සත තිහකට තල කැරැල්ලක් එතූ මම

අද මගේම තල කැරලි නිෂ්පාදනය කරනවා
ජුනි 10, 2020

නොපසුබට වීර්යයෙන් ජීවිතය ජයගත් සරසවි සිසුවිය ශර්මි

විශ්ව විද්‍යාල උපාධියක්...

මේ අධ්‍යාපනය ලබන වයසේ පසුවන දරු දැරියන්ගේ ලොකුම සිහිනයයි. ඇත්තටම උපාධියක් ලබා ගන්නවා කියන්නේ කෙනකුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. එහෙත් එය හිතන තරම් ලෙහෙසි නැහැ. ඉගෙනුමට ඇති හැකියාව, ආසාව, උනන්දුව සියල්ල එක්තැන් විය යුතුයි.

දිවා රෑ නොතකා වෙහෙස වී , රෑ පුරා නිදිවරා පාඩම් කරමින් මේ ඉලක්කයට ගියත්, ජීවත් වෙන්නට දුක් ගැහැට විඳින්නට සිදුවන්නේ නම් මොන ඉගෙනුමක්ද? එහෙත් සිතේ සවිය, අධිෂ්ඨානය සමඟ අප්‍රතිහත ධෛර්යය නිසා අධ්‍යාපනයේ සරසවි කඩඉම ජයගෙන අවසානයේ ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනඟා ගන්නට සමත්වුණු තවත් එක් දිරිය දියණියක් ගැනයි මේ සටහන.

දෙහිගස්පෙ, පිටබැද්දර පදිංචි මයුරි ශර්මිලා දියණිය ලක්ෂ සංඛ්‍යාත සිසු සිසුවියන් අතරින් සරසවි වරම් ලබන්න තරම් වාසනාවන්තියක වුණා.

ඇය රුහුණු විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ සිවුවන වසරේ ඉගෙනුම ලබයි. බොහෝ සරසවි දරු-දැරියන්ට ඇත්තේ තම ඉගෙනුම් කඩ ඉම ජය ගැනීමට පමණි. එය ආශ්‍රිත නිබන්ධන පිළියෙල කර ගැනීම පමණි. එහෙත් ශර්මිට සිදු කරන්නට ඇති කර්තව්‍යයන් බොහෝය. ඇගේ මව සහ පියා දෙදෙනාම අසනීපයෙන්. ඔවුන්ට රැකියාවක් කරන්නට ශක්තියක් නොමැත. එහෙත් පැමිණෙන බාධක හමුවේ නොසැලී ඒවාට මුහුණ දෙන්නට තරම් ආත්ම ශක්තියකින් හෙබි ඇය අසල ඇති කර්මාන්ත ශාලාවල දෛනික වැටුපට වැඩට යන්නට වූයේ ලැබෙන හැම සතයක්ම වටිනා නිසා. ඒ ලැබෙන සුළු මුදලෙන් අම්මා තාත්තාගේ බෙහෙත් හේත් වලට, කෑම බීමවලට තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට මුදල් පිරිමහ ගනිමින් ඇය ජීවිතයට මුහුණ දුන්නා.

"මම අපේ ගම ( පිටබැද්දර ) අවට රස කැවිලි නිෂ්පාදනාගාර කීපයකම වැඩට ගියා. වෙහෙස බලන්නේ නැතුව දෙන හැම වැඩක්ම කළා. ඒවායින් හොඳ පන්නරයක් ලැබුණා. රස කැවිලි හදන්නේ කොහොමද? ඒවා ඔතන්නේ කොහොමද? ප්‍රමිතිය, කල්පැවැත්ම, වෙළෙඳපොළ හඳුනාගැනීම වැනි රසකැවිලි නිෂ්පාදනයට අවශ්‍ය මේ සියල්ල පිළිබඳ අවබෝධයක් ඇතිකර ගත්තා. මෙහෙම වසර කීපයක්ම සරසවියට යනවා. නැවත ඊළඟ දවසේ රස කැවිලි එතිමේ රාජකාරියට යනවා. අම්මා තාත්තා එක්ක බෙහෙත් හේත් ගන්න යනවා. මේ තමයි මගේ ජීවන චක්‍රය වුණේ. මගේ වයසේ සරසවියේ සිටි හෙහෙළියන් බොහෝ දෙනෙක් විලාසිතා රුසියෝ. ඒත් ඒවා මට හීනයක් පමණක් වුණා. දවස් හතට මට අඳින්න එක එක පාට ඇඳුම් නැහැ. ඒ නිසා තියෙන ඇඳුම් දෙක තුන පිරිසුදුව සෝදලා අයන් කරලා අඳින්න පුරුදු වුණා. මෙහෙම ඉන්නකොට මගේ ලොකු අම්මා මට එයාලගෙ ගෙදර නවතින්න ආරාධනා කළා. වයසට වඩා වැඩි වගකීමක් දරන මට ලොකු අම්මාගේ ආරාධනය සතුටක් වුණා. මම බෙලිඅත්තේ ලොකු අම්මලාගේ ගෙදර ගියා.

 

2020/06/08 තරුණි බලන්න.