පුතාගෙ හෙට දවස වෙනුවෙන් මගේ ජීවිතය කැප කරනවා

කොස් ආශ්‍රිත නිෂ්පාදන වලින් ජීවිතය ගැට ගසා ගන්නා නදීකා
අගෝස්තු 5, 2020

 

“අම්මා.... අනේ අම්මා මා ළඟට එන්නකෝ. මම හීනයක් දැක්කා. මට බයයි.” පුංචි කිරිකැටි පුතු නදීකාව බදාගෙන කෑ ගැසුවා. ඇය පුංචි පුතුගේ හිස පිරිමැද නළලතට හාදුවක් දුන්නා.

“මගේ පුතාට අම්මා ඉන්නවානේ. පුතා බයවෙන්න එපා.” මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අලපලාදෙනිය පදිංචි නදීකා දිල්රුක්ෂිගේ කතාවයි මේ.

දරුවකුට ජීවිතයේ ලොකුම ආරක්ෂකයා අම්මායි තාත්තයි. ඒ දෙදෙනාගෙන් එක් අයකුගේ හෝ රැකවරණය ගිලිහී ගිය කල දරුවා අසරණ වේ. ඇතැම් දරුවන්ට මානසිකව ද බලපානු ඇත. මේ පුංචි පුතාට දැන් ඇත්තේද අම්මාගේ ළබැඳි සෙනෙහස පමණි. තවම තුන් හැවිරිදි සුරතල් වියේ පසුවන මේනික මෙත්මල් පුතුගේ අනාගතය ලස්සනට ගොඩනගන්න මේ අම්මාටත් දහසක් බලාපොරොත්තු ඇති.

ළාබාල වියේ පසුවන ඇය ඇගේ රූපය ගැන ඇඳුම් පැලඳුම් විලාසිතා ගැන ඇති උනන්දුව පසෙකටලා පුතු වෙනුවෙන්ම දිරිය කාන්තාවක් ලෙසින් තම ජීවිතය ජීවත්කරලීමට කටයුතු කරයි. මේ තවත් එක ආදරණීය දිරිය දියණියකගේ සැබෑ කතාවකි.

“මම අලපලාදෙනියේ උපන් කෙනෙක්. මගේ පවුලේ හත් දෙනෙක්. ඒ කියන්නෙ මට නංගිලා තුන්දෙනයි. මල්ලිලා තුන්දෙනයි. මම පවුලේ වැඩිමහල් දියණියයි. අපේ අම්මා තාත්තා තේ වතු හිමිකරුවෝ. දරුවෝ හත්දෙනෙක් කියලා අඟ හිඟකම් ඇති නොවුණේ එයාලට හොඳ ආදායමක් තිබුණ නිසයි. මගේ පුංචි කාලය හරිම සුන්දරයි. බාල නංගිලා, මල්ලිලා එක්ක හරිම සතුටින් ගෙවුණ කාලය මතක් වෙද්දී ඇහැට කඳුළු උනනවා. ගෙදර වැඩිමහල් දියණිය නිසා ඉවුම් පිහුම් කලාවට තරමක් උනන්දු වුණා. මට මතකයි අ. පො. ස. සාමාන්‍ය පෙළ කාලයේදී මම හදපු කෑම පාසල් පොළේ විකිණුවා. එදා මට ගුරුවරුන්ගෙන් ඉහළ ඇගයීමක් ලැබුණා. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව මම මැලේසියාවේ රැකියාවකට ගියා. වසර තුනකින් පසුව නැවත ලංකාවට ආවා. ඉන්පසුව පිටබැද්දර පිහිටි පෞද්ගලික ආයතනයක අලෙවි අංශයේ සේවය කළා. මාස තුනක් සේවය කළත් මට රු. 4000 ක් පමණයි ලැබුණේ. මට ඒ රැකියාව ගැන කළකිරුණා.

ඔවුන් මගේ ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දුන්නේ නැහැ. මේ රැකියාවට යන අතරමඟදී තමයි රසික අයියා මුණ ගැසුණේ. අපේ ඇසුර විවාහය දක්වා ගියා. විවාහයෙන් මා ඔහුගේ මහ ගෙදර පදිංචියට ගියා. ඒ අම්මයි තාත්තයි මට මගේ මවුපියන් වගේමයි. අදටත් මගේ සියලු කටයුතු සොයා බලන්නේ ඒ මවුපියන්. සැමියා රැකියාවට ගිය විට මට මහත් පාළුවක් කාන්සියක් දැනුණා. මම ගෙවත්තේ පුංචි ගම්මිරිස් පැළ තවානක් දැම්මා. දිනෙන් දින ඒක සරුසාර වුණා. ඒත් ඒක තවදුරටත් කරගෙන යාම අභියෝගයක්. එය නවතා දමා මොරවක ගුරු දැවුල ෆාම් එකෙහි වැඩ පරීක්ෂක ලෙස රැකියාව කළා. මේ කාලයේ මට පුතා ලැබුණා. පුතා ගෙදර තියලා රැකියාවට යන්න හිතක් දුන්නෙ නැහැ. ඒත් කුමන හෝ ස්වයං රැකියාවක් කළ යුතුයි. මගේ හිත නිතරම මට කීවා.

දවසක් මම ප්‍රාදේශීය කාර්යාලය මඟින් පවත්වපු ආහාර විජලන තාක්ෂණය පිළිබඳ වැඩමුළුවකට සහභාගී වුණා. ඒක මාව වෙනම පැතිකඩකට ගෙන ගියා. මගේ සැමියාගේ උදවු උපකාරයෙන් ගමේ ඉවතලන කොස්, දෙල් වගේ ආහාර විජලනය කර අලෙවි කිරීම ආරම්භ කළා. ඔහු ආහාර විජලන යන්ත්‍රයක් මට ගෙනත් දුන්නා.

අපි අපේ පවුල සතුටින් ගෙන ගියා. එහෙත් අවාසනාවකට අද මගේ සැමියා පවුලෙන් දුරස්වෙලා. මගෙ මුළු ජීවිතයම සැමියා සහ පුතුයි. ඒත් අද මා පුතු සමඟ තනිවුණා. තනි ගැහැනියකට දරුවකු සමඟ ලොකු ගමනක් යන්න අමාරුයි. අපිව අවබෝධ කරගෙන පුංචි පුතා වෙනුවෙන් හෝ ඔහු නැවත එතැයි මා බලා ඉන්නවා.

එතෙක් මා මේ පුංචි ස්වයං රැකියාව කරගෙන යනවා.

කොස්වලට අමතරව තිබ්බටු, ගොටුකොළ, මුරුංගා වගේ දේවල් විජලනය කරනු ලබනවා. මෙය තව තවත් සාර්ථක කරගෙන පුංචි පුතාට හොඳින් උගන්වා යහපත් පුරවැසියකු කිරීම මගේ එකම බලාපොරොත්තුවයි. ජීවිතයේ අසරණ වූ මොහොතක මෙවැනි දෙයකට හෝ යොමුවීම එක් පැත්තකින් මානසික සහනයක් යැයි මා සිතනවා.”

 

2020/08/05 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.