ස්වයං රැකියාව වෙස්වලාගත් ආශිර්වාදයක් කරගත් නුවර දිනුෂා පරණවිතාන

පෙබරවාරි 24, 2021

 

අද බොහොමයක් ව්‍යාපාර ආරම්භ කරන්නේ ලාබ ලැබීම පමණක් අරමුණු කරගෙන. ව්‍යාපාර අතරමග කඩාවැටෙන්න බලපාන සෘජු හේතුව වන්නෙත් එයමයි.

හුරුපුරුදු වෙළෙඳසල්වලට, ඇදී ගිය සෙනඟ යළි පය නොතබන්නට තීරණ ගැනීම අද බොහොමයක් තැන්වලට පොදු කරුණකි. එය එසේ වන්නට හේතුව ඔවුන්ගේ ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් දියුණු වීගෙන එද්දිම බඩුවල ඇති ගුණාත්මකභාවය පහළ හෙළීමයි. එතැනින් විතරක් ඔවුන් නතර වන්නේ ද නැහැ.

ගුණාත්මක බවින් අඩු භාණ්ඩයේ මිල වැඩි කිරීමට ඔවුන් දෙවරක් සිතන්නේ ද නැත.

එහෙත් සැබෑ ව්‍යාපාරිකයකු එසේත් නැතිනම් දක්ෂ ව්‍යවසායකයකු එසේ නොවෙයි. ඔහු හෝ ඇය තම ව්‍යාපාරයේ අභිවෘද්ධිය උදෙසා අප්‍රමාණ වෙහෙසක් දරයි. හොඳම දේ පහසු මිලට පාරිභෝගිකයාට පිරිනමයි. එය ව්‍යාපාරයේ පැවැත්ම ස්ථිර කිරීමට කදිම ආශීර්වාදයකි

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා එකතු වී එහි සේවාවන් ලබා ගනිමින් ජීවිතය ජය ගත් දිරිය කතුන් සොයා යන ගමනේදී අද අපට හමුවූයේ නුවර දිනුෂා පරණවිතාන යි.

වසංගතය හමුවේ ඇයටත් මුහුණ දෙන්නට වූ දුක් කම්කටොළු එමටය. හෝටල් ක්ෂේත්‍රයේ රැකියාව කළ සැමියාට සුපුරුදු වැටුප නොලැබී ගියේය. එහෙත් පවුලේ කඩා වැටුණ ආර්ථිකය යළි ගොඩනැඟිය යුතුව ඇත. ඔවුනට යන්තමට හෝ අස්වැසිල්ලක් වී ඇත්තේ ඇය කළ ස්වයං රැකියාවයි.

“ඇත්තටම රැකියාවක් නොකරන ගෘහණියක් යම්කිසි ස්වයං රැකියාවක නිරතවීමේ වටිනාකම මම දැන් අත්විඳිනවා. මගේ සැමියා හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් කළ අයෙක්. සැලකිය යුතු ඉහළ වැටුපක් ලැබුවා. එහෙත් කොරෝනා වසංගතය හමුවේ හෝටල් ක්ෂේත්‍රයේ ලොකු පසුබෑමක් ඇතිවුණා. සංචාරකයෝ ඒම නැවතුණා. අපේ ගෙදර ආර්ථිකය සෑහෙන පසුබෑමකට ලක්වුණා. ඒ වෙලාවෙ තමයි මම කරන ස්වයං රැකියාවේ වටිනාකම තේරුණේ. අද අපේ පවුලම ජීවත් කරන්නේ මගේ දෑතේ හැකියාවෙන්.

වැටි වැටී නැගිටපු මගේ ජීවිතේ අද මම ජීවන අත්දැකීම් ලබපු ගැහැනියක්. ඒ පන්නරයෙන් මාව වට්ටන්න කිසිවකුට බැහැ.

මම අපේ පවුලේ එකම දරුවා. එහෙම කියලා හැම සැප සම්පතක්ම මට ලැබුණේ නැහැ. කොහොම හරි ඉගෙනීම පිහිටියා. වානිජ අංශයෙන් උසස් පෙළට තේරුණා. ඒත් ඒකාලයේදීම මගේ අම්මා රෝගී වුණා. මගේ අම්මාගේ ජීවිතය බේරාගැනීමේ ලොකු සටනක මාත් තාත්තාත් නියැළුණා. එහෙත් දෛවය අම්මා අපෙන් ඈත් කළා. දුක් කරදර මැදින් උසස් පෙළ ලියා සරසවි වරම් ලැබුවා. එහෙත් තනිවූ තාත්තා රැකබලා ගැනීමේ වගකීම වෙනුවෙන් මා විශ්ව විද්‍යාලයට ගියේ නැහැ. මොන දේ වුණත් නිර්මාණශීලී හැකියාව මට තිබුණා. ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියන අදහසින් අත්කම් නිර්මාණ කරණයට යොමු වුණා. පැච්වර්ක් ඇප්ලික් රටා, පින්තාරු කලාව හරි අපූරුවට කරන්නට මට පුළුවන්. මම තාත්තාවත් බලාගෙන නිර්මාණ කරමින් සැලකිය යුතු ආදායමක් ලැබුවා. කලවයස හරි නිසා මට විවාහ වෙන්න සිදුවුණේ මේ කාලයේදී. අලුත් ජීවිතයක ආරම්භයත් සමඟින් අත්කම් නිර්මාණය මඟ හැරී ගියා. තරුෂි දියණියත් තරිඳු, තයෝෂ් පුතුන් දෙදෙනාත් වෙනුවෙන් කාලය කැප කළා.

දූ පුතුන්ගේ අධ්‍යාපනයට එදිනෙදා කටයුතුවලට සැමියාගේ වැටුප පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ. නැවතත් අත්කම් නිර්මාණකරණයට යොමු වෙන අදහස ආවේ ඒ නිසා.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට එකතුවුණේ මේ කාලයේදීයි. ඔවුන් මගේ කුසලතා වර්ධනය කිරීමට වැඩමුළු සඳහා සහභාගි කරවා ගනු ලැබුවා. නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ, ණය පහසුකම්, සන්නාම නාම ප්‍රවර්ධනය ආදී අංශයන්ගෙන් මා පරිපූර්ණ කළා. 2016 වසරේ ශිල්ප අභිමානි කුසලතා සම්මානය හිමිකර ගැනීම දක්වාම මට ශක්තිය වුණේ ඔවුන්.

නිර්මාණවලට සැලකිය යුතු ඉල්ලුමක් ඇතිවුණා. අපේම කියලා නිවහනක්, වාහනයක් ගත්තා. කාන්තාවක් සකසුරුවම් විය යුතුයි. ඒ ගුණය මා සතුයි. කොරෝනා වසංගතය හමුවේ අපේ පවුලේ ආර්ථිකය ශක්තිමත් වුණේ මා කළ ඉතිරියෙනි.

ඇත්තෙන්ම නිර්මාණශීලී ගැහිනියකට මුදල් හම්බකරන්න නිවෙසෙන් පිට රැකියාවකට යන්නම ඕනෙ නැහැ. මම ඔබට කියන්නේ ඔබ තුළද සිටින ඒ නිර්මාණශිල්පිනියට අවදිවන්නට ඉඩදෙන්න කියලයි