අද සමහර දරුවන් තාත්තගේ ආදරයේ තරම දන්නේ නැහැ

පියාගෙ භූමිකාව නිවැරැදි නම් වෙනම දිනයක් අවශ්‍ය මොකට ද?
ජූලි 1, 2020

පුරා දසමසක් කුස හොවා

නොවිනඳද විළි රුද්‍ර

බිහිකරන්නට තම ලෙයින්

උපන් බිලිඳුන්....

පියවරු රැක්කේම

හදවතේ තියන්මයි හැමදාමහැම

තත්පරයකම තම දරුවන්,

දැන ගත් මොහොතේ සිට

තම ලෙයින් වැඩෙන දරුවකු

මවු කුස පිළිසිඳ ගත් බව...

සුගිය ජූනි මස 21 වැනි දින එක් කවිකාර දියණියක විසින් මේ වදන් පෙළ මුහුණු පොතේ සටහන් කර තිබුණි. ඒ එදිනට යෙදී තිබුණ ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය සිහිගන්වමිනි.

දරුවකුට අම්මා තාත්තා දෙන්නාම එක හා වටී. එහෙත් ඇතැම් විට දරුවකු සම්බන්ධ කටයුත්තකදී මුල්තැන හිමිවන්නේ අම්මාට පමණයි. එය එසේ නොවිය යුතුයි. වර්තමානයේ ගෙදරක පාලනය තනිකරම තියෙන්නේ ද අම්මාගේ අතේ පමණයි. එහෙත් තාත්තාට ගෙදර තියෙන භූමිකාව කුමක්ද? පිය සෙනෙහස ඉස්මතු වන්නේ නැද්ද? කොහොම නමුත් තාත්තා කෙනෙක් කියන්නේ ගේ ඇතුළේ ඉන්න මහා පෞරුෂයයි.

ඒ කාලේ තාත්තට තිබුණේ පුදුමාකාර බයක්, ගෞරවයක්. ඒ හා සමානම ළෙන්ගතුකමක්. තාත්තා කියන්නේ තාත්තට. තාත්ත අම්මා කෙනෙක් වගේ නෙමෙයි. හදවත ඇතුළේ දරු සෙනෙහස ගාල් කරගෙන ඉන්න කෙනෙක්. හැබැයි අපි කාටත් මතුපිටින් ඒ ආදරය පෙනෙන්නේ නැහැ. තාත්තා දරුවෝ වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙනවා.දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය හමුවේ දවල් රෑ හඬනවා. ඒ හඬන හැඬුම සමාජයට විවෘත නැහැ. ඒ නිසා ඒ හැඬුමට සමාජයේ වටිනාකමක් නැහැ. ඒ නිසාම අද සමහර දරුවන් තාත්තගේ ආදරයේ තරම දන්නේ නැහැ.

ඇතැම් විට අද තාත්තලා කාඩ්බෝඩ් චරිත වෙලා. තාත්තලා හිතන්නේ මාසෙ වැඩකරලා වැටුප අම්මා අතට දුන්නම හරි කියලා. ඒ හම්බකරපු මුදලින් අම්මා දරුවන්ගේ ඕනෑ එපාකම් ඉටුකරයි කියලයි. එහෙම හිතන තාත්තලා මහ පාන්දර රස්සාවට ගිහින් දරුවෝ නින්දට ගියාට පස්සෙ රෑ ජාමේ ගෙට ගොඩ වදිනවා. මෙහෙම තාත්තලා දරුවන්ට වැඩක් නැහැ. ජීවිතේ කියන්නෙම සල්ලි නෙවෙයි. අනෙක් අතට තාත්තා කෙනෙක්ගෙ භූමිකාව එතරම් සරල එකකුත් නෙවෙයි. දරුවන්ට පිය සෙනෙහස ලබා දෙන්න ඕනෙ. දරුවෝ එක්ක විවේකීව සතුටු සාමීචියේ යෙදෙන්න ඕනෙ. ළමයින්ගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් තාත්තා තමයි නියම තාත්තා. එහෙම නොවුණොත් දරුවෝ ඒ ආදරය සමාජයෙන් හොයනවා. දියණිවරුන් තම වීරයා ටියුෂන් පන්තියේදි හොයනවා. පුතුන් කඩපිල්, හංදි, මංමාවත්වල රස්තියාදුවට නැඹුරු වී වීර යාළුවෝ හොයන්නේත් පිය සෙනෙහස නිසි ලෙස නොලද විටයි.

අපේ බුදුහාමුදුරුවෝ බුදු පදවියට සමාන කළේ මවු පදවිය සහ පිය පදවිය පමණයි. එයින් පැහැදිලි වන්නේ අම්මා, තාත්තාගේ උත්තරීතර බවයි. අද තාත්තලා කට්ටිය හොයාගෙන සෙට් වෙනවා. මෙහෙම තාත්තලා එදා හිටියෙ නැහැ. සමාජයට ගිහින් සෙට් වෙන්න වෙලාවක් එදා තාත්තාට තිබුණේ නැහැ. හේනෙ, කුඹුරෙ වැඩ කරලා ගිමන් නිවාගත්තේ ගෙදරට ඇවිත්. දරුවෝ වටකරගෙන කතන්දර කියමින් දවස ගෙවා ගත්තා. එදා තාත්තා ගෙදර ආවේ බොහොම ගාම්භීර විදිහට. ගේ පැලට තාත්තා ගොඩවුණේ හිසේ බැඳගෙන ආපු ජටාව ගලවලා. ඒ තරම් ගේ ඇතුළේ ගෞරවයක්, ආදරයක් රැඳී තිබුණා. අද තාත්තලා ගෙදරට එන වෙලාවක් කලාවක් නැහැ. රස්සාව කරලා පාට් ටයිම් ජොබ් එකකුත් කරනවා. එහෙම වෙනකොට ගෙදර පාලනය තාත්තගෙන් දුරස් වෙනවා. දරුවන්ගෙන් දුරස් වෙනවා. ප්‍රිය බිරියගෙ සෙනෙහස දුරස් වෙනවා. මේ අයුරින් තාත්තා ගෙදරට දුරින් ඉඳන් රාජකාරි කරන කොට තාත්තට ඇති ආදරය ගිලිහී යනවා.කාලයක් එක්ක තාත්තා අවලංගු කාසියක් වෙනවා.

දවසක් මාපිය යුවළක් මා හමුවට පැමිණියා. ඒ දෙන්නට ජීවිතය කලකිරුණු ස්වභාවයක් මා දුටුවා. කතා කරගෙන යනකොට ඔවුන් කීවෙ ''අනේ හාමුදුරුවනේ අපිට ඉන්නෙ එකම එක පුතයි. ඒ පුතාට තාත්තව පේන්න බෑ. තාත්තට තාත්තෙ කියන්නෙත් නැහැ. තාත්තා ගැන පොඩි ආදරයක්වත් නැහැ'' කියලා. මම කිව්වා දවසක දරුවා අරන් පන්සලට එන්න. මම දරුවා එක්ක කතා කරලා බලන්නම් කියලා. ඉතින් මේ අම්මයි තාත්තයි කියන පරක්කුවෙන් දරුවාව අරන් පන්සලට ආවා. බොහොම පින්වත් දරුවෙක්. මම දරුවට ළංවෙලා ටිකක් කතා කර කර හිටියා. ඔහොම ඉඳලා මම ඇහුවා

''පුතා වැඩියෙන්ම ආදරේ කාටද කියලා. ගත්කටටම දරුව කිවුවා අල්ලපු ගෙදර ආච්චිට කියලා. ඇයි පුතා එච්චර ඒ ආච්චිට ආදරේ? එහෙම ඇහුවාම දරුවා කිවුවේ බොහොම සාධාරණ උත්තරයක්. හාමුදුරුවනේ, ඒ ආච්චි මට බත් කවනවා. මට කතන්දර කියලා දෙනවා. මාත් එක්ක සෙල්ලම් කරනවා. එයා මට හරි ආදරෙයි. මම එතකොට නැවත ඇහුවා ඇයි පුතාගෙ අම්මයි තාත්තයි පුතා එක්ක සෙල්ලම් කරන්නෙ නැද්ද කියලා. එතකොට මේ පුතා මට කිවුවේ තාත්තා දවස් හතම වැඩට යනවා. අම්මත් දවස් පහක් වැඩට යනවා. අනෙක් දවස් දෙකේ මාව ටියුෂන් ගෙනියනවා. එයාලා වැඩට ගිහින් එනකොට මම නිදි කියලා. බලන්න මේ දරුවට අම්මා තාත්තාගෙ ආදරය, රැකවරණය, ළෙන්ගතුකම ලැබී නැහැ. දරුවා තාත්තට තාත්තෙ කියලා කතා නොකරන එකේ වරදකුත් නැහැ කියලා ඔබටත් හිතෙනවා ඇති. අද නිවෙස්වල සැබෑ තත්ත්වය මේකයි. රැකියාවක් කරන්න ඕනෙ තමයි. ඒත් අපි රැකියාවක් කරන්නෙ අපේ ලෝකය ලස්සන කරගන්නයි. දැන් වෙලා තියෙන්නෙ සියලු කැප කිරීම් කරලා රස්සාව කරනවා. ඉතිරි සියල්ල නොදැනීම අහිමි වී යනවා. තමන්ගේ ආදරණීයයන් සමඟ කාලය ගත කරන්න ඉඩ වෙන්කර ගැනීම අවශ්‍යයයි. යම් තැනකදී ඔබේ දුව පුතා ඔබෙන් දුරස් වී යාවිද නැවත සමීපකර ගැනීම පහසු නොවෙයි. ඔබත් මේ වගේ කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ නම් අදම ඉන් අත්මිදෙන්න. අවිවේකී බවෙන් ඈත්වෙන්න. හුදෙකලා වූ දරුවාට ළංවන්න.

දරුවකුගේ ලෝකය ලස්සන කරන්න තාත්තා කෙනකුට පුළුවන්. ඉස්කෝලෙ දී උගන්වන පොත් ටික බලන්නෙ තාත්තලාගෙන් කී දෙනාද? ටියුෂන් යවන්න සල්ලි දුන්නට උගන්වන පිටුවක් පෙරළලා බලන්නේ නැහැ. ඒ වගකීම අම්මාට පවරනවා. අම්මාගෙ ආදරණීය ආදරයට වගේම තාත්තගෙ හැඩිදැඩි ආදරයට දරුවෝ හුඟක් කැමැතියි. තාත්තා මේ ආදරණීය වගකීමට උරදෙන්න ඕනෙ.

අම්මා, තාත්තා හඳුනන, අම්මා තාත්තාට ගරු කරන දරුවා සැමදා ඔවුන්ට රැකවරණය ලබා දෙයි.

 

 

අනුශාසනාව:

කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.