ජපන් ජබරවලින් බෑග් නිෂ්පාදනය කරන දිරිය කත නිලූකා

අගෝස්තු 19, 2020

 

"අල්ලපු ගෙදර නයනිලා බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් අරන්. සමන් අපිත් ලෝන් එකක් දාලා ඒවගේම කාර් එකක් ගනිමු."

" නීශාගෙ අතේ තියෙන වළලු දෙක නියමයි. මම ගංගාගෙන් පොළියට සල්ලි ගත්තා ඒ වගේම වළලු ජෝඩුවක් හදා ගන්න."

" තනි තට්ටුවෙ ගෙවල් දැන් කාලෙට මැච් වෙන්නෙ නැහැ. ඉඩම උකස් කරලවත් ගෙයි තට්ටුව ගහගන්න ඕනෙ."

මේ අපූරු කියමන් ටික අද කාලෙ බොහෝ කාන්තාවන්ගේ අරුමෝසම් බලාපොරොත්තුයි. එවැනි පුහු ආටෝප, වෛවර්ණ හීනවල ජීවත් වන්නවුන් ඕනෑ තරම්. තමන්ගෙ අතේ ඇති මුදලින් දියුණු වෙන්න උත්සහ දරන අය එවැනි හීන ලෝකවල අතරමං වෙන්නෙ නැහැ. රුපියලෙන් රුපියල එකතු කරලා තම බලාපොරොත්තු කරා ළඟා වෙනවා. ඔවුන් කිසිවකුට ණය වන්නෙත් නැහැ. තම උත්සාහයෙන් එලෙස නැගී සිටි දිරිය කතක් පසුගියදා අපට හමුවිය. ඇය නිලූකා ජයන්ති. කුරුණෑගල ගල්ගමුව, ඇහැටුවැව පදිංචි ඇය ජපන් ජබර ආශ්‍රිත බෑග් නිෂ්පාදනය කරන්නීය. ජපන් ජබර කියන්නේ ප්‍රයෝජනයක් ගත නොහැකි කරදරකාරී ශාකයක් විදිහට තමයි අපි දන්නේ. ජපන් ජබර වලින් බෑග් නිෂ්පාදනය කරනවා කියන කොට එතනම අලුත් දෙයක්, අමුතු දෙයක් තිබෙනවා. ලෝකය වෙනස් කරන්නේ අනෙක් අයට වඩා වෙනස්ව හිතලා වැඩ කරන මිනිසුන් නිසා බව අප දන්නවා. ඇයත් එවැන්නියක් ලෙස හඳුන්වා දෙන්නට අපි කැමැතියි. මේ ඇගෙ දිරිය කතාවයි.

මෙය තරුණී වෙතින් ඔබට කියන්නේ ඇගේ කතාවෙන් ඔබේ දිවියට ආදර්ශයක් ලබා ගැනීමටයි.

''මම ඉපදුණේ මහව ගල්ගමුව ගමේ. අප්පච්චී වඩු කාර්මික ශිල්පියෙක්. වැඩි මහල් සොහොයුරන් තිදෙනකුගේ සහ එක් බාල සොහොයුරියකගේ ආදරයක් එක්කයි මා හැදී වැඩුණේ. මට වයස අවුරුදු 16 දී අප්පච්ච් නැති වුණා. එය මගේ ජීවිතයේ ලොකු කඩා වැටීමක්. ඒත් අයියලා තුන්දෙනා අප්පච්චිගෙ අඩුව දැනෙන්නට දුන්නේ නැහැ. මට ඉගෙන ගන්න උදවු කළා. මා උසස් පෙළ හැදැරුවේ වාණිජ අංශයෙන්. එහෙත් තව දුරටත් අයියලාට බරක් වෙන්න හිත දුන්නෙ නැහැ. උසස් පෙළ ගමන අතර මඟදී නතර කළේ ඒ නිසා.

මම ගමේ තිබුණු ඇඟලුම් නිෂ්පාදන ආයතනයක රැකියාවට ගියා. ඒ යන අතර වැඩිදුර ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හැඳෑරීම් කළේ කවදා හරි ජීවිතයට එයින් ප්‍රයෝජනයක් වෙන බව දන්න නිසයි. පසුව මාලදිවයිනට ගොස් ඇඟලුම් අංශයේම වසර දෙකක රැකියාවක් කළා. 

2020/08/19 තරුණි බලන්න.