ව්‍යාපාරයට ආකර්ෂණීය නමක් යොදන්න

මාර්තු 17, 2021

නිර්මාණ එළි දැක්වීමේදී නව අත්හදා බැලීම් කරන්න

 

මතකයි නේද පසුගිය කලාපයෙන් Online බිස්නස් කරන්නෙ කොහොමද කියන විශේෂාංගයක් පටන් ගත්තා. එහි දිගුව තමයි මේ. මේ ක්ෂේත්‍රයේ සාර්ථක ව්‍යවසායිකාවක් වන CRAFT ARALIYA හි නිම්මි අරලිය මාපිටියගේ අදත් ඔබ වෙනුවෙන්, ඇයගේ දැනුම ලබාදීමට එක් වී හිඳිනවා.

“බොහොම දෙනෙක් කරන්නෙ අනුකරණය කිරීම. ඒක හොඳ දෙයක් නෙමෙයි. යමක් දිහා බලලා ආදර්ශයක් ගැනීම හොඳයි. එමඟින් අලුත් ව්‍යාපාරික අවස්ථාවක් මතුකර ගැනිමයි කළයුතු වන්නේ...”

එහෙම කියමින් නිම්මි කතාබහට එක්වුණා.

* ඔයාගෙ නිර්මාණ දකින කෙනෙක් කොහොමද ආදර්ශයක් අරන් වෙනස් ව්‍යාපාරයකට මුල පුරන්නෙ?

“හරියටම හරි.... මෙන්න තියනවා ඔයාට වුණත් කරන්න පුළුවන් බිස්නස් එකක්. මම අවශ්‍යකරන අමුද්‍රව්‍ය ගෙන්නා ගන්නෙ ඉන්දිියාවෙන්. කොරෝනා නිසා මාස කීපයක ඉඳන් ඒ දේ කරගන්න බැරි වුණා. පිටකොටුවට ගිහාම ලොකු කාලයක් වැය වෙනවා. මම වගේ නිර්මාණ කරන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඔබට පුළුවන් ඔන්ලයින් මාර්ගයෙන් ඇණවුම් ලබාගෙන අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය නිවෙසට ගෙනැවිත් දෙන්න. එතකොට ඔබට ව්‍යාපාරයක් ලැබෙනවා අපිට කාලය ඉතිරි වෙනවා. එහෙමයි හිතන්න ඕනෙ. නැතුව අනුකරණය නෙමෙයි.”

* එහෙමනම් කියන්න ප්‍රවේශයක් ගන්නෙ කොහොමද කියලා...

“පළමුව ඔබගේ කුසලතා පිළිබඳව ස්වයං අධ්‍යයනයක් කරන්න. එය නිෂ්පාදනයක් හෝ සේවාවක් විය හැකියි. ඉන්පසුව ක්ෂේත්‍රයේ තරගකාරී ව්‍යවසායකයන් පිළිබඳ හොඳ නිරීක්ෂණයක් කළ යුතුයි. ඉන්පසුව ඔබේ ව්‍යාපාරය නවතාවයකින් ඉදිරිපත්කිරීමට සැලසුම් කරන්න ඕනෙ. කුමන ව්‍යාපාරයක් ද යන ඉඟියක් සැපයෙන ආකර්ෂණීය නමක් යොදා ගන්න. ව්‍යාපාරයක සන්නාමය හරිම වැදගත්.”

*ඔබ මෙම ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

“උසස් පෙළ කරන කාලෙ. 2006 දි රුපියල් හත්සිය පනහකින් ආරම්භ කළේ. ප්‍රථම ගනුදෙනුව රිබන් එම්බ්‍රොයිඩරි මල් කිහිපයක්. එය ඉතාම සැලකිල්ලෙන් නිමා කළා. ඒ ආපු ගමන තමයි මේ. ඒ කාලෙ ඉතින් ඔන්ලයින් බිස්නස් තිබුණෙත් නැහැනෙ. වසර දාහතක කැපවීමේ සහ ඉවසීමෙන් වැඩ කිරීමේ සාර්ථකත්වය අද මම විඳිනවා.”

* හොඳයි, දැන් කියන්න බිස්නස් එක ඔන්ලයින් ක්‍රමයට අලෙවි කරන්නෙ කොහොමද කියලා.”

“මුලින්ම අවශ්‍ය කරන දේවල් ටික තියෙනවා. සමාජයේ ඔබ සතු සම්බන්ධකම් ඉතාම වැදගත්. සාම්පල් ටිකක් හදා ගන්න මුදලක්. අන්තර්ජාල සබඳතාවක් සහ එම පහසුකම සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක්.

දැන් ඔබ තෝරාගත් අංශයෙන් උසස්ම මට්ටමට සාම්පල් නිර්මාණ කිහිපයක් හදා ගන්න. අන්තර්ජාලය පරීක්ෂා කරල භාණ්ඩ අලෙවි කරන සේවා අයතන කිහිපයක් හඳුනා ගන්න. (ikman.lk වගේ) දැන් ඔබගේ වෙළෙඳ නාමය යටතේ තෝරාගත් වෙබ් විකුණුම් අඩවිවල ගිණුමක් හදා ගන්න. ගිණුම හදන විදිහත් පසුව කියා දෙන්නම්.

හදා ගත්තු සාම්පල්වල ඉතාම පැහැදිලි ඡායාරූප දුරකතනයෙන් ගන්න. අලෙවි කරන මිල තීරණය කරන්න. මිල සහ නිර්මාණයේ ස්වභාවය කෙටියෙන් සඳහන් කර ව්‍යාපාරය වෙනුවෙන් පමණක් යොදා ගන්නා ජංගම දුරකතන අංකයක් සමඟ විකුණුම් වෙබ් අඩවිවලට යොමු කරන්න. (Post) මෙම දුරකතන අංකයටම වට්ස්ඇප්, වයිබර්, ඉමෝ සහ ෆේස්බුක් ගිණුම් සාදා ගන්න. මෙම සෑම ගිණුමකම ව්‍යාපාර නාමය සහ වෙළෙඳ ලාංඡනය (logo) ප්‍රදර්ශනය කරන්න. මුල් සාම්පලවලින් පමණක් සෑහීමට පත් වෙන්නට එපා. නව අත්හදා බැලීම් සමග නිර්මාණ කර සෑම ගිණුමකම ඒවායේ ඡායාරුප සහ විස්තර යාවත්කාලීන කරන්න. (update)

පෙර සඳහන් කළ සමාජමාධ්‍ය ජාලා මිතුරන්ගේ උපකාරය ලබාගෙන ඔවුන්ගේ මිතුරන් වෙත ද බෙදා හරින්න. (Share) මුහුණු පොත තුළින් නිරතුරුවම නිර්මාණ එළිදැක්වීම සිදු කිරීම හරිම වැදගත්. එහිදී කෙටි ආකර්ෂණිය යෙදුම් භාවිත කරන්න.

ඒ වගේම තමයි ඔබගේ නිර්මාණවලට සම්බන්ධ අන්තර්ජාල කණ්ඩායම්වල (Group) සාමාජිකත්වය ලබාගන්න. ඔබගේ නිර්මාණවල සකස්කළ Post ඒවායේ (Group) හුවමාරු (Share) කරන්න. මේ අයුරින් අලෙවි ජාලයක් නිර්මාණය කරගන්නට පුළුවන්.”

*පෙන්වන්නේ එකක් ඇනවුම් කළාම ලැබෙන්නේ වෙනත් එකක් (බාල) කියන චෝදනාව නිතර දකින්න ලැබෙනවා...

“ඒ ප්‍රශ්නය ඉතාම වැදගත්. මෙය ඔබ සිදු නොකළ යුතුම දෙයක්. සමහරු අන්තර්ජාලයේ තිබෙන උසස් තත්ත්වයේ නිර්මාණවල ඡායාරූප තමන්ගේ වගේ පළ කරනවා. ඇණවුමක් ආවම තමන්ගේ ඒවා යවනවා. ඔබ කියන චෝදනාව නැඟෙන්නෙ එතකොටයි. ව්‍යාපාරයකදී එහෙම රැවටීම් කරන්න හොඳ නැහැ. ඒ ගමන කෙටියි. නිරන්තර අභ්‍යාසය තුළින් ඔබේ නිර්මාණවල තත්ත්වය උසස් කිරීමයි කළ යුතු වන්නේ.”

ගිණුමක් නිර්මාණය කිරීම, මිල තීරණය කිරීම, ඇසුරුම්කරණය, අලෙවි කරණයට අතරමැදියන් හඳුනා ගැනීම වගේ කාරණා පිළිබඳ ලබන සතියේදී කතා රමු.

 

 

උපදෙස් – වෘත්තිය පුහුණු උපදේශිකා, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

නිම්මි අරලියා

CRAFT ARALIYA