අප අතර අසහනය වැඩි වී ඇත්තේ ඉවසීමකින් කටයුතු නොකිරීම නිසයි

ඉවසීම සහිත ව යහපත් මිනිසකු ලෙස ජීවත්වීමට අපට අවශ්‍ය ධර්මතා සතර
නොවැම්බර් 4, 2020

ඉවසීමෙත් සීමාවක් තිබෙනවා’ යැයි අපේ සමහරුන් අතර අදහසක් පවතිනවා. එවැන්නක් බුදුදහමේ කොතැනකවත් දක්වා නැහැ. ඉවසීමට සීමාවක් නැහැ. ඉවසීම සහිතව යහපත් මිනිසකු ලෙස ජීවත්වීමට අපට අවශ්‍ය ධර්මතා සතරක් දැක්විය හැකියි. ඉන් පළමුවැන්න සත්‍යගරුක වීමයි. දෙවැන්න ධර්මානුකූල බවයි. තුන්වැන්න ධෛර්යසම්පන්න බවයි. සිවුවැන්න ඇපකැප වීමයි. මේ ගුණ දහම් සතර අනුව දිවි ගෙවනවානම් ඉවසීම නිතැතින්ම අපට හිමිවනවා.

අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතුන් වහන්සේගේ කීර්තිය භාරතයේ ජනතාව අතර පැතිර යෑමට උන්වහන්සේගේ ඉවසීමේ ගුණය මහත් සේ බලපෑ බව අප කවුරුත් දන්නා කරුණක්. බුදුරජාණන් වහන්සේ නොයෙක් වර සැරියුත් තෙරණුවන්ගේ ඉවසීමේ ගුණය ප්‍රශංසාවට බඳුන් කළහ. බුද්ධ ශ්‍රාවකයන් සමඟ නොයෙකුත් වාද විවාදවලට එළැඹී අයටත් ගැටුමට පැමිණි පිරිසටත් සැරියුත් මහ රහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය මහත් හිරිහැරයක් වුණා. එය නැති ගුණයක් මවාපෑමක් යැයි ඔවුන් අතර මතයක්ද පැවැතුණා.

මේ නිසා එක්තරා බමුණකු සැරියුත් හිමියන්ගේ ඉවසීමේ ගුණයක් නැති බවටත් තමාට එය ඔප්පු කර පෙන්විය හැකි බවටත් කටමැත දොඩන්නට පටන් ගත්තා. බමුණා දිනක් සැරියුත් මහරහතන් වහන්සේ පිඬු සිඟා වඩිද්දී පසුපසින් ගොස් උන්වහන්සේගේ පිටට තදින් පහරක් දුන්නා. ඒ ගැන කිසිදු තැකීමක් නොකළ තෙරණුවෝ නිහඬවම පිණ්ඩපාතයේ වැඩියහ. මෙයින් බමුණාට දැඩි කම්පනයක් හට ගත්තා.

‘‘මේ තරමට ඉවසන පුද්ගලයකු මා දැක නැහැ’’ කම්පනයෙන්ම සැරියුත් හිමියන්ගේ දෙපා මුල වැඳ වැටුණු බමුණා තමා කළ වරදට සමාව අයැද සිටියා. බමුණාට සමාව දුන් සැරියුත් මහ රහතන් වහන්සේ ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ යළි උන් වහන්සේ අභියස බැගෑපත් වූ බමුණා කියා සිටියේ තමාගේ නිවෙසට වැඩම කර දානය වැළඳුවහොත් සමාව දුන් බවට තමාට පිළිගැනීමක් ඇතිවන බවයි. සැරියුත් මහ රහතන් වහන්සේ බමුණාගේ නිවෙසට වැඩමකර බමුණා පිළිගැන්වූ දානය වළඳා පාත්‍රය බමුණා අතට දුන්නා. බමුණා පාත්‍රය අතින් ගෙන සැරියුත් මහ රහතන් වහන්සේ පසුපසින් ගමන් කළා.

සැරියුත් තෙරණුවන්ට බමුණා පහර දුන් සිද්ධිය සැලවී දඬු මුගුරු රැගත් පිරිස් බමුණාට පහර දීමට මේ අතර පැමිණෙමින් සිටියා. හිමියන් බමුණාගේ ගෙදරින් දන් වළඳා බමුණා සමඟ පැමිණෙනු මේ අය දුටුවා.

“ඔබ වහන්සේගේ පාත්‍රය අතට ගනු මැනැවි. බමුණා කළ වරදට අපි දඬුවම් කරන්නෙමු’ පිරිස කෑ ගසමින් සැරියුත් හිමියන්ගෙන් ඉල්ලුවා.

‘බමුණා පහර දුන්නේ මටද නැත්නම් ඔබ සැමටද?”

“ඔබ වහන්සේටයි”

“මා ඔහුට සමාව දී අවසානයි”

සැරියුත් මහරහතන් වහන්සේ එසේ පිළිතුර දුන්නා.

පැමිණි පිරිස සැරියුත් මහ රහතන් වහන්සේගේ පිළිතුරෙන් සෑහීමට පත් නොවුණත්, උන්වහන්සේ අභිබවා යෑමට නොහැකි හෙයින් බුදුරජාණන් වහන්සේට සිද්ධිය සැල කළා. සැරියුත් මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ සියල්ලන් විසින්ම ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කරනු ලැබීම මහත්සේ වටිනා බව දේශනා කළා.

අද සමාජයේ සිදුවන බොහෝ අපරාධ හා ගැටුම්වලට මුල්වී ඇත්තේ බුදුන් වහන්සේ පෙන්වා වදාළ මේ ඉවසීමේ ගුණය නොමැතිවීම නොවේද? ආවේගශීලී බව පාලනය කර ගත නොහැකිවීම රෝගයක් මෙන් අද සමාජයේ පැතිර ගොස් තිබෙනවා. තමන්ගේ මතය, අදහස අන්‍යයන් අනුමත නොකිරීම පවා ඉවසීමට නොහැකි පුද්ගලයන් අප අතර බොහෝයි. මනසින් උසස් වුවත් මිනිසා අද ගුණධර්මවලින් හීනවී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. සාමකාමී පරිසරයක සමඟිව ජීවත්වීමට නම් ඉවසීම අත්‍යවශ්‍ය වනවා.

‘ඉවසීමෙත් සීමාවක් තිබෙනවා’ යැයි අපේ සමහරුන් අතර අදහසක් පවතිනවා. එවැන්නක් බුදුදහමේ කොතැනකවත් දක්වා නැහැ. ඉවසීමට සීමාවක් නැහැ. ඉවසීම සහිතව යහපත් මිනිසකු ලෙස ජීවත්වීමට අපට අවශ්‍ය ධර්මතා සතරක් දැක්විය හැකියි. ඉන් පළමුවැන්න සත්‍යගරුක වීමයි. දෙවැන්න ධර්මානුකූල බවයි. තුන්වැන්න ධෛර්ය සම්පන්න බවයි. සිවුවැන්න ඇප කැප වීමයි. මේ ගුණ දහම් සතර අනුව දිවි ගෙවනවානම් ඉවසීම නිතැතින්ම අපට හිමිවනවා. අද අප අතර අසහනය වැඩි වී ඇත්තේ ඉවසීමකින් කටයුතු නොකිරීම නිසයි. අප නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී ඉන් මෙහා ලැබිය හැකි සැනසීම ක්ෂාන්තියයි. නිර්වාණාවබෝධය සඳහා පාරමිතා සම්පූර්ණ කළ යුතු බව අප දන්නවා. ඉවසීමත් පාරමිතාවක්. ඛන්ති පාරමිතාව අපට සැනසුම් සහගත ලෙසත් නිවැරැදිවත් ප්‍රතිපත්ති සම්පූර්ණ කරගැනීමට උපකාරවත් වනවා. ඉවසීමක් නැතිව හදිසියට යා හැකි ගමනක් නිවන් මඟට සම්බන්ධව නැහැ. ඒ සඳහා පිළිවෙත් පිරිය යුත්තේ ක්‍රමානුකූලවයි.

ඉවසීම අපෙන් දුරස්වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ රාග, ද්වේෂ, මෝහ යන ක්ලේශ මූලයන්ගේ ඉස්මතුවීමයි. නිසි වැටහීමක් නැතිකම විශේෂයෙන්ම මෙහිදී පුද්ගලයන්ගේ ඉවසීම හීන කරනවා. මේ වැටහීම එනම් අවබෝධය ,අධ්‍යාපනය ලැබීමෙන් පමණක්ම ලැබෙන දෙයක් නොවෙයි. එහෙත් ක්‍රමවත් අධ්‍යාපනයක් අවබෝධය සඳහා අපට ඉවහල් වනවා. හොඳ අවබෝධයක් සහිතව නිවැරැදි පිළිවෙත් මඟෙහි ගමන් කරන තැනැත්තා තම සිතේ මතුවන රාග, ද්වේෂ, මෝහ සිතුවිලි බොහෝ දුරට පාලනය කර ගන්නවා.

වෛද්‍යවරයකුට පවා සුව කළ නොහැකි රාගය, ද්වේෂය, මෝහයට ඇති එකම විසඳුම බුදුරජාණන් වහන්සේගේ දහම අනුගමනය කිරීමයි. ඒ සඳහා දරුවන් ළදරු අවධියේ සිට ගුණ දහම් වැඩීමට නැඹුරු කළ යුතුයි.

බස් රථයක් එනතුරු බස් නැවැතුමේ පෝලිමට වී සිටින ජනතාවට බසය නැවැත්වූ පසු එයට පෙළට නැඟ ගැනීමට තරම්වත් ඉවසීමක් අද නැහැ. එකිනෙකා තල්ලුකර දමා හෝ තමන්ට ඉඩක් ලබා ගැනීමට වෙහෙසෙනවා. දුම්රිය නැවැත්වීමට පෙර ඊට ගොඩවීමට තැත් කිරීම අනතුරුදායක බව දුම්රිය ස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශය කෙරෙනවා. දැන්වීම් පුවරුවලත් ඒ බව සඳහන් වනවා. එහෙත් අපේ රටේ දුම්රිය නැවැත්වීමට පෙර ඊට අනතුරුදායක ලෙස නැඟීමට උත්සාහ කරන පිරිස කොතෙක්ද? එයින් අනතුරු සිදු කරගත් පිරිස කොපමණද?

බස් රථයකදී, දුම්රියක දී හෝ වෙනත් පොදු ස්ථානයක දී තම පය පෑගුණහොත් එය නොඉවසා අඩුම වශයෙන් රවා බලන්නට හෝ පෙළඹෙන පිරිස කොතෙක්ද?

මහ මඟ ගමන් කරන පුද්ගලයන් කී දෙනෙක් නම් පාර හරහා යෑමේදි වාහනයක් එන බව දැක දැකත් පාර මාරු වනවාද? මේ හදිසිය විශාල ලාභයක්, පහසුවක් තකාද?

මොහොතක් ඉවසන්නට බැරි තරමට තිබෙන මේ කලබලය තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම හානිදායකයි.

රටේ සිදුවන අපරාධ සහ අනතුරු රැසකටම මුල් වී තිබෙන්නේ ඉවසීම නැතිකමයි. ඉවසීම අප කෙරෙන් දුරස් වූ විට ලජ්ජාව සහ බය (හිරි – ඔතප්) අප කෙරෙන් ඈත් වන්නටත් ඉඩ තිබෙනවා. පව් කිරීමට ලජ්ජාවත් බයත් නැති වූ විට සමාජ සම්මත නොවන ක්‍රියාවන්ට මෙන්ම නීතියෙන් දඬුවම් ලැබෙන වැරැදි කිරීමටත් පෙළඹෙනවා.

 

අපේ ජනවහරේ ‘ඉවසීමෙන් සැනසීම ලැබේ’ යැයි කියමනක් තිබෙනවා. බුදුදහම අපේ සමාජය සහ සංස්කෘතිය සමඟ බද්ධ වී ඇති නිසයි එවන් කියමන් ජන වහරට එක් වී ඇත්තේ. සමාජය දෙස විපරමෙන් බලන්න. ඉවසන සුළු පුද්ගලයා කෙරෙහි සෙසු අයගේ ආකල්පය කුමක්ද? ඉවසන තැනැත්තාට සියලුදෙනාම ප්‍රිය කරනවා. ඔහුගේ වචනයට සවන් දෙනවා. ගරු කරනවා.

කාර්යාලයක පවා ඉවසන පුද්ගලයන් ගැන අන් අය කරන කතාබහට අවධානය යොමු කර බලන්න. ඉවසන තැනැත්තා සෙසු පිරිසගේ ප්‍රශංසාවට ලක්වනවා. කවුරුන් හෝ වචනයකින්වත් ඔහුගේ සිත රිදවීමට ලක් කළොත් අන් සියලු දෙනාම ඉවසනසුලු පුද්ගලයා කෙරෙහි අනුකම්පාව, කරුණාව දක්වනවා. ඔහුගේ සිත සැනසීමට ඉදිරිපත් වනවා.

එනිසා සමාජයේ ප්‍රශංසාවට පාත්‍රවන ඉවසීම අප ප්‍රගුණ කරගත යුතුයි නේද? ඉවසීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගැටුම් අඩුවන නිසා මහත් සැනසිලි සුවයක් අපට හිමිවනවා. ඒ සැනසීම නොලබා අසහනයෙන් මනස ව්‍යාකූල කරගෙන දිවි ගෙවනවාද යන්න අපම තීරණය කළ යුතුයි. ඉවසීම අප තුළ වගා කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වා දී තිබෙනවා. බුද්ධාවවාදයට ගරු කරන අපි ඉවසීම ප්‍රගුණ කරගැනීමට උත්සාහ කරමු.

තෙරුවන් සරණයි!

උපුටා ගැනීම - පූජ්‍ය ධම්ම කුසල ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙනි.

 

2020/11/04 තරුණි පුවත්පත බලන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.