇවතුම් පැවතුම් ඇති කර ගැනීමයි. ඒ වගේම වචනයේ නිවැරැදි බව, සංවර බව ඇති කර ගැනීමයි. කායික වචනයේ සංවරකම ආරම්භ වන්නේ සිතෙනි. කායික සංවරකමට සහ වාචසික සංවරකමට මනස මුල් වේ. එබැවින් මනස මුල්කොට ගෙන සියලු කුසල ධර්මයන් හෝ අකුසල ධර්මයන් හට ගනී.

සීලවන්තකම සිතෙහි බීජයක් ලෙසින් හටගෙන කයෙහි සහ වචනයෙන් ප්‍රකට වන ධර්මතාවක්. එය නිවෙසේ සිටද, කාර්යාලයේ සිටද, පන්සලට ගිහින්ද කියන එකට වඩා එය ඔබේ ආධ්‍යාත්මික අවබෝධයෙන් ඇති කර ගත්තු ප්‍රතිපදාවක් වීමයි වැදගත්.

එහෙත් පන්සලට ගොස් හතර පෝයට සිල් ගැනීම, තවත් විදියකට ගත්තොත් පුර පසළොස්වක පෝය දා සිල් ගැනීමේ අරුත මීට වඩා වෙනස්. 'නෙක්ඛම්මය' කියන්නෙ එයටයි. අපේ බෝධිසත්ත්වයන් ඇසළ පෝයදාක ගිහි ජීවිතයෙන් නික්මුණා. අන්න එය නෙක්ඛම්මයයි. බෞද්ධ සාහිත්‍යයේ මේවා සඳහන් වෙනවා. එබැවින් අපේ බෞද්ධ පිරිස කල්පනා කරනවා එවැනි අභිනිෂ්ක්‍රමණයකට තමන් යම් කිසි ආකාරයකට පුහුණු වන්නට ඕනේ කියලා. ඒ සඳහා ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායේ සම්පූර්ණයෙන්ම ගිහියාට ගෘහස්ථ ජීවිතයේ කටයුතුවලින් වෙන් වී මාසෙ සෑම දවසකම කටයුතු කරන්න බැහැ. ඒ වුණත් ඔවුන් උත්සාහ කරනවා පෝය හතරට හෝ එසේත් නැතිනම් පුර පසළොස්වක දාට හෝ සාමාන්‍ය ගෘහස්ථ කටයුතුවලින් අයින් වෙලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ඔවුන් සුදු රෙදිකඩක් ඇඳ ගෙන සුදු රෙදිකඩක් පොරවාගෙන පෝය දාට විහාරස්ථානයට එන්නේ. එහීදී අෂ්ඨාංග උපෝසථ සීලයක් සමාදන් වෙනවා. මේ උපෝසථය අද උදේ හයට ආරම්භ කළහොත් පූර්ණ උපෝසථයක් ලෙසින් හෙට උදේ හයට පවාරණය කරනවා. විකාල භෝජනයෙන් වැළකී, උස් ආසන වලින් වැළකී, නැටුම් ගැයුම් වැයුම් වලින් මිදී, සුවඳ විලවුන් ආලේපන වලින් වැළකීම සිදු කරනවා. ඊට අමතරව ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, කාම මිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, සුරා මේරයෙන් ආදී අට සීලයකින් වැලකී කටයුතු කරනවා. ඇත්තටම මෙහි කුසලය සම්පුර්ණ වන්න එහෙමත් නැත්තම් පින සම්පූර්ණ වන්න ඔබ සීලය ආරක්ෂා කර ගැනීම ප්‍රමාණවත්. එහෙත් අපි සංස්කෘතියකට මනසට පුහුණු කරනවා. සාමාන්‍ය ගෘහස්ථ ජීවිතයෙන් වෙන්වීමක් ගැන ඒ සිතුවිල්ලත් සමඟ තමයි අපේ බෞද්ධ ගිහියා විහාරස්ථානයට ගමන් ගන්නේ.

විහාරයට යන උපාසක උපාසිකාවන් සරලම පහසුම ආකාරයට වාඩි වීම සිදු කරනවා. අතීතයේ නම් පැදුරක වාඩි වෙනවා.එයින් කියැවෙනුයේ මාන්නය දුරැලීමයි. අර උස් ආසනවලට තියෙන ආසාව, කෑදරකම යන දරුණු බන්ධනය මනසින් ඈත් කිරීම සිදුකරලීමයි. සාමාන්‍යයෙන් අපේ මනුස්ස සන්තානයේ තියෙන එකක් තමයි දිව පිනවීමේ බලවත් ආසාව. උදේට කන්න, දවල්ට කන්න, රෑට කන්න ඕනෙ. ඒ අතරමැද පොඩි බඩගින්නට කන්න ඕනෙ. තිබහට බොන්න ඕනෙ. ශීතකරණය ඇරගෙන ඕන ඕන දේවල් කන්න ඕනෙ. මේ වගේ ආසාවල් මහ ගොඩයි. ඒත් උපෝසථ දවසට පන්සලට ගිහින් පුහුණුවක් ලබනවා වේල් දෙකකින් තමන්ගෙ දවස ගෙවා දමන්න. උදෑසනට අල්ප ආහාරයකුත් දහවල දානයකුත් භුක්ති විඳලා රාත්‍රියට ගන්නේ ගිලන්පස ටිකක් පමණයි. මේ ආහාරය වැළදීම සිදු කරන්නෙ ලෙඩ වීම වළකා ගැනිමට පමණයි්. එයයි ඔවුන් මේ ආහාර රටාවෙන් පුරුදු පුහුණු වන්නේ.

මහරහතන් වහන්සේ කෙනෙක් පිළිපදින දේවල් තමයි මේ ඔබ අනුගමනය කරනු ලබනුයේ. ඉතින් එය වෙනත් කුසලතාවයක් එනම් 'නෙක්ඛම්මය' වැඩීමකුත් වෙනවා. නෙක්ඛම්මය මනසින් පුහුණු වීමකුත් මේ අතරම සිදුකළ යුතුයි. එසේ නොමැතිව කවුරු හරි කෙනෙක් සුදු රෙද්දක් පොරවාගෙන පන්සලට ගිහින් දවස ගත කළාට පලක් නැහැ.

සමහර උපාසක අම්මලා කල්පනා කරනවා මගෙ රත්තරන් වළලු දෙක මෙලහකටත් හොරෙක් ගෙනිහින්ද දන්නෙ නැහැ. දාගෙන එන්නත් බෑ හාමුදුරුවෝ දොස් කියනවා. අනේ දැන් ගෙදර අය කාලද දන්නෙ නෑ. එහෙම ගෙදර මතක් කරනවා නම් ඔබේ සීලය පලක් නැහැ. ඔබ පන්සලේ හිත ගෙදර. ඇත්තටම පන්සලකට, ආරණ්‍යකට ගිහින් උපෝසථය සමාදන්ව දවස ගෙවන්නට හැකිනම් එය විශේෂ පුහුණුවක්.

එහෙම තැනකට යන්නට බැරිනම් තමන්ගෙ ගෙදරම කෙනකුට සිල් ගන්න පුළුවන්. එවිට මනසින් සියල්ල අතහැරීමේ ශක්තිය තමන් තුළ ඇති කර ගත යුතුයි. ඒ නිසා පින කොහොමත් ඔබට ලැබෙනවා. කොතැනක හිටියත් පින අනිවාර්යයෙන් ලැබෙනවා.පෙර කී විහාරස්ථානයකට, ආරණ්‍යකට ගොස් සිල් සමාදන් වීමට හැකි නම් ඔබට සියලු බාධාවන්ගෙන් මිදී උපෝසථය වැඩීමට හැකිය.

එබැවින් රටේ පවතින තත්ත්වය හමුවේ ගෘහස්ථව සීලය රැකීම තමයි මේ කාලයේ සිදු කරන්නට වන්නේ. එබැවින් ඔබට ලැබෙන කුසලයේ අඩුවක් වන්නේ නැහැ.

ඔබ මීට පෙර හිතන් උන්නේ පන්සලේ සිල් ගත්තාම වැඩියෙන් පින්, ගෙදර සිල් රැක්කොත් පිනක් නැහැ කියලානේ. දැන් අවබෝධ වුණා නේද සත්‍යය. ඒ වගේම තමයි තවත් වැදගත් කාරණාවක් ඔබට කිව යුතුයි.

අවාසනාවකට හරි මේ කොරෝනා රෝගය අපේ රටට ආවේ වාසනාවන්ත කාලෙක. මොකද කොස්, දෙල් ටික හැදෙන කාලයක් මේ. පලතුරු වලින්, භව බෝග වලින් රට පිරී ඉතිරී යන කාලයක්. ගොයම් කැපෙන කාලයක් රට තුළින් විශාල ආහාර නිෂ්පාදනය කෙරෙන වකවානුවක්. අස්සැන්න අටුවට ගෙදරට එන කාලයක්. මේ මහපොළවේ පිනකට වෙච්ච දෙයක්. එබැවින් වේලක් හැර වේලක් කාලා හරි ඔබ මේ ලැබුණු පණිවුඩය තේරුම් ගන්න. සල්ලි තියෙන වෙලාවට ජෝගි නටපු අයට මේක හැදෙන්න අවස්ථාවක්. අද කාලා හෙට මැරුණත් කමක් නැහැ කියන සමාජයකුයි උදා වෙලා තිබුණේ. දැන් තේරෙනවා ඇති පාන්, කොත්තු, රයිස් නැතුවත් ජීවත් වෙන්න පුළුවන් කියලා.

ධනය කළමනාකරණය, ධනය පිරිමසා ගැනීම පිළිබඳ දෑස් නැවත ආවර්ජනය කර ගන්න.තමන්ගේ ගෙදර කුණු බාල්දිය දෙස බලා මේක පටන් ගන්න පුළුවන්. මේ වෙන කොටත් ඔබගේ කුණු බක්කියේ ඉතුරුවුණු පලතුරු, උයපු ආහාර තියෙනවා නම් ඒකෙ අදහස තාම ඔබ මේ සොබාදහමේ පාඩම ඉගෙන ගෙන නැති බවයි. ඔබට පරිභෝජනයට අවශ්‍ය නැතිතරම් උපයනවා. නැත්නම් කන්න බැරි තරම් පෙරේත කමට බෙදා ගන්නවා. ඒවා තමයි කුණු කූඩෙට දාන්නෙ. දැන්වත් ඔබ නිසි පරිභෝජන රටාවක් ඉගෙන ගන්න. නාස්ති නොකිරීම, කඩචෝරුවලට ලොල් වී ජීවිතයක් ගෙවන්න බැරි බව ඉගෙන ගන්න. දරුවන්ටත් කියලා දෙන්න.මේකට සිංහල, දෙමළ, මුස්ලිම් විය යුතු නොවේ. කොයි කවුරුත් මේ හැම දෙයක් තුළින්ම දැන්වත් ජීවිතය අවබෝධ කර ගන්න.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.