ඔන්ලයින් භාණ්ඩ අලෙවි කිරීමේදී ඇසුරුම්කරණයේ ඇති වැදගත්කම

අප්‍රේල් 7, 2021

 

ඔන්ලයින් මාර්ගයෙන් ව්‍යාපාරයක නිරත වීමේදී අත්‍යවශ්‍ය සුවිශේෂීී අංශ දෙකක් පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි මේ සූදානම් වෙන්නේ... ඒ තමයි ඇසුරුම්කරණය සහ මිල තීරණය කිරීම.

ඇසුරුම්කරණය සෑම නිෂ්පාදනයක් සඳහාම අවශ්‍ය නීතිමය වශයෙන් ද වැදගත් වන්නක්. මේ පිළිබඳ පවතින නීති රීතිවලට අදාළ වන්නේ 1968 වෙළෙඳ ප්‍රචාරණ පනත, 1980 අංක 26 දරණ ආහාර පනත, 1990 ආහාර පනත, 1993 ආහාර ලේබල් කිරීම සම්බන්ධ රෙගුලාසි යනාදියයි.

ලේබල් කිරීමේ පරමාර්ථ

01. භාණ්ඩය පහසුවෙන් හඳුනා ගැනීම.

02. භාණ්ඩය පාවිච්චි කිරීමේ උපදෙස් ලබාදීම.

03. නීතිමය අවශ්‍යතා සැපිරීම.

04. නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය දැක්වීම.

05. භාණ්ඩයේ අලෙවි ප්‍රවර්ධනය.

06. භාණ්ඩයේ පෙනුම සහ බාහිර අලංකරණය.

07. අනෙකුත් වෙළෙඳ භාණ්ඩ සමඟ තරගකාරි බව.

ඇසුරුම්කරණය කියන්නේ භාණ්ඩ ප්‍රවාහනය සහ අලෙවිය සඳහා සූදානම් කිරීමේ කලාවක්. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා නිෂ්පාදනයේ තත්ත්වය රැක ගනිමින් හා නිරුපද්‍රිතව රැගෙන යාම සහතික කෙරෙන මාධ්‍යයක් ලෙසත් පෙන්වා දෙන්නට පුළුවන්.

ලේබලයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.

01. ඇසුරුමෙහි ස්වභාවය.

02. ඇසුරුමෙහි නිමැවුම් ද්‍රව්‍ය.

03. මතුපිට ස්වභාවය.

04. නිෂ්පාදන යොමු කිරීමට

අපේක්ෂිත වෙළෙඳපොළ

මෙයට අමතරව ගබඩා කර තැබිය යුතු කාලය මෙන්ම ඇසුරුම්කරණයේදී යොදා ගන්නා ඇසුරුම් මඟින් භාණ්ඩය පාරිභෝගිකයා අතට පත්ව භාවිතයට ගන්නා තෙක් ආරක්ෂාව, භාවිතයේ පහසුව, ලාභදායී බව, අලෙවි ප්‍රවර්ධනය සඳහා අත්වැලක් වීම, පරිසර දූෂණයට ඉවහල් නොවීම, ව්‍යාපාරය සහ වෙළෙඳ ලකුණ දරා සිටීම, නව නිර්මාණාත්මක අලෙවි අවස්ථා උදාකර කරවීමේ ශක්‍යතාව, පාරිභෝගිකයා ගේ සිත පොළඹවා ගැනීම තුළින් අලෙවි ප්‍රවර්ධනය සහ නීතිමය අවශ්‍යතා සපුරාලීමක් සිදුවීමත් අත්‍යවශ්‍ය කරුණු ලෙස පෙන්වා දෙන්නට පුළුවන්.

* ලේබලයක අඩංගු විය යුතු ප්‍රධාන කරුණු මොනවාද යන්න පිළිබඳ විමසීමක් කරමු.

* කල් ඉකුත්වන දිනය

මෙය අතිශයින් සුවිශේෂී වූවකි. එසේම ලේබලයක නියත වශයෙන් ම තිබිය යුත්තක් බව සඳහන් කළ යුතුයි. මෙමඟින් අදාළ භාණ්ඩය විවෘත නොකර කොපමණ කාලයක් තබාගත හැකිද යන කාරණය පාරිභෝගිකයාට දැනුම් දෙනු ලබයි. එසේම එමඟින් කල් ඉකුත්වීමට ආසන්නයේ පවතින ද්‍රව්‍ය මිලදී නොගත යුතු බවට ඇඟවීමක් ද කරනු ලබයි.

 

* නිෂ්පාදිත දිනය

භාණ්ඩය නිෂ්පාදනය කළ දිනය

* දිනය (DD)

* මාසය (MM)

* වසර (YYYY)

ලෙසින් ලේබලයේ දැක්විය යුතුයි. භාණ්ඩය කල් ඉකුත්වීම සඳහන් දිනය මෙන්ම මෙයද අත්‍යවශ්‍ය කරුණකි.

* කාණ්ඩ අංකය

මෙයින් අදහස් වන්නේ නිෂ්පාදනය සකස් කළ කාණ්ඩයේ අංකයයි.

* උපරිම සිල්ලර මිල

වෙළෙඳපොළේ දී අදාළ භාණ්ඩය අලෙවි කළ යුතු උපරිම මිල ද ලේබලයක තිබීම අත්‍යවශ්‍යයි. එයත් සමඟ පෙර සඳහන් කළ කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදිත දිනය සහ කාණ්ඩ අංකය එකම කොටසක සඳහන් කළ යුතුයි.

* වෙළෙඳ නාමය

මෙයද ඇසුරුමක තිබිය යුතු වැදගත් අංගයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. ව්‍යාපාරයේ අනන්‍යතාවය දැක්වෙන්නේ වෙළෙඳ නාමය තුළින්. උඡ්චාරණය පහසු කෙටි මෙන් ම ආකර්ෂණීය එකක් වීම හරිම වැදගත්.

* භාණ්ඩයේ නම

ඇසුරුම තුළ අඩංගු භාණ්ඩයේ නියම නම අවම වශයෙන් භාෂා දෙකකින්වත් දැක්වීමට සැලකිලිමත් වන්න.

* බර හෝ පරිමාව

මෙයින් අදහස් වන්නේ භාණ්ඩයේ ස්වභාවය අනුව බර ග්‍රෑම්, කිලෝ ග්‍රෑම්, මිලි ලීටර්, ලීටර් යන්නයි.

* නිෂ්පාදකයාගේ නම, ලිපිනය, දුරකතන අංකය මෙන්ම අන්තර්ජාල පිටුව පිළිබඳව ද ලේබලයේ සඳහන් කරන්න.

පියවරෙන් පියවර ඉදිරියට පැමිණ අන්තර්ජාල විකුණුම් ආයතන සමඟ ලියාපදිංචිය ලබාගත් පසු ඔබගේ භාණ්ඩ සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා ඇසුරුම් පවා ලබා දෙනු ඇති.

ඇසුරුම් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා හොඳම ස්ථානය වන්නේ් පිටකොටුවේ මැලිබන් වීදියයි. අත්කම් නිර්මාණ ආදිය ප්‍රවාහනයේදී සුරක්ෂිතව ඇසුරුම් කිරීම සඳහා වායු බුබුළු (Air bubble) සහිත කවර සහ ෂීට් එහිදී මිලදී ගන්නට පුළුවන්.

ඔබගේ නිෂ්පාදනය පාරිභෝගිකයාගේ ඇස ගැටුණු සැණින් අවධානය ලබා ගැනීමට ඇසුරුම්කරණය තරම් සුදුසු මාධ්‍යයක් තවත් නොමැති බව අවධාරණයෙන් සඳහන් කරන්නට පුළුවන්.

 

උපදෙස් – වෘත්තිය පුහුණු උපදේශිකා, ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
නිම්මි අරලියා
CRAFT ARALIYA