ඔබේ ස්වයං රැකියාව ව්‍යාපාරයක් ලෙස දියුණු කිරීමට නම් ආරම්භයේ දී ඇති උනන්දුව අවසානය තෙක් තිබිය යුතුයි

ගීමාල් නිෂ්පාදන හිමිකාරිණිය ගීතිකා සුභාෂිණි
මාර්තු 18, 2020

ජීවන වියදම ගැන සන්තාප වනවාට වඩා පවුලේ ආදායම වැඩිකර ගැනීමට වෙහෙසීම නුවණැති පිළිවෙතයි. ඒ නිසාම නිවෙසේ ගෘහණිය වූ ඔබටත් අමතර ආදායමක් ඉපැයීම ගැන සිතන්නට වෙනවා. තරුණි වෙතින් මේ දිරිය ලබාදෙන්නේ ඒ වෙනුවෙනි.

ඇය ගීතිකා සුභාෂිණී

අංක 27, දෙවැනි අදියර, කොටිගල වත්ත, දික්කුඹුර, අහංගම පිහිටි ‘ගීමාල් නිෂ්පාදනවල හිමිකාරිණියයි.

මිරිස් කුඩු, තුනපහ කියන්නෙ අපේ ගෘහණියන්ට නිවෙසේදීම හදාගන්න පුළුවන් දෙයක්.

ඒත් ඉතින් අද කාලේ කාන්තාවන්ට ඒවාට කොහෙන්ද වෙලාවක් ? එහෙම මැසිවිලි නඟන අය හරිම ලෙහෙසියෙන් පහසුවෙන් වෙළෙඳ පොළෙන් මේ තුනපහ පැකට් මිලදී ගන්නවා.

එහෙම කාන්තාවන් අතර ඇය සැබෑම සම්පතක්.

ඇය මේ මිරිස් තුනපහ සාදන්නේ ඇගේ නිවෙසේදීමයි. ඒවා තම පවුලේ පරිභෝජනයට මෙන්ම අනෙක් අය වෙනුවෙන් ද නිෂ්පාදනය කර අලෙවි කරනවා.

එය කියන තරම් පහසු කටයුත්තක් නම් නොවේ. ඇය ආ ගමන් මඟ මල් මාවතක් ද නොවේ. එහෙත් උනන්දුව, උත්සාහය, නොපසුබස්නා වීර්යය හමුවේ මේ දිරිය කත ජීවිතය ගොඩනංවාගෙන තිබේ.

“මගේ තාත්තා ලියුම් බෙදා හරින්නෙක් ලෙස සේවය කළ අයෙක්. අම්මා කුලී ඇඳුම් මැසූ මැහුම් ශිල්පිනියක්.

මේ ලැබුණ ආදායමෙන් තමයි මමයි, මල්ලියි ජීවත් කළේ. අද අපේ දරුවන් වෙනුවෙන් තිබෙන හැමදේම ඒ කාලේ අපට තිබුණේ නැහැ. ආර්ථික අපහසුතා එමටයි.

උසස් පෙළට පන්ති යන්න අතේ සල්ලි තිබුණෙ නැහැ. ඉතින් මම මුදල් ඉපයිය හැකි යමක් කළයුතු යැයි නිතර කල්පනා කළා.

ඊට පස්සෙ තමයි අයිස් පැකට් කිරීමට යොමුවුණේ. එතකොට මම උසස් පෙළ පන්තියේ. කොහොමහරි මගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් හොයාගත්තෙ එහෙම අයිස් පැකට් හදලා.

මෙයට හොඳට ඉල්ලුම තිබුණා. ඒ නිසා මගේ තාත්තා මැදිහත් වී 1998 වසරේදී ‘ගීමාල් නිෂ්පාදන’ ලෙස මගෙ මල්ලිගෙ නමින් මෙය ලියාපදිංචි කළා.

පුංචි ව්‍යාපාරයක් ලෙස වැඩි දියුණු කරන්න හිතාගෙන මිරිස් කුඩු, තුනපහ, ගම්මිරිස්, කහ කුඩු වගේ නිෂ්පාදන පැකට් කිරීම ආරම්භ කළා. හැමෝගෙම ආශීර්වාදය මැද පුංචියට ඇරැඹූ ස්වයං රැකියාව දියුණු වුණා.

ස්වයං රැකියාවලට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් හොඳ සහයෝගයක් ලැබෙන බව දැනගන්නට ලැබුණා. එබැවින් ඒ සඳහා ද මා යොමු වුණා.

 

2020/03/16 තරුණි බලන්න