ස්වයං විනයෙන් සාර්ථක ආර්ථිකයක්

ජූලි 24, 2019

ජීවිතය ජීවත් කරලීමට සේ ම දිනීමට ද මුදල් අවශ්‍ය ය. එහෙත් මුදල් ඉපයීම මෙන්ම ඉතිරිකර ගැනීම ද මඳක් අපහසු දෙයක් බව අප කවුරුත් අත්දැකීමෙන් දන්නා කරුණකි.

දුක් මහන්සියෙන් උපයාගන්නා මුදල් නිසි කළමනාකරණයකින් තොරව පරිහරණය කරන විට මූල්‍ය අපහසුතා ඇති වීම සාමාන්‍ය දෙයකි.

අපට ජීවිතයේ කොතෙක් දේ අධ්‍යාපන ක්‍රම මඟින් ඉගැන්වුවත් මුදල් කළමනාකරණය කිරීම පිළිබඳ දැනුමක් සෑම පුද්ගලයකුට ම ලබා ගැනීමට අවස්ථාවක් නොලැබේ. සමාජ අධ්‍යයනය මඟින් සමාජය ගැන, සෞඛ්‍යය මඟින් පුද්ගල සෞඛ්‍යය ගැන ඉගැන්වුවත් මුදල් හදල් පිළිබඳ විශේෂ විෂයයක් ලෙසින් ඉගැන්වීමක් නොකරයි. වාණිජ විෂය ධාරාව හදාරන අයකුට හැරුණු විට අනෙක් අයට හර-බැර, ගිණුම් ආදී වචන ගැනවත් අවබෝධයක් නොලැබේ.

සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක්, ජංගම ගිණුම ආදී බැංකු ගිණුම් ගැන පවා අපි සාමාන්‍යයෙන් අවබෝධයක් ලබා ගන්නේ එම කාර්යයන්හි නිරතවීමෙනි. බොහෝ පුද්ගලයන් ආර්ථික අපහසුතාවලට ලක් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ මුදල් පරිහරණය පිළිබඳ ඇති නොදැනුවත් බව නිසයි. උදාහරණයක් ලෙස ඉතිරි කිරීමේ ගිණුමක්, ආයෝජනයක්, ස්ථිර තැන්පතුවක් යන වදන්වල වෙනස පවා ඇතැම් අය නොදනිති.

ඉතිරි කිරීමේ ගිණුමක් යැයි පවසන්නේ අපට නිති පතා මුදල් දැමිය හැකි හා නිති පතා මුදල් ආපිට ගත හැකි අපේ මුදල් එලෙසින් ම ආරක්ෂා වෙන අතර සුළු මුදලක් ද පොළියක් ලෙසින් ලැබෙන බැංකු ගිණුමකි. එහෙත් ස්ථාවර තැන්පතුවක් මෙයට වඩා වෙනස් වේ. එහිදී එක්තරා නිශ්චිත කාලයක් සඳහා තමාගේ මුදල් බැංකුවේ තැබීමට එම ආයතනය සමඟ එකඟ වීම නිසා වැඩි පොළියක් ලැබේ. නමුත් මෙහිදී බැලිය යුතු දෙයක් වන්නේ ලැබෙන පොළී අනුපාතය නොව, ආයතනයේ විශ්වසනීයත්වයයි.

පසුගිය කාලයේ දී මූල්‍ය ආයතන කිහිපයකම වැඩි පොළී මුදලක් (සාමාන්‍යයෙන් ලබාදෙන ස්ථාවර තැන්පතු පොළීවලට වඩා විශාල පොළී අනුපාතයක් ) ලබා ගැනීමේ අරමුණින් ස්ථාවර තැන්පතු ආරම්භ කළ බොහෝ දෙනාට අත්විඳින්නට සිදු වූ අභාග්‍ය සම්පන්න සිදු වීම ඔබටත් මතක ඇති. ඒ නිසා අපි මතක තබා ගත යුතු කරුණක් වන්නේ ස්ථාවර තැන්පතුවක් දැමීමේ දී ඒ සඳහා ලැබෙන පොළී අනුපාතය නොව එම ආයතනයේ ස්ථාවර භාවය පිළිබඳ සොයා බැලිය යුතු බවයි.

ආයතනයක් මඟින් එවැනි ලොකු පොළී අනුපාතයක් ලබා දෙන්නේ කෙලෙසකදැයි සොයා බැලිය යුතුයි. එසේ සොයා බැලීම ඔබ අනවශ්‍ය කරදරයක වැටීමෙන් හා අනවශ්‍ය මූල්‍ය පරිහානියකින් වළකාලීමක් වනු ඇති. කෙනෙක් අපට 20%ක පොළී මුදලක් ලබා දෙන්නට කැමැත්ත පළ කළ විට අප ඒ පුද්ගලයාගේ ආදායම ගැන සොයා බැලිය යුතුයි. අපට එවැනි පොළී මුදලක් ලබා දෙන්නට නම් එම පුද්ගලයාට 40%ක පමණ ලාභයක් තිබිය යුතුයි.

ආයෝජනයක් යන්නෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයකට මුදල් යෙදවීමයි. මෙහිදී ආයෝජනය කරන්නාට යම් අවධානමක් දැරීමට ද සිදු වේ. ව්‍යාපාරය සාර්ථක වුවහොත් ඉන් යම් ලාබයක් ඉපැයිය හැකිවා සේ ම ව්‍යාපාරය අසාර්ථක වුවහොත් ඉන් පාඩු ලැබීමට ද සිදු වේ. පසුගිය කාලයේ ඇතැම් කූට ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරවල ආයෝජනය කරන්නැයි පවසා සිදු වූ දේ බොහෝ දෙනෙක් දන්නා කරුණකි. අවසානයේ එම ව්‍යාපාරිකයා නීතියේ රැහැනට පවා හසු විය.

එහෙත් රජයකට ආයෝජන කිරීම් සඳහා නීති පැනවිය නොහැකියි. මැදිහත්වීම් සිදු කිරීම අපහසුයි. මේ නිසා ජනතාවකට මූල්‍ය සාක්ෂරතාව ලබා දිය යුතුයි. මූල්‍ය සාක්ෂරතාවයේ දී දැනගත යුතු ප්‍රධාන කරුණක් වන්නේ මුදලේ වටිනාකම කාලයත් සමඟ වෙනස් වන සුළු බවයි. උදාහරණයක් ලෙසින් අද නිවෙසකට ඇස්තමේන්තු කළ ගඩොල් ලක්ෂයක් සඳහා මිලියනයක් වියදම් වෙන බව ගණන් බලා ඇතත් එය තවත් වසර කිහිපයකින් ද එම වියදම ම දැරීමට සිදු නොවන අතර එය වෙනස් විය හැකිය. බොහෝ විට වියදම වැඩි වේ. මෙය උද්ධමනය ලෙසින් හැඳින් වේ. කාලයට අනුව මුදලේ වටිනාකම වෙනස් වේ.

මේ සඳහා අපට සිදු කළ හැකි දේ වන්නේ තමාට අය වැය ලේඛනයක් සකස් කිරීමයි. තමාට ලැබෙන මුදල් ප්‍රමාණය සටහන්කොට තබා ගත යතුයි.

ඒ වගේම වියදම් ලේඛනයක් සකස් කරගත යුතුයි. මෙහිදී අපිට වියදම් වන රුපියල් 10 පවා ලේඛනයට ඇතුළත් වේ. වියදම් ලේඛනයක් පවත්වා ගැනීම ම යම් කිසි විනයක් ලෙසින් හැඳින්විය හැකියි. අපේ ජන සංස්කෘතියේ 'ගඟේ මුහුදේ දැම්මත් ගානක් මිම්මක් තිබිය යුතුයි' ලෙසින් පවතින කියමනෙන් පැවසෙන්නේ ද මෙයමයි.

වියදම් ලිවීම මඟින් තමා වැඩිවශයෙන් වියදම් කරන්නේ කුමනාකාරයේ දේ සඳහාදැයි තමාටම වටහා ගත හැකියි. ඇතැම් විට අප වැඩි වශයෙන් වියදම් කරන්නේ අත්‍යවශ්‍ය දේ සඳහා නොවිය හැකියි. අපි වියදම් කරන්නේ පෝෂණය ලබා ගැනීමට ද නැතිනම් විනෝදයක් ලබා ගැනීමටද? මේ ආසාව, විනෝදය සඳහා සිදු කරන අනවශ්‍ය අරුමෝසම් ආහාර ගැනීම් ඔබට මාසයකට එක් වරකට සීමා කළ හැකියි. මෙම වියදම් ලේඛනය දෙස බලා ඉදිරියේ දී සිදු කරන අනවශ්‍ය වියදම් කපා හැරීමට අපට හැකියාව ලැබේ. එමඟින් යම් මුදලක් ඉතිරිකර ගැනීමට හැකියි.

මූල්‍ය විනයේ වැදගත් ම දේ වන්නේ පහත සඳහන් සමීකරණයයි.

අදායම - වෙන්කිරීම = වියදම

නමුත් බොහෝ දෙනෙක් භාවිත කරන්නේ මේ සමීකරණය නොවේ. ආදායම - වියදම = ඉතිරිය

නමුත් ඉචමඪදඨ යන ඉංගී‍්‍රසි වදනෙන් පවසන දේ සිංහලෙන් අප පවසන 'ඉතිරිය' යන පදයෙන් නිසි ලෙස නොහැඟ වේ. අපි බොහෝ විට ඉතිරිය ලෙස සලකන්නේ වැඩි කොටස යන අර්ථය ඇතිවයි. උදාහරණයක් ලෙස 'ඇයි පුතා ඔය බත් ටික ඉතිරි කළේ..' ලෙසින් පවසන්නේ ඒ කන්නට බැරි වැඩි කොටසයි. ගොවි මහතෙක් අස්වැන්නෙන් පළමු කොටස දෙවියන්ට වෙන් කරනවා මිස ඉතිරි නොකරයි. එම වෙන්කළ කොටස අපි නැවත ගන්නේ ද නැත.

අපි බොහෝ දෙනෙක් වියදම් කිරීමෙන් පසු ඉතිරිවන කොටස ඉතිරි කරන්නනට සිතාගෙන සිටියත් මුදල් එසේ ඉතිරිකර ගැනීම අපහසු ය. එහෙත් වියදමට පෙර මුදල් කොටසක් වෙන්කර අනෙක් කොටසින් වියදම් සකසා ගන්නේ නම් එය සුදුසුම ක්‍රමයයි.

අපේ අම්මලා ඉස්සර මේ ක්‍රමය සිදු කළා ඔබටත් මතක ඇති. ඔවුන් මුදල් කොටසක් සඟවා තබන්නේ හදිසි මොහොතක දී ප්‍රයෝජනයට ගැනීම සඳහායි. ඒ වගේම අපේ අම්මලා හාල් මැන මුට්ටියට දැමීමෙන් පසු ඉන් මිටක් වෙන්කර මුට්ටියකට දමා කුඩා හාල් ගබඩාවක් සකසා ගනී.

අපිට රජයෙන් බදු නියම කරන්නේ නම් අපිටත් අපිට බදු නියම කිරීමට හැකි විය යුතුයි. මේ කොටස වෙන්කර ඉතිරි කොටසින් වියදම් සිදු කිරීමෙන් කාලයක් යාමේ දී සැලකිය යුතු ප්‍රමාණයේ මුදල් ප්‍රමාණයක් ඔබට වෙන්කර ගත හැකියි.

මෙවැනි දේ ඇතැම් විට ඉතා සුළු ආදායම් ප්‍රමාණයක් ලබන අය පවා සිදු කරන අවස්ථා තිබේ. ලොකු ආදායම් ලබන අය පවා ඇතැම් විට මාසයේ දවස් ටික ගත කිරීමටත් පෙර පඩිය නිමාකර ගනිති. මෙයින් පෙනී යන්නේ ලබන ආදායම හා ආර්ථික සාර්ථකත්වය අතර කිසිම සම්බන්ධතාවක් නැති බවයි.

ආර්ථික සාර්ථකත්වය සඳහා අවශ්‍ය වන්නේ දකින දකින දේ මිලදී නොගැනීමට තරම් වූ ස්වයං විනයකි. ආර්ථිකව සාර්ථක වූ පුද්ගලයෙක් සතුව අනිවාර්යයෙන් ම ස්වයං විනයක් පවතී.

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.