මෙතරම් බණ අහලත් ධර්මය අවබෝධ නොවන්නේ ඇයි?

ගලිගමුවේ ඤාණදීප ස්වාමීන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු ඇසුරිණි
ජූලි 29, 2020

ර්තමානයේ ගුවන් විදුලියෙන්, විද්‍යුත් නාළිකා මඟින් වගේම පුවත්පත් සඟරා ඔස්සේ බොහෝ ධර්ම ප්‍රචාරණ කටයුතු සිදුවෙනවා. ඒ කෙසේ නමුත් මෙතරම් බණ අහලත් අපිට ධර්මය අවබෝධ නොවන්නේ ඇයි? ජීවිතය ගැන මනා දැක්මක් ඇති නොවන්නේ මන්ද? මෙවර සඳහම් සෙවණ මඟින් අපි ඒ පිළිබඳ සාකච්ඡා කරමු.

බුද්ධ කාලයේ බණ ඇසූ බොහෝ අයට ධර්මය අවබෝධ වූවා. ඒ බොහෝ පින්වන්ත අයටයි. පෙර සසරේ පින් කළ වූවන්ටයි.

බුද්ධ ශාසනයක් තුළ බුදු කෙනෙකු පහළ වන විට පෙර සසරේ පින් කළ අය, ප්‍රඥා ඉන්ද්‍රීය බොහෝ හොඳින් පිහිටවූ අය, පාරමී පුරාගෙන ආ අය පහළ වෙනවා. ඒ අයගේ ඉන්ද්‍රීය ධර්ම දකින්න නුවණ ඇත්තේ බුදු කෙනකුට පමණි. සාරිපුත්ත හාමුදුරුවන්ටවත් එවැනි නුවණක් පිහිටියේ නැහැ. ඉන්ද්‍රිය වැඩෙන ලෙස ඉලක්කයට දහම් දෙසිය හැකිවන්නේ බුදුවරයකුට පමණි. එමෙන්ම බුදුරජුන්ගෙන් එක ගාථා රත්නයක් අසද්දීම ඇතමුන්ට ධර්මය වැටහුණා. තවත් අයට ගාථාවේ කොටසක් ඇසෙද්දී ධර්මය අවබෝධ වුණා. තවත් සමහරුනට පුංචි උපක්‍රම මඟින් බුදුරජාණන් වහන්සේ ධර්මය පැහැදිලි කර දුන්නා. ඔබ අසා ඇති චුල්ල පන්ථක හාමුදුරුවෝ ගැන. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ ලබා දුන්නේ පුංචි රෙදි කඩක් පිරිමැදීමටයි. අසූමහා ශ්‍රාවකයන් වහනසේලා අතරින් මනෝමය ශරීර මවන භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය හිමිවූයේ උන්වහන්සේටයි.

ධර්මයේ සඳහන් පරිදි අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් යම් තනතුරක් ලැබීමට සසරේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්නට අවශ්‍ය වේ. එවැනි පෙරුම්දම් පුරාගෙන ඇවිත් අසූමහා ශ්‍රාවක තනතුරක් ලබන ආත්මයේ චුල්ල පන්ථක හාමුදුරුවන්ටත් එක ගාථා ධර්මයක් පාඩම් නොහිටි කාලයක් තිබුණා. ඒ ගාථාවේ පළමු පේළිය බොහෝම අමාරුවෙන් කියවලා කියවලා හිතට ගන්නවා. එහෙත් නැවත දෙවැනි පේළිය පාඩම් කරද්දී පළමු පේළිය අමතකයි. මේ විදිහට වසර ගාණක් ගතවුණා. චුල්ල පන්ථක හාමුදුරුවන්ගේ වැඩිමහල් සොහොයුරු මහා පන්ථක හාමුදුරුවෝ රහත්වූවෙක්. දිනක් චුල්ල පන්ථක හාමුදුරුවෝ මහා පන්ථක හාමුදුරුවෝ ළඟට ගිහින් දවසක් මෙහෙම කිවුවා.

“මම බොහෝම ශ්‍රද්ධාවෙන් පැවිදිවූවෙක්. එහෙත් මට කිසිම ගාථා පාඨයක් පාඩම් හිටින්නේ නැහැ. කොච්චර උත්සාහ ගත්තත් ඵලක් නැහැ.”

“ඔබට පින මදි විය හැකියි. ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැතිනම් ඔබ කෙලෙසද මේ බුද්ධ ශාසනයේ පැවිද්දකු ලෙසටවත් කටයුතු කරන්නේ?” මහා පන්ථක හාමුදුරුවෝ චුල්ල පන්ථක හාමුදුරුවන්ගෙන් එලෙස ඇසුවා.

“ඔබ හැකි ඉක්මනින් පින් දහම් කරන්න. නැතිනම් පැවිද්ද අතහැර යාම යහපතැයි” තවදුරටත් මහා පන්ථක හාමුදුරුවෝ වදාළහ.

මේක අහපු චුල්ල පන්ථක හාමුදුරුවෝ බොහෝ කනස්සල්ලට පත්වුණා. උන්වහන්සේ සිවුරු හරින්නට කැමැති නැහැ. එබැවින් විහාරයේ කොනකට වී හඬන්නට වුණා. මේක බුදුරජාණන් වහන්සේට පෙනුණා.

“චුල්ල පන්ථක ඇයි ඔබ දුකෙන්?”

“අනේ බුදුරජාණන් වහන්ස, මට එක් ගථා පාඨයක්වත් පාඩම් හිටින්නේ නැහැ. මා මේ ගැන මහා පන්ථක මහරහතන් වහන්සේට පැවසුවා. උන්වහන්සේ මට පින් කරන්න කිවුවා.

ඒත් බැරිනම් මහණදම් අත්හරින ලෙස කීවා.”

“චුල්ල පන්ථක, මේ බුද්ධ ශාසනය මහා පන්ථකගේ දෙයක් නොවෙයි.” බුදුරජාණන් වහන්සේ එලෙසින් වදාළා සිට දිවැසින් චුල්ල පන්ථක දෙස බැලුවා.

චුල්ල පන්ථක කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු බව පෙනුණා. පෙර සසරේ හිත වැඩුණු හැටි දිවැසින් බලා පුංචි රෙදි කඩක් අතට දුන්නා. “චුල්ල පන්ථක බාහිර කිසිවකට හිත යොමු කරන්න එපා.

“රජෝ හරණං... (අපිරිසුදු වෙනවා) යැයි කියමින් රෙදි කඩ පිරිමදින්න” යැයි අවවාද කළා. එදින චුල්ල පන්ථකව විහාරයේ තබා ජීවක උපාසකගේ නිවෙසට බුදුරදුන් ඇතුළු සංඝයා වහන්සේලා දානයකට වැඩියා. ජීවක දන් බෙදද්දී පාත්‍රය අතින් වසාගත් බුදුරදුන් තවත් හාමුදුරු කෙනෙක් විහාරයේ සිටිනවා. උන්වහන්සේවත් වඩම්මවා දන් බෙදීම ආරම්භ කරන ලෙස වදාරා සිටියා.

ජීවකගේ සේවකයකු විහාරයට යන විට එකම මුහුණ ඇති සංඝයා වහන්සේලා ගොඩක් විවිධ කාර්යයන් කරමින් හිටියා. නැවත සේවකයා ඇවිත් බුදුරදුන්ට මෙම අරුමය කියා සිටියා.

“ඔබ නැවත ගොස් කවුද චුල්ල පන්ථක යැයි අසන්න. මම යැයි කිවු සංඝයාවහන්සේගේ අතින් අල්ලන්න. එවිට අනෙක් අය නොපනී යයි. අන්න උන්වහන්සේව එක්කගෙන එන්න.” උන්වහන්සේ වැඩිය පසුව බුදුරජාණන් වහන්සේ සඝ පිරිස අතරේදීම “මගේ බුද්ධ ශාසනයේ මනෝමය චරිත ශරීර මවන භික්ෂූන් වහන්සේ මේ තමයි.” යැයි පවසමින් අග්‍රස්ථාන තනතුරක් චුල්ල පන්ථක හාමුදුරුවන්ට පිරිනැමුවා.

බලන්න, අසූමහා ශ්‍රාවකයන්ට අයිති මේ ශාසනයේ කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙන ආපු කෙනාටත්, පැවිදි වෙලා සිටියදීත් ගාථාවක්වත් පාඩම් හිටියෙ නැති කාලයක් තිබුණා.

අපටත් හිත වැඩෙන්නෙ නැති කාල තියෙනවා. පිනක් කරන්න හිතෙන්නෙ නැහැ. ඒ තමන්ගෙ පෙර කර්මත් එක්ක බලවත් වන අකුසලයන් නිසයි. එබැවින් අවබෝධයම තුළින් ජීවිතය ජයගන්න හිතට ගන්න. සැනසීම නිසැකවම උදා වේවි.