කඳුරට ගෙවත්තේ ධන උල්පත සාදික්කා

දේශීය රසකාරක බෝග වගාව
ජූලි 7, 2021

 

රස නහර පිනවන ඉවුම් පිහුම් කලාවේ වඩාත් සුවිශේෂී රහස වන්නේ දේශීය රසකාරක එහෙමත් නැත්නම් කුළුබඩුයි. කහ, මිරිස්, ගම්මිරිස්, ඉඟුරු , සුදුලූනු, කුරුඳු පොතු, සාදික්කා, වසාවාසි ආදී වශයෙන් වූ මුළුතැන්ගෙයි රජ කරවන කුළුබඩු බොහොමයකි.

 

මේ කුළුබඩු එහෙමත් නැත්නම් දේශීය රසකාරක කිහිපයක් හෝ ඔබටත් ඉඩ පහසුකම් ඇති පරිදි වවාගැනීමට හැකියාව ඇත්නම් මොනතරම් අපූරුද ? එමගින් පහසුවෙන්ම වස විසෙන් තොර කුළුබඩු ආහාරයට ගැනීමට හැකියාව ලැබේවි. ඊට අමතරව එය අපූරු ස්වයං රැකියාවකි. කුළුබඩු වගාකර අලෙවි කරනවා මෙන්ම එම නිෂ්පාදන හරහා සකසා ගත හැකි අතුරු නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කිරීම හරහා ද ඔබට හොඳ ආදායමක් ලබාගත හැකියි.

ඒ පිළිබඳ ඔබට දැනුම ලබාදෙන මේ දේශීය රසකාරක බෝග වගාව යටතේ කහ, ඉඟුරු මෙන්ම ගම්මිරිස් බෝග වගාවන් ගැන අප කතාබහට ලක් කළා. එම වගාවන් පවත්වාගෙන යන ආකාරය පමණක් නොව එම වගා අස්වැන්න හරහා අතුරු නිෂ්පාදනයන් සකසා ඒවා වෙළෙඳපොළට ඉදිරිපත් කරන ආකාරය පිළිබඳත් අප සාකච්ඡා කළා.

ඉතින් ඒ අනුව අද අපේ අවධානයට යොමු වන්නේ කන්ද උඩරට ධන උල්පත ලෙසින් හඳුන්වන, වටිනාකමින් ද ඉහළ අගයක් ගන්නා සාදික්කා බෝගයයි.

 

සාදික්කා ගසේ උපත

 

නිවර්තන සදාහරිත ශාකයක්වන මේ සාදික්කා අයත් වන්නේ මිරිස්ටිකේසියේ (Myristica fragrans) කුලයටයි. ඉන්දුනීසියාවේ මොලූකාස් එහෙමත් නැතිනම් ස්පයිස් දූපත්වලට ආවේණික බෝගයක් වූ මෙය ප්‍රධාන වශයෙන් එම දූපත්වල සහ බටහිර ඉන්දීය කොදෙව්හි වගා කෙරේ. වාර්තා දත්ත අනුව සාදික්කා ශාකය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ 19 වැනි සියවසේ මුල් භාගයේ දී ය.

අතීතයේ පටන් කෘෂි බෝග වගාවක් ලෙසින් මෙන්ම ගෙවතු ආශ්‍රිතව මේ ශාකය සිටුවනු ලැබීය. ඒ උස මීටර් 600 ක් දක්වා වූ තෙත් කලාපීය ප්‍රදේශවල එනම් මහනුවර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලය. නමුත් වර්තමානය වනවිට ගම්පහ, කළුතර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත්‍රික්වල ද සාදික්කා වගාව සඳහා නව ප්‍රවණතාවක් ඇතිව තිබේ.

 

හැඩවැඩ සහිත ඵලයක්

සාදික්කා ඇටයේ මදය සාදික්කා ලෙසින් භාවිත කරන අතර එම ඇටය වසා දැලක් සේ පැතිරුණු රතු පැහැති කොටස වසාවාසි නම් වේ. මෙම කොටස් දෙකම කුළුබඩු නිෂ්පාදන ලෙස යොදාගනී. ඊට අමතරව සාදික්කා ගෙඩියේ මාංසලමය කොටසින් එහෙමත් නැත්නම් සාදික්කා පොත්ත ලෙසින් හැඳින්වෙන කොටස ජෑම්, චට්නි සහ ව්‍යංජන සාදා ගැනීමට භාවිත කෙරේ. ඒවා මෙම වගාවේ අතුරු නිෂ්පාදනයන්ය.

 

ප්‍රයෝජනයට ගන්නා ආකාරය

 

ආහාර පිසීමේ දී රසකාරකයක් ලෙසින් සාදික්කා ඇටය එහෙමත් නැත්නම් මදය භාවිත කෙරේ. මෙය මදය වශයෙන් හෝ කුඩු වශයෙන් භාවිත වේ. විවිධ මස් වර්ග, එළවළු හා රසකැවිලි තැනීමේ දී සුවඳකාරකයක් ලෙසින් ද මේ සාදික්කා යොදාගනු ලබයි. ඊට අමතරව වසාවාසි කුඩුකර කේක්, බිස්කට්, රසකැවිලි, අච්චාරු වැනි ආහාර නිෂ්පාදනයේ දී යොදාගනු ලැබේ. එමෙන්ම විවිධ මස් වර්ග හා සොසේජස් සකසා ගැනීමේ දී සුවඳකාරකයක් ලෙස යොදාගන්නා තුනපහ මිශ්‍රණයටත් වසාවාසි එකතු කරනු ලැබේ.

 

නමුත් සාදික්කා තෙල්වල 4% ක් පමණ මිරිස්ටිසීන් අඩංගු නිසා ආහාර සඳහා යොදාගන්නේ ස්වල්ප වශයෙනි. ඊට අමතරව සාදික්කා ලෙලිවලින් ජෑම්, චට්නි හා බීම වැනි නිෂ්පාදන සකස්කළ හැකිය. ඒවා සඳහා ද වර්තමානයේ වෙළෙඳපොළ තුළ හොඳ ඉල්ලුමක් පවතී.

 

සාදික්කාවල ඇති වාෂ්පශීලී තෙල

ආහාර, සිසිල් බීම, ඖෂධ සහ සුවඳ විලවුන් නිෂ්පාදනයේ දී යොදාගනී. ඒවාගේම මෙහි ඇති ඖෂධීය ගුණය නිසා බඩේ අජීර්ණ සඳහා අත් බෙහෙතක් ලෙසත් පාවිච්චි කිරීමත් අතීතයේ සිටම පැවතෙන්නකි.

 

 

සාදික්කා ශාකය

 

 

සාදික්කා යනු අතු හොඳින් විහිදුණු මුදුන් මූල පද්ධතියක් සහිත සදාහරිත ශාකයකි.

එය මීටර් 20ක් (අඩි 65ක්) පමණ උසකට වැඩෙනු දැකිය හැකිය. පැළ සිටුවා වසර 5ත් 7ත් අතර කාලයකදී මල් පිපීම ආරම්භ වී පළමු අස්වැන්න ලබාදේ.

වසර 25කදී පමණ සිය උපරිම අස්වැන්න කරා ළඟාවන මේ සාදික්කා ශාකය අවුරුදු 60ක් පමණ වනතෙක් ප්‍රශස්ත අස්වැන්නක් ලබාදෙයි. එසේ වී අනතුරුව අබල දුබල නොවන මේ සුවිශේෂී ශාකය සාමාන්‍යයෙන් වසර 100ක් පමණ කාලයක් සිය සාදික්කා ඵල දරනු ඇත.

 

 

සාදික්කා පැළයක් සිටුවා ගන්නා අයුරු මෙන්ම එය නඩත්තු කිරීම සහ අස්වැන්න නෙළා ගන්නා ආකාරය පිළිබඳ අපි ලබන සතියේ දැනුවත් වෙමු.

 

 

 

 

උපදෙස් - මොණරාගල

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ,

සහකාර අධ්‍යක්ෂ, සුධාරක ද සොයිසා

 

ඡායාරූප - ලසන්ත අබේරත්න

 

විශේෂ ස්තූතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

දිශාන්ති කොඩිතුවක්කු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.