රුපියලක්වත් අතේ නැතිව පයින් ගිය මම අද යන්නේ කාර් එකෙන්

අද මගේම කියලා කේක් ව්‍යාපාරයක් තියෙනවා
ජූලි 22, 2020

දෙවිඳු කේක් ගෙනෙන නිරේෂා

‘අපි ගොඩක් දුක් මහන්සියෙන් ජීවත් වුණු පවුලක්. මගේ තාත්තා කඩේක වැඩ කළේ. අනුන්ගෙ කඩේක බඩු කිරන කොට අනේ මටත් කඩයක් දාගන්න තිබුණානම් කියලා අපේ තාත්තාට දහස් වතාවක් හිතෙන්න ඇති.

තාත්තාට ඕන වුණේ මට උගන්වලා දුක් විඳීන්නේ නැතිව ජීවත්වෙන්න පුළුවන් අනාගතයක් හදන්න. තාත්තා මාව බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික පාසලට ඇතුළත් කළෙත් හොඳ අධ්‍යාපනයක් දෙන්නටයි. නමුත් දෛවය ලියැවී ඇති පරිදි සියල්ල විසඳෙනවා. අද කොමහරි මම සාර්ථක ව්‍යවසායිකාවක්.

අංක 45/4/2 වල්පොල, මුල්ලේරියාව නව නගරය, අංගොඩ ලිපිනයෙහි පිහිටි දෙව්ලි කේක් හවුස්හි හිමිකාරිණිය නිරේෂා මුතුමාලී ඇගේ කතාව පටන් ගත්තේ එලෙසිනි.

‘‘මම පවුලේ එකම දරුවා. එහෙම වුණත් සැපවත් ජීවිතයක් උරුම වුණේ නැහැ. අපේ පවුල ගොඩගන්න අම්මා මම කුඩා කාලෙම විදෙස් ගත වුණා. මම ඉගෙන ගත්තේ අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා විතරයි. අම්මයි තාත්තයි ජීවත් වෙන්න කරන සටන දැක්ක නිසා මට ඕන වුණා මුදල් උපයන්න. ඉතින් මම නෑදෑ වෙන නැන්දා කෙනෙක් ළඟ කේක් හදන්න පුරුදු වෙන්න ගියා. මගේ හිත රූපලාවණ්‍ය පැත්තටත් කැමැත්ත තිබුණා. ඔය අතරෙම රූපලාවණ්‍ය පාඨමාලා කරන්න හිතුවේ ඒ නිසා. මම රූපලාවණ්‍ය පාඨමාලා කිහිපයක්ම කළා. තිරාණි පීරිස්, ප්‍රේමසිරි හේවාවසම් වැනි රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන්ගෙන් ගුරුහරුකම් ලැබුවා. අම්මයි තාත්තයි අපේ පවුල ජීවත් කරන්න දරන උත්සහයට මටත් අත්වැල් සපයන්න ඕනෙකමක් තිබුණා. ඉතින් මම පුංචි රූපලාවණ්‍යගාරයක් විවෘත කළා. මම ලස්සනයි කියලා හැමෝම වගේ කියනවා. මම රූපලාවණ්‍යය ශිල්පිනියක් විදිහට ආකර්ෂණීයව ඉන්න නිතරම උත්සාහ කළා. මේ කාලයේදීම නෑදෑ කෙනකුගේ විවාහ මංගල්‍යයකට මම සහභාගී වුණා. ඒක දෛවෝපගත සිදුවීමක්. එදා මට මගේ ජීවන සහකරු මුණගැසුණා. ඔහු නුවර පේරාදෙණියේ පදිංචි සුරංග මදුසංඛ. මහනුවර පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. අපි විවාහ වුණා. අපේ විවාහයෙන් පසුව ඔහුත් මගේ රූපලාවණ්‍යගාරයට සහයෝගය ලබා දුන්නා. ටික දවසකින් මම ඔහට කොණ්ඩා කැපීම පිළිබඳ පුහුණුවක් ලබා දුන්නා. ඒ අනුව ඔහු රැකියාවෙන් ඉවත් වී මගේ රූපලාවණ්‍යගාරයේ කොටසක සැලුන් එකක් දැම්මා. මේක දියුණු කර ගන්න හිතාන ඔහු විදෙස්ගත වීමට සියල්ල සූදානම් කළා. ඒත් හදිසියේම මා අසනීප වුණා. ඒක ඇඟේ රුධිර මට්ටම ඉහළ පහළ යන ලෙඩක්. ඔහු විදෙස් ගත වීමේ බලාපොරොත්තුව අතහැරලා මාව සුවපත් කිරීමට වෙහෙසුණා. ඒ අසනීපය නිසා අපි අතේ තිබු මුදල් සියල්ල වියදම් වුණා. අපි ගොඩක් අසරණ වුණා. අපි කොයිතරම් අසරණ වුණාද කියනවානම් මගෙ රූපලාවණ්‍යගාරයත් වැහුවා.

අපේ හිතවකුට රාජගිරියේ පේස්ට්‍රි ෂොප් එකක් තිබුණා. ඔහු අපිට උදව්වක් ලෙසින් එය ලබා දුන්නා කරගෙන යන්න. ටික කාලයක් මේක කරගෙන ගියා. ඒත් ඒ ගොඩනැගිල්ල අයිතිකරු අපිට එයින් ඉවත් වෙන්න කිවුවා. අපි කබලෙන් ළිපට වැටුණා කිව්වොත් හරි. ආයෙත් අපිට කරගන්න දෙයක් නැති වුණා. ජීවත් වෙන්න විදිහක් නැති තැන මහත්තයා අඳුරන යාළුවකුගේ ත්‍රීවිලරය ඉල්ලාගෙන මාස කිහිපයක්ම ඒක හයර් කළා. සමහර දවස්වලට ගමනක් යන්න ඕන වුණාම අතේ රුපියලක්වත් නැතිව පයින්ම යනවා. ඒත් කොහොම හරි දුක්විඳලා සල්ලි එකතු කරගෙන අපි අපේම ත්‍රීවිලයක් ගත්තා. කොයිතරම් දුක් වින්දත් අපි සතුටින් හිටියා. මේ කාලයේදී තමයි අපිට දුවෙක් ලැබුණේ. දෙව්දුනී දියණිය අපේ පවුලට වාසනාව ගෙනවා.

ආයෙත් මම සැලෝන් එක දැම්මා. ඒත් ටික කාලයයි ගතවුණේ නැවත මගේ අසනීපය මතුවුණා. මෙහෙම ඉන්නකොට ගමේ පන්සලට කුඩා ව්‍යාපාර අංශයෙන් ඇවිත් වැඩසටහන් පැවැත්වූවා. එහි සූප ශාස්ත්‍රය වැඩමුළුව මගේ සිත් ගත්තා. ඒ වැඩමුළුව අවසානයේ පැවැත්වු තරගයට මම කේක් නිර්මාණයක් ඉදිරිපත් කළා. මම කොහෙත්ම බලාපොරොත්තු නැති විදිහට මට සූප ශ්‍රාස්ත්‍ර තරගාවලියේ ප්‍රථම ස්ථානය හිමිවුණා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ එදා. ජයග්‍රාහී තිළිණය ලෙසින් රු.15000 ක් ලැබුණා. ඒකෙන් මම අවන් එකක් ගත්තා.

පසුව මම 'දෙවිඳු හෝම් මේඩ් කේක්' නමින් කේක් ෂොප් එකක් පටන් ගත්තා. උපන් දින, විවාහ මංගල උත්සව, ප්‍රිය සාද සඳහා කේක් නිර්මාණය කරනවා. කප් කේක්, බටර් කේක් ද මේ මේ හැම දෙයක්ම හදනවා.

මගේ සැමියාට කොළඹ තරු පහේ ප්‍රසිද්ධ හෝටලයක රියැදුරෙක් ලෙස රැකියාවක් ලැබුණේ මේ අතරයි. ඊට පස්සේ අපි ටිකෙන් ටික දියුණු වුණා.

අපි අපේම කියලා අංග සම්පූර්ණ ගෙයක් හැදුවා. ත්‍රීවිලය විකුණා නවීන මෝටර් රථයක් ගත්තා. දැන් පුංචි දෝණි හොඳීන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. අම්මා, තාත්තා සතුටින් ඔවුන්ගේ සැඳෑ සමය ගත කරනවා.

ඇත්තෙන්ම අසීමිත උත්සාහයෙන් කැපවීමේ බලය අද මා අත්විඳීනවා. අනුන්ගෙ කඩේක බඩු කිරපු තාත්තා මගේ කේක් ෂොප් එක දෙස ආසාවෙන් බලා ඉන්නවා.

කුලියට ත්‍රීවිල් හයර් කළ මගෙ සැමියා කාර් එකක අපිව ගමන් ගෙනියනවා. මේ සියල්ල අත් විඳීන මම ජීවත් වෙනවා කියලා දැන් දැනෙනවා. ඒ සතුට වචන වලින් කියන්න බැහැ. ඔබත් පුංචි රුපියල් සීයකින් හෝ ස්වයං රැකියාවක් කරන්න පටන් ගන්න. වරදීවි. පරදීවි. ඒත් උත්සහය අත් හරින්න නම් එපා. මොකද කොයිතරම් වැරැදුනත් ජයග්‍රහණය අපි ළඟම තියෙනවා.

 

 

2020/07/22 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.