සාර්ථක විවාහයක් කියන්නෙ එකම ආත්මයක් ශරීර දෙකක් තුළ ජීවත්වීමයි

මැයි 27, 2020

මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද ධර්ම දේශනයක් ඇසුරිණි.

ආදරය සහ මිත්‍රත්වය...ගොඩක් දෙනෙක් මේ මාතෘකාව ගන්නේ ආදරය සහ විවාහය කියලා. ආදරය සහ විවාහය අතර අවියෝජනීය සම්බන්ධයක් නැහැ. ඒ කියන්නෙ වෙන්කරන්න බැරි නැහැ. ඒත් ආදරය සහ මිත්‍රත්වය අතර තිබෙන්නේ අවියෝජනීය සම්බන්ධයක්.

ඒ කියන්නේ වෙන්කරන්න බැහැ. මේක ධර්මයට අනුව තේරුම් ගත යුතුයි. හැමෝම ආදරය සොයනවා. හැමෝම මිත්‍රත්වය සොයනවා.

ප්‍රේමය, ආදරය දුක සහ භය උපදවයි. "පෙමතෝ ජායතී සෝකෝ" ඔබ ජීවත්වන්නේ සම්මුති ලෝකයක. එහීදී භය, සැකය, දුක, ඊර්ෂ්‍යාව ඉතාම සාමාන්‍යයයි. බුදුරජාණන් වහන්සේ පරමාර්ථ වශයෙන් අපට දේශනා කළේ මේවා පූර්ණ වශයෙන් අත්හළ යුතු බවයි. එහෙත් ඒ පරමාර්ථය දක්වා යන ගමනේදී මේ සම්බන්ධතා අවබෝධයෙන් ගෙන යා යුතු බවත් උන්වහන්සේ දේශනා කොට තිබේ.

ආදරය සහ මිත්‍රත්වය කියන්නෙ දෙකක් නෙමෙයි එකක්. එහෙත් අපේ සමාජය මේක දෙවිධියකටයි දකින්නේ. ඔබ විවාහකයෙක් කියා සිතන්න. ඔබෙන් කෙනෙක් අහනවා ඔබේ හොඳම යාළුවා කවුද කියලා ඒත් ඔබ කියන්නෙ නැහැ බිරිය හෝ සැමියා ඔබේ යාළුවා කියලා. සමාජය ආදරය දකින්නේ විවාහය, ලිංගිකත්වය මතයි. මේක වැරැදියි. නකුල මාතා නකුල පියතුමා ගැන ඔබ අසා ඇති. ඒ දෙදෙනා බුදුන්වහන්සේ බැහැ දැක උන්වහන්සේගෙන් අහනවා අප දෙදෙනා ඊළඟ ආත්මයෙක් මුණගැසෙන්න කළ යුත්තේ කුමක්ද ? කියලා. එවිට ඔබ දෙදෙනා සම ශ්‍රද්ධා, සම ශීල, සම ත්‍යාග, සම ප්‍රඥා විය යුතුයි කියලා උන්වහන්සේ දේශනා කළා. මේ විඥානයන් සම වීමෙන් සබඳතාවය සාර්ථක වෙයි.

ශ්‍රේෂ්ඨ ග්‍රීක ජාතිකයෙක් වූ ඇරිස්ටෝටල් ගෙන් "එඩචබ ඪඵ ජ්පඪඥදඤඵඩඪන" කියලා ඇසු පැනයකට පිළිතුර වූයේ යහළුකම නම් එකම ආත්මයක් ශරීර දෙකක් තුළ ජීවත් වීමයි යනුවෙනි. බුද්ධ දේශනයට අනුව මෙන්න මේ වගේ මිත්‍රයන් තමයි විවාහ විය යුත්තේ.

විඥානධාරා සමාන අයයි විවාහයට සුදුසු. එසේ නොවී විවාහ වූ අය ඉතාම කලකිරීමෙන් වෛරී සහගතව ජීවත් වෙයි. ඔබ ඉතාම බුද්ධිමත්ව මෙය අවබෝධ කර ගන්න. ආදරයයි, මිත්‍රත්වයයි කියන්නෙ දෙකක් නෙමෙයි එකක්. එහෙත් මේ මිත්‍රත්වය ගොඩ නැගිය යුත්තේ සමානයන් අතරයි. අසමාන අප යාළු වුවහොත් එය භයානකයි.

අපේ රටේ මිතුරන් අවශ්‍ය ඇයි කියලා කාගෙන් හරි ඇහුවොත් දෙන පිළිතුරු වන්නේ, යාළුවො ඕනෙ මළගෙදර නිදි මරන්න, ට්‍රිප් යන්න,ෙ ෂාපින් යන්න කියලයි. මතක තියා ගන්න. ඒවාට ගැඹුරු මිත්‍රත්වයක් ඕනෙ කරන්නෙ නැහැ. ඒක සාමාන්‍ය මිනිසුන් තවත් මිනිසුන් වෙනුවෙන් කරන දේවල්. මිත්‍රත්වය අවශ්‍ය වන්නේ අපේ ආධ්‍යාත්මය ඇතුළේ ඇති ප්‍රශ්න විසදා ගැනීමටයි. මිනිසුන් අතර හොඳ සහ නරක අය ඉන්නවා. අපේ හිත් ඇතුළේ මේ චෛතසික දෙකම තියෙන පුද්ගලයෙක් ජීවත් වෙනවා. නරක වැඩ කරන්නෙ පැවැත්ම වෙනුවෙන්.යහපත් දේ කරන්නේ සාරය වෙනුවෙන්. රහතුන් වහන්සේලා හැර ඉතිරි සියලු මිනිසුන් අතර මේ අය ජීවත්වෙයි. මේ ලෝකයේ හොඳ මිනිසුන් හෝ නරක මිනිසුන් නැත. ඉන්නේ හොඳ වැඩ කරන මිනිසුන් සහ නරක වැඩ කරන මිනිසුන්ය.

අපි ළඟ ඉන්න නරක වැඩ කරන කෙනා එළියට එන වෙලාවට අපිට කල්‍යාණ මිත්‍රයෙක් හිටියේ නැතිනම් අපිව නිවැරැදි කරන්නේ කවුද? අපට වඩා පහළින් ඉන්නා කෙනකුට කවදාවත් අපව නිවැරැදි කරන්නට බැහැ. ඔබටයි මටයි කල්‍යාණ මිත්‍රයකු වෙන්නට බැරි ඇයි? හාමුදුරු කෙනෙකුයි දායකයකුයි විය හැකිය. ඒත් ඉතාම ගැඹුරු මිත්‍රයකු විය නොහැකියි.ඒ මට ඔබට නිවැරැදි කළ හැකිමුත් ඔබට මා නිවැරැදි කළ නොහැකි බැවිනි. අපේ විඥානධාර සමාන නම් එය කළ හැකියි.එහෙත් අපේ සංස්කෘතික බැඳීම තුළ එසේ කළ නොහැකියි.

එක ග්‍රීක දාර්ශනිකයෙක් මෙහෙම කියලා තියෙනවා.

"යාළුවා ඔබ මගේ ඉස්සරහින් යන්න එපා. මොකද මට බැහැ ඔබේ අනුගාමිකයා වන්න. ඔබ මට වඩා පසුපසින් එන්නත් එපා. මොකද මට බැහැ ඔබේ මඟ පෙන්වන්නා වන්නට. එබැවින් මාත් එක්කම ඇවිදගෙන එන්න." එයින් කියැවෙන්නෙ අපට යාළුවෝ වෙන්න නම් අපි ආධ්‍යාත්මිකවත් භෞතිකවත් සමාන විය යුතුයි. අසමාන වුවහොත් එතන ගැටලු පැන නගී.

ඔබ හැකිතරම් ආර්ථික මට්ටමින් වුව සමාන යාළුවෝ ඇසුරු කරන්න. තමන්ට වඩා ගොඩක් සල්ලි තියෙන අය යාළුවුණාට අපට එයාගෙන් ප්‍රයෝජන ගන්නට විතරයි හිතන්නෙ. එවිට යාළුකමේදී විය යුතු දේ වන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි වැඩි යාළුවාගේ දුර්වල තැන් ඔබ පෙන්වන්නට යන්නෙ නැහැ. මොකද ඒවා පෙන්වන්නට ගියහොත් තියෙන යාළුකම නැතිවෙයි කියලා ඔබ බයයි. එතකොට කරන උදව් මට නැතිවෙයි. නිසැකවම ඔබ මෙහෙම හිතනවා. බලන්න එයින් වැටහෙනවා නේද අපිට වඩා පහළින් සිටින කෙනෙක් යාළුවා කර ගත් විට එයා කිසිවිටෙකත් අපව නිවැරැදි කරන්නේ නැහැ. ඒ ලැබෙන ලාභ නැති වෙයි කියලා හිතන නිසයි.

තමන්ට වඩා ආධ්‍යාත්මිකව භෞතිකව අසමාන අය සමඟ විවාහ වීමත් එතරම් සාර්ථක නොවෙයි. එවැනි අය සමඟ ආදරය කරන්නට බැහැ. මක්නිසාදයත් ආදරය ඇතුළේ ඔබට ලැබිය යුතු සුරක්ෂිතභාවය ලැබෙන්නේ නැහැ.

භෞතික අතින් සමාන ආධ්‍යාත්මිකව සමාන අයකුයි විවාහයට තෝරා ගත යුතු වන්නේ. හැම පැත්තෙන්ම සමාන අප අනෙකාව නිවැරැදි කරන්න පැකිළෙන්නේ නැහැ.අත්හරියි, දාලා යයි කියලා බොරු බයක් ඇති වන්නේ නැහැ. එවැනි බැඳීිම් හැම පැත්තකින්ම සාර්ථකයි.

අද මේක වෙනස් වෙලා. බලවතුන් තමන්ට වඩා දුර්වලයින් ළං කර ගන්නවා. දුර්වලයින් කැමැතිම තමන්ට වඩා බලවත් අය ළං කර ගන්නටයි. අම්මලා වුණත් ළමයින්ට උපදෙස් දෙන්නේ ඉහළ අත්තක් අල්ල ගන්න කියලයි. ඒත් යාළුකමකට විවාහයකට මේ න්‍යාය හරි යන්නේ නැහැ.

කාලා ඇඳලා හරි ඉන්න පුළුවන් වෙයි කියලා විවාහයට ලොකු අතු අල්ලා ගැනීම අනුවණ කමක්. ඒක හරිද කියලා ජීවිතය ගත කිරීමේදී ඔබටම වැටහේවි.

ඒත් එක්කම ආධ්‍යාත්මිකව දුර්වල දෙදෙනෙක් ප්‍රේමයත්, ආදරයත් ගොඩනගා ගැනීමත් අසාර්ථකයි. සීලය, පව්, පින් විශ්වාස කරන්නැති, ගුණධර්මයක් නැති අය විවාහ වුණත් එතනත් ගැටලු. මෙය බුද්ධ දේශනාවේ කියැවෙනුයේ මළ ප්‍රේතයෙක් මළ ප්‍රේතියක් හා විවාහ වුවා සේයි. බුදු දහමේ කියන්නේ යහපත් දෙදෙනකු එකතු විය යුතු බවයි. ඒක සෙවීම ඉතාමත් දුෂ්කරයි. හැබැයි සොයා ගැනීම බැරි නැහැ. ඉතාමත් දියුණු මිත්‍ර සම්බන්ධකමක් ඇතුළත ඔබට විවාහයට සුදුසුම කෙනා සිටිය හැකියි. අපි අපේ සත්‍ය තොරතුරු මිතුරන් ළඟ හෙළිදරව් කරනවා. එහෙත් ආදරය කරන කෙනා ළඟ එහෙම ඇත්ත ඇති සැටියෙන් හෙළි කරන්නේ නැහැ. කොටසක් හංගනවා. එම හංගන කොටස නිසා දෙන්නට දෙන්නා සැබෑවටම හඳුනා ගන්නට බැරිවෙනවා.

මිත්‍රයෝ දෙන්නෙක් ආදරය කිරීම තුළින් දෙදෙනා දෙදෙනාටම සියල්ල පවසා තිබේ. හඳුනා ගෙන තිබේ. ආදරයයි මිත්‍රත්වයයි දෙකක් නොවන්නේ එබැවිනි. මේ දෙකම එක සමානව පවත්වාගෙන යන්නම ඕනෙ.

 

 

ඉතිරිය ලබන සතියට