දස කුසල් ධර්මය ඔබව කොරෝනාවලින් මුදවයි

මැයි 20, 2020

මගේ ජීවිත කාලය තුළ වෙසක් පොහොය දින 59 ක් එළැඹිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සිත් නිරතුරුවම පංච උපාදානස්කන්ධයට යොමු කර වන්න කියලා.

අතීත පංච උපාදානස්කන්ධයට. මෙවර වෙසක් පෝය දවස මම මෙනෙහි කරද්දී ගෙවී ගිය වෙසක් පොහොයවල් 58 ට වඩා සුන්දර වෙසක් පෝය දවසක් තමයි මෙවර උදාවූයේ.

ධර්මයේ අර්ථයන් විකසිත වූ සුන්දරතම වෙසක් දවසකි. මෙච්චර දවසක් මම ධර්මය දේශනා කරද්දී මලින් විචිත්‍ර වූ දහම් මණ්ඩපයක් තමයි දුටුවේ. ආමිස පූජාවකුයි එතැන තිබුණේ. නමුත් මෙවර ආමිසයෙන් යට වූ ලෝකයක් ඇත්තෙ නැහැ. සංස්කාරයන්ගෙ අනිත්‍යභාවය මෙනෙහි කරගනිමින් ආස්වාදය පලා ගියා වූ වෙසක් දවසකුයි අපි දුටුවේ.

මොකක්ද මේ අපි දකින්නේ ? ආස්වාදයේ අනිත්‍යභාවයයි. ආස්වාදයේ කෙටිභාවය මතු වී ආදීනවය පේනවා. මොකක්ද ඒ. රෝග භය සහ මරණ භයයි. සියලු සංස්කාරයන්ගෙ අනිත්‍යභාවය මනාවට ප්‍රකට වනවා එමඟින්. එබැවින් මේ කාලයේ ඔබ ඔබගේ භව ගමනේ තීරණාත්මක කාලයක් කර ගන්න.

මුළු ලෝකයම දෑත් ඔසවා යමක් ඉල්ලනවා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ඉන්දියාව යන මේ මොන රටේ වුණත් ඉල්ලන්නෙ අපට ජීවිතය දෙන්න කියලයි. කොරෝනා වැළඳී ලෙඩ ඇඳේ මරණාසන්නව සිටින වුන් පවා ඉල්ලන්නෙ ජීවිතයයි. කිසිවකු මිල මුදල්, යාන වාහන, වතුපිටි, දේපළ ඉල්ලා හ¼ඬන්නේ නැහැ.

බ්‍රිතාන්‍ය අගමැතිතුමා දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබද්දී ඉල්ලුවේ අගමැතිකම නෙවේ. ජීවිතය සුවපත් කර දෙන ලෙසටයි. මොකක්ද මේ ජීවිතය කියන්නේ ? ජීවිතය කියන්නේ පිනේ පලයක්. කුසල්වල ඵලයක්. අද කොරෝනා වැළඳුණ සුවහසක් රෝගීන් ඉල්ලන්නෙ ජීවිතය පමණයි. මගේ ආයුෂ වර්ණය, සැපය, බලය වැඩෙන්න පින පල දෙන්න! ඔවුන් හදවතින් හඬාවැටෙන්නේ එලෙසිනි.

මේ ලෝක ධාතුවේ සැබෑ බලවතා අමෙරිකාවත්, චීනයවත්, රුසියාවවත් නොවෙයි. අද ඒ බලවත්තු මුහුණු වහගෙන ගෙවල්වල සැඟ වී ජීවත් වෙනවා. සැබෑ බලවතා දස කුසල් ධර්මයන්‍ ය. අද කොරෝනාව විසින් ඔප්පු කළ සැබෑ සත්‍යය එයයි.

සක්විති රජ කෙනෙක් බවට පත් කරන්නේ විශ්ව විද්‍යාල උපාධිධාරියකු නොවෙයි. සක්විති රජකු වන්නට දස කුසල් අවැසියි. මුළු ලෝකයම පාලනය කරන සක්විති රජ කෙනෙක් බිහි කරන්නෙ මේ උතුම් දස කුසල් විසින්මය. එබැවින් මේ ධර්මයේ සැබෑ අර්ථයන් ඔබගේ ජීවිතයට එකතු කරගන්න. මේ උතුම් වෙසක් මහේ ඔබ ඔබේ ජීවිතයට මේ දස කුසල් ධර්මයන් එකතු කර ගන්න. ඒ ධර්මයන් තුළ ජීවත්වන ඔබ ඉබේටම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හිමිකරුවකු වේවි. එලෙස වුවහොත් නිවන් මඟ ඔබ වෙත ළඟයි.

මෙවැනි වෙසක් පුර කාලයකදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ පිරිනිවීම සුන්දරතම එකක් බවට පත් කර ගත්තා. යශෝදරා, විශාඛාව, මේ අයත් තමන්ගෙ මරණය මංගල්‍යයක් බවට පත් කර ගත්තා.නමුත් අපි අපේ මරණය තාමත් සුදු කොඩි එල්ලන්, ගුණ කථන කරන, පාංශුකූල දෙන අවමංගල්‍යයක්මයි. හෘද සාක්ෂියට තට්ටු කර බලන්න. ඔබ ධර්මයේ අරුත ජීවිතයට දැන්වත් එකතු කර ගත්තා ද කියලා.

මෙවර උදා වූ වෙසක් මාසය ඔබට ආයෙ ජීවිතයේ කිසිදාක උදා නොවේවි. එබැවින් ඔබේ මරණය මංගල්‍යයක් බවට පත් කර ගන්න හොඳම කාලයයි මේ. එනම් ධර්මය අවබෝධ කර ගෙන ධර්මානුකූලව කටයුතු කරන්න.

ඔබ මේ කාලයේ මාධ්‍ය දෙස හොඳින් බැලුවා ද ? මිනිසුන් මරණ බයෙන් ජීවිත ආරක්ෂාකර ගන්න උත්සාහ කරන හැටි පේනවා නේද ? රෝහල්වල වෛද්‍යවරු, හෙදියන්, කාර්යමණ්ඩල හඬාවැටෙන හැටි දකින්නට ඇති. තමන්ගේ ඥාතියා මරණාසන්නම ලෙඩ ඇඳේ හඬා වැටෙනවා. ඔවුන්ගේ මරණය දකින්නටවත් ඉඩක් නැත. බලන්න මරණය කඳුළක්මයි නේද? එබැවින් ඔබ අධිෂ්ඨානයක් කර ගන්න. මෙවැනි දුක්ඛිත මරණයක් කරා නොයන්නට.

ඔබේ මරණය අවමංගල්‍යයක් කර ගන්නෙ නොදන්නා කම නිසා බව ලොව්තුරා බුදුරජාණන් දේශනා කොට ඇත. බොහෝ දේවල් ගැන හිතන්නට අවශ්‍ය නැත. ඔබේ මරණය අවමංගල්‍යයක් කර ගන්නටත් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම මංගල්‍යයක් වන්නටත් බලපෑවේ එකම එක කරුණකි. එනම් චතුරාර්ය සත්‍යයි. චතුරාර්ය සත්‍යය හරි හැටි අවබෝධ කර ගත්තේ නම් ඔබේ මරණයත් මංගල්‍යයකි.

මේ ලෝකය බොරු 05 කින් වැසී ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යි.

මේ බොරු පහට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ සත්‍ය හතරක් දේශනා කරනවා. ඔබ මේ බොරු පරාජය කරගෙන ඒ ඇත්ත සතර ඉස්මතු කර ගන්න.

ජාති, ජරා, ව්‍යාධි, මරණ

ප්‍රියයන්ගෙන් වෙන්වීම ආදී සියල්ලේහි දුක. ඇස් ඇරලා ලෝකය දෙස බලන්නේ නම් මේ කිසිවක් දුකක් නොවේවි. අද මුළු ලෝකයම රෝගී වුණා. සැනසිල්ල දුකක් බවට පත්වුණා.

දුක ප්‍රකටයි. දුක සඟවන්න බැහැ. ඒ වගේම ධර්මය ප්‍රකටයි. ධර්මය සඟවන්නට බැහැ. රූපය තුළ සැඟවී ඇති ජාති, ජරා, ව්‍යාධි, මරණය සගවන්නට බැහැ. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය සඟවන්නට බැහැ. මේ කොරෝනාව කියන්නෙ දුක්ඛ සත්‍යයයි. ඔබ දුක්ඛ සත්‍ය දකින්නේ බය වන්නට නොවේ. ගෙවල්වලට වී දොරගුළු දා බය වන්නට නොවේ. මානසික ආතතිය ඇති කර ගන්නට නොවේ. දුක්ඛ සත්‍ය දකින්නෙ දුකෙන් මිදෙන මාර්ගය නැති කර ගන්නටයි. එබැවින් ඔබට මෙවැනි අවස්ථාවක් නැවත ජීවිතයේ දකින්නට නොලැබෙන්න පුළුවන්. ලැබු අභියෝගය හමුවේ ඔබ සත්‍ය අවබෝධ කර ගත්තොත් මේ සසර ගමනින් මිදෙන්නට හැකියි.

ජාති, ජරා, ව්‍යාධි, මරණ ගැන බිය වන්නට එපා. මේවා හේතුවෙන් දුක ඇතිවන බවත් දුක ඇති වීමට තෘෂ්ණාව හේතුවක් වන බවත් තේරුම් ගන්න. කොරෝනාව කියන්නේ මොකක්ද කියලා තව හොයන්නට එපා. එකම හේතුව පංච උපාදානස්කන්ධයයි. රූප, වේදනා, සංස්කාර පිළිබඳ ඇතිකර ගත්තා වූ තෘෂ්ණාවයි.

අතීතයේ ‍යමක් මගේ කරගෙන ජීවත් වූවා නම් එය මායාවක් පමණි. ඒ මායාව උදෙසා අපි කොතරම් අකුසල් කර ඇතිද? කොතරම් සිල්පද බිඳින්නට ඇති ද? ඔබ චතුරාර්ය සත්‍යය තුළ ජීවිතය දුටුවා නම් මේ කොරෝනාව වෛරසයක්, රෝගයක් හැටියට පෙනෙන්නේ නැහැ. මෙය ලෝක සත්වයාගේ තෘෂ්ණාව නිසා හටගත්තකි. ඔබ දැන් දක්ෂ වන්න. ඔබ අතින් අතීතයේ වු වැරදි හදා ගන්න. විනයක් ඇතිව ජීවත් වන්න. සිල්පද පහ ආරක්ෂා කර ගෙන ජීවත්වන්න.

බුදු රජාණන් වහන්සේ මෙතරම් සුන්දර ධර්මයක් දේශනා කර තිබියදී ඇයි ඔබ තවමත් දුකෙහි ඇලී සිටින්නේ. එයට හේතුව දුක, දුක ඇති වීමට හේතුව ඔබ තවමත් නිවැරැදිව තේරුම් අරන් නැති බැවිනි.

ඔබ තිරිසන්, ප්‍රේත, අසුර, නිරය ගැන අසා ඇති. එයින් තිරිසන් ලෝකය පේන්නට තියෙනවා. මේ තිරිසන් ලෝකයේ උපත ලබා ඇත්තේ සංසාර භයක් දැකපු නැති පිරිසකි.

සීලයක් ආරක්ෂා නොකළ පිරිසකි. ලැබූ ජීවිතයේ දී කාලා, බීලා, විනෝදයෙන්, සතුටින් අරමුණකින් තොරව ජීවත් වූ අයයි. එවැනි අයට මරණාසන්න මොහොතේ මතක් කරගන්න පිනක් නැහැ. අවසාන චුති සිතට සිහි ගැන්වූයේ බිඳුණු සිල් පදයකි. මිය ගිය පසු තිරිසන් ලෝකයේ උපත ලබන්නේ එවැනි අයයි. දුගතියෙන් දුගතියට යනවා. කල්ප ගනන් සතර අපායේ උපත ලබනවා. මේ තිරිසන් සතා පෙර මනුෂ්‍ය ජීවිතයක් ලැබූ කල යහපත්ව ජීවත් වූවා නම්, මැරෙනවා කියලා සිතා කුසල් රැස් කළා නම් මෙවැනි විපතක් නොවෙන්නට තිබුණා.

මේ වගේමයි මනුස්ස ලෝකයක උපත ලබන්න පින පල දුන්නත් දුක් විඳින අය ඉන්නවා. මේ ඔබ කළ අකුසල කර්මවල ප්‍රතිඵලමයි.

මේ සතර අපායේ කල්ප ගනන් අප දුක් විඳිනවා. ඒ නිසා නිරතුරවම පංච උපාදානස්කන්ධ දුක අත්හරින්න. භව ගින්දර නිවාගන්න. ඒ සඳහා හේතුවන මේ සංස්කාරයන් නැතිකර ගන්න.

සියලු ඇලීම් ගැලීම්වලින් බැහැර වන්න. මේ භවත්‍රයේ කොතැනක ඉපදුණත් එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ තියෙනවා. එබැවින් මේ දුකෙහි ගමන් කරන්න එපා. අවසන් බුද්ධ දේශනාව වූයේ ද ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයි.’ යනුවෙනි.

වෙනස් වන දේවල් කෙරෙහි ඔබ කිසිදාක තෘෂ්ණාවෙන් බැඳෙන්න එපා. වෙනස්වීම අවබෝධය පිණිසම හේතුවක් කරගන්න.

‘ඔබ මට නැවත නැවත ද්වේෂ කරන්න
මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි

ඔබ මට නැවත නැවත වෛර කරන්න
මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි

ඔබ මට නැවත නැවත විවේචනය කරන්න
මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි”

මේ සුන්දර නිකෙලෙස් වඩන ක්‍රියාව ඔබ සිදු කරන්න. මෙහෙම නොකර අනුන් ඔබට ද්වේෂ කළා කියා ඔබත් ද්වේෂ කරන්නට එපා. වෛර කළා කියා ඔවුන්ට වෛර කරන්නට එපා. ඔවුන් ඔබව විවේචනය කළා කියා විවේචනය කරන්නට යන්න එපා. එහෙම කළොත් ඔබ මහත් අවාසනාවන්තයකු වේවි. අනුන් නිසා සංස්කාරයන් රැස්කර ගන්නට එපා.

මේ ලෙසින් ඔබ යහපත අයහපත හඳුනාගන්න. අවිද්‍යාව වැඩිවන තෘෂ්ණාව වැඩිවන දේ අත් හරින්න. දස කුසල් ධර්මයට අනුව කටයුතු කරන්න. කොරෝනාව ජයගන්නට හැකියි. යථාර්ථය තේරුම් ගෙන ජීවිතයට මුහුණ දෙන්න හොඳම කාලය මෙයැයි ඔබට ද හැඟෙනු ඇත.

පුජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ දේශනා කරන ලද ධර්ම දේශනාවක් ඇසුරිනි.