නොකා නොබී නිදිවරාගෙන ටී-ෂර්ට් මැසීමෙන් මම සාර්ථක වුණා

ඔක්තෝබර් 30, 2019

කළුතර ත්‍රීමා ටෙක්ස් හිමිකාරිණිය තිළිණි

“සල්ලි කියන්නෙ මොනවගේ දෙයක්ද කියලා වෙලාවට හිතෙනවා. මේ තිබෙනවා. මේ නැහැ. ඒත් ඉතිං කාටවත් අතපාන්නෙ නැතිව ඉන්න පුංචි මුදලක් හරි අතේ තියෙනවා නම්.... එය කෙතරම් වටී ද?” මෙහෙම කියන්නෙ කළුතර තිළිණි ප්‍රබෝධි.

ඇය කියූ දේ ඇගේ දිරිය කතාව ඇතුළේ තිබෙනවා. අපි ඒ ගැන ඇගෙන්ම විමසා බලමු.

“ඇත්තටම මම නම් කැමැතියි මගෙ මහත්තයාටවත් අතපාන්නෙ නැතිව ජීවත් වෙන්න. ඒකෙන් එයාට වදයකුත් නැහැ. හැම බිරියක්ම මෙහෙම හිතලා පුංචිම පුංචි ස්වයං රැකියාවක් හරි කරනවා නම් වඩාත් සුදුසුයි. එයට හේතුව හැමෝටම රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් ලැබෙන්නෙ නැති කමයි. ඒත් එහෙම කියලා කාන්තාවන් ගෙදර දොරේ රාජකාරිවලට සීමා විය යුතු නොවෙයි.

සැමියාගේ ආර්ථිකයට සවියක් වගේම තම පවුලට ලොකු ශක්තියක් විය හැකියි. විශේෂයෙන් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට අපේ රට ගොඩනගන්න කාන්තාවගේ දායකත්වයත් අවැසිමයි. මම ඇඳුම් මැසීමට හුරු වුණේ එලෙසිනුයි.

මට මගේ ගෙදරින් රැකියාවක් කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. විවාහයෙන් පස්සේවත් ඒ තත්ත්වය වෙනස්වුණේ නැහැ. ඒත් ගෙදරට වී නිකරුණේ කාලය ගත කරන එක හරි අපරාධයක්. එහෙම හිතපු මම ඇඳුම් මහන්න පටන් ගත්තා. පාසල් යන කාලයෙත් ඒ පාසල් නිල ඇදුම මසා ගැනීමේ හැකියාවක් මට තිබුණා. ඒක මගේ මවගෙන් ලැබුණු දායාදයක්. කොහොම හරි මම ටී ෂර්ට් මහන්න පුරුදු වුණා. විශේෂ පාඨමාලා කිසිදෙයක් කළේ නැහැ. ගෙදර තිබුණ පරණ ඇඳුම් ලෙහලා බලලා තමයි පුරුදු වුණේ. ඊට පස්සෙ හල්දුමුල්ල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙන් පතරොම් රහිත නිමි ඇඳුම් පාඨමාලාවක් හැදෑරුවා. ඊට පස්සෙ තමයි ව්‍යාපාරයක් විදිහට කරන්න හිතුවේ.

 

2019/10/30 තරුණි පුවත්පත බලන්න