බුදුහිමියන් දෙසූ පිරිහීමේ ලකුණු දැනදියුණුවෙන් දියුණුවට යමු

මැයි 25, 2020

තව දින දෙකකින් එනම් 5 වැනිදා උදාවන්නේ පොසොන් පසළොස්වක පොහොය දිනයයි. පන්සලකට ගොස් බුදුන්ට මල් පහන් පුදන්න, පෙහෙවස් සමාදම් වෙන්න අවස්ථාවක් නොලැබුණු නිසාම නිවෙසට වී එදිනට ආගමානුකූලව ගත කරන්නට සිතන ඔබට ධර්මයේ වටිනාකම වෙන කවරදාකටත් වඩා දැනෙන කාලයක් මේ.

ඉතින් පරාභව සූත්‍රයේ එන පළමු වැනි ගාථා රත්නය ඇසුරින් අද තරුණී සදහම් සෙවණ ධර්ම සාකච්ඡාව අරඹමු.

" සුවිජානෝ භවං හෝතී
සුවිජානෝ පරාභවෝ
ධම්මා ඛාමෝ භවං හෝතී
ධම්ම දෙස්සී පරාභවෝ "

දවසක් මැදියම් රෑ බුදු හිමියන් මුණ ගැසීමට දේවතාවෙක් වැඩියා. බුදුහාමුදුරුවෝ ඒ සඳහා වෙලාවක් වෙන්කර ගෙන තිබුණා.ඒ කියන්නෙ අපේ බුදුහාමුදුරුවන්ට හොඳ කාල සටහනක් තිබුණා. දවසේ එක විනාඩියක්වත් අපතේ හැරියේ නැහැ. කාලයට නියම වටිනාකමක් දුන්නා.

පැනයක් ඇති වූ දෙවියකු අප පෙර සඳහන් කළ ආකාරයට බුදු හිමියන් මුණ ගැසීමට පැමිණියේ.එම දේවතාවා බුදුන් හමුවට පැමිණ මෙහෙම ඇහුවා.

" බුදු හාමුදුරුවනේ, දියුණුවන අය කවුද.? පිරිහෙන අය කවුද.? මෙය මට පහදා දෙනු මැනවි." එයට බුදුරජාණන්වහන්සේගේ පිළිතුර වූයේ ධර්මයට කැමැත්තක් ඇත්තා දියුණු වේ. ධර්මයට ද්වේෂ කරන්නා පිරිහේ යනුවෙනි.

මේක අද සමාජයෙන්ම අපට වටහා ගත හැකියි. සමහරු ධර්මයට ද්වේෂ කරනවා. කිසිම ආගමකට දහමකට අනුව කටයුතු කරන්නේ නැහැ. ඔවුන් නිකම්ම නිකම් කාලය ගත කරමින් ඔහේ ඉන්නවා. ජීවිතය හරිම අසාර්ථකයි. පැවැත්මක් නෑ. ඇවැත්මක් නෑ. ඔහේ කකා බිබී මහ පොළවට බරක් වී ජීවත් වෙනවා.

ධර්මය රකින්නා, ධර්මය දන්නා කියන පුද්ගලයා පාපයට ලැජ්ජයි බයයි. ඔහුගෙන් වැරැදි සිදුවන්නේ ඉතාමත් අවම වශයෙන්. අත් වැරැද්දක් වුවද එය ඉක්මනින් නිවැරැදි කර ගන්නවා.

මේ ගත වන්නේ පොසොන් සමයයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලංකාවට ගෙන ආ අසිරිමත් කාලයයි. වර්තමානයේ ජීවත්වන මිනිසුන් හරිම ආත්මාර්ථකාමියි. බෞද්ධ නිවැසියන් ලොව්තුරා බුදුරජාණන්වහන්සේට මල් පහන් තියෙනවා. ඒක මිහිදුහිමියන් වෙනුවෙනුත් පවත්වනවා නම් වඩාත් හොඳයි.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේට වැද නමස්කාර කර අවසන් වූ පසු මිහිදු හිමියන් ද වන්දනා කරන්නට පටන් ගත යුතුයි.එයට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ හැරුණු කොට දෙවැනි බුදුන් හැටියට අප සලකන්නේ මිහිඳු මහරහතන් වහන්සේයි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී‍්‍රි සද්ධර්මය අපට ලබා දුන්නේ මේ මිහිඳු මහ රහතන් වහන්සේයි. අපට ධර්මය පැහැදිලි කර දුන්නේ උන්වහන්සේයි.

අපි බෞද්ධ රටක ජීවත්වන බෞද්ධ සංස්කෘතියට අනුව හැදුණු වැඩුණු පිරිසක්.

ඔබේ ජීවිතයේ මහ වටින ගුණයක් තියෙනවා. ඒවා ඔබට ලැබුණේ බෞද්ධ සංස්කෘතියෙන්. ලොව කිසිම රටක නැති සිරිත් ගණනාවක් අපට උරුමයි. මේ සිරිත් නිර්මාණය වුණේ බෞද්ධ සංස්කෘතිය ඇසුරින්.

ඉස්සර මට මතකයි මම බඩගිනිවෙලා අම්මා ළඟට ගියහම අම්මා කියනවා පුතේ ටිකක් ඉන්න කියලා. අම්මා එහෙම ටිකක් ඉන්න කියන්නේ තාත්තාට බත් පිඟාන බෙදා වෙන්කරනතෙක්. වර්තමානයේ මේ තත්ත්වය වෙනස්. එසේ වුවත් අතීතයේ නම් බත් හැළියේ බෙදෙන පළමු බත් හැඳී කීපය වෙන්වුයේ තාත්තාටයි. උදේ ඉඳන් නැහිලා නැහිලා හරි හම්බ කරගෙන එන තාත්තට පළමුව බත් පිඟාන බෙදනවා. ඒක ගරු කිරීමක්. මේ තත්ත්වය දැන් නැහැ. ඉස්සර අපේ අම්මලා බත්, ව්‍යංජන මේසෙට යවලා අපි කනකල් බලන් ඉන්නවා.දැන් මොඩන් අම්මා රයිස් කුකර් එකේ බත් උයලා ගෑස් ළිපේ ව්‍යංජන උයලා රූපවාහිනිය බලනවා. ඕන්නම් කන්න කියලා. නවීන අම්මා රූපවාහිනිය ඉදිරියේ පැය දෙක තුනක් අනිමිස ලෝචන පූජාව කරනවා. මේක හරිම අවාසනාවක්. විද්‍යුත් මාධ්‍ය හොඳයි. මේවායින් තෝරා බේරා පෙරළා ගත යුතු කොටසක් තියෙනවා. අපේ ජාතියේ ඇති නිදහස්කම අයුතු ප්‍රයෝජනයට ගත යුතු නැහැ.

මම මෑතකදී මාලදිවයිනට වැඩියා සිල් වැඩසටහනකට. එහෙ ගුවන් තොටුපළින් රට ඇතුළට පිටතින් ගෙන එන කිසිම දෙයක් ගෙන යන්නට දෙන්නේ නැහැ. බුදුපිළිමයක්, පොත් පත්, වෙසක් කාඩ් මේ කිසිම දෙයක් ගෙන යන්නට දෙන්නේ නැහැ. බෞද්ධාගමට විතරක් නෙමේ වෙන ආගම් වලටත් එහෙමයි. එහෙ තියෙන පිළිගන්න ආගම හැරුණු කොට කිසිම ආගමකට එහි හිස ඔසවන්නට බැහැ. අපි එහෙම විය යුතු නැහැ. ඒත් මා මේ කියන්නට යන්නේ අපේ රටේ ඇති ඒ නිදහස අයුතු විදිහට භාවිත කළ යුතු නැති බවයි. අපි ඕන කුණු ගොඩක් භාරගන්නවා. ඒක පිරිහීමේ ලකුණක්. ළමා පරපුර, තරුණ පරපුර, වැඩිහිටියන් මේ නිදහස නිසාම අයාලයේ ගිහින්. අතීතයේ තිබූ හරවත් දේ නව්‍යකරණය සමඟින් විනාශවෙලා. අර දේවතාව බුදුන්ගෙන් ඇසුවේ පිරිහීමේ ලකුණු මොනවාද කියලනේ. දැන් ඔබට තේරෙනවා නේද ධර්මය නැති තැන පිරිහෙන බව.

ධර්මය නැත්නම් මිනිසුන් ඔහේ ජීවත්වන ඇවිදින මළ කඳන් වගේ. මේ ලෝකයේ කිසිම රටක්, කිසිම ආගමක්, ජාතියක් නොකරන එකම එක දෙයක් අපේ රට කරනවා. ඒ වැදු අම්මාටයි, හැදූ තාත්තාටයි පසඟ තියා වඳීන එක. මේ සිරිත ලෝකයේ කොහේවත් නැහැ. බලාගෙන ඉන්නකොට යහපතක් සිදුවන කටයුත්තක් මේක.වැදූ අම්මටයි හැදූ තාත්තටයි ගෞරවය් කරන්නැති පුද්ගලයාගෙන් රටට පලක් නැහැ. අම්මා තමයි උතුම් තාත්තා තමයි වටින්නේ. මේ බව දැනගත් දරුවා තමයි රටට වැඩදායි පුද්ගලයකු වන්නේ. ගහ කොළ පරිසරය ගැන සතා සිව්පාවා ගැන ආදරයක් ඇතිවන්නෙ. මේවාට හදවතින් ගෞරවය කරන්නා බලා සිටියදී දියුණවෙන් දියුණුවට පත්වෙනවා.

මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟ අපට ලැබුණු යහපත් ගුණධර්ම තමයි ඔය.

මහින්දාගමනයට පෙර ලංකාවේ විසුවේ සත්තු මරාගෙන ආහාරයට ගන්නා ජාතියක්. අද අපි ලෝකය සමඟ හරි හරියට ගනුදෙනු කරනවා. ඒ මොන දේ කළත් එදා බුදුදහම මෙරටට ගෙන ඒමත් සමඟ ලබාගත් ගුණ ධර්ම සමඟ ජීවත් විය යුතුයි. මේ ධර්මයට එරෙහි වන්නට එපා. ධර්මය ආදරයෙන් වැළඳගෙන තම තමන්ගේ ජීවිත කල එළිය කර ගන්න.

 

පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම දේශනයක් ඇසුරිණි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.