නිර්මාණ කිරීමේ දී අත්‍යවශ්‍ය වන වර්ණ සංකලනය ගැන දැනුවත් වෙමු

බතික් නිර්මාණ කලාව
ජූලි 21, 2021

 

ඇඳුම් නිර්මාණයේදී වර්ණ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එය බතික් නිර්මාණයේදී වඩාත් කැපී පෙනේ. මේ නිසා බතික් නිර්මාණ කිරීමට පෙර වර්ණ ගැන්වීමට අදාළ වර්ණ සංකලනය මනාව දැන සිටිය යුතුය.

අප මේ පිළිබඳව මුල් පාඩම්වල දී විස්තර කළා මතක ඇති. එහෙත් එම පාඩම් ලබා ගන්නට නොහැකිවුණු තරුණී නවක බතික් නිර්මාණකරුවන්ගේ දැඩි ඉල්ලීම පරිදි අපි අද ඔබට වර්ණ සංකලනය පිළිබඳව තවදුරටත් දැනුම මෙසේ ගෙන එන්නෙමු.

වර්ණ සංකලනය වූ කලී දීර්ඝ මාතෘකාවකි. 12 වැනි බතික් පාඩමෙන් ඒ පිළිබඳව අපි ඔබට මූලික දැනුමක් ලබා දුන්නා මතක ඇති. එහිදී ප්‍රාථමික වර්ණ, ද්විතියික වර්ණ, අන්තර් මාධ්‍යමික වර්ණ, උණුසුම් වර්ණ, ශීත වර්ණ පිළිබඳව හඳුන්වා දුන්නෙමු.

ශීත වර්ණ සහ උණුසුම් වර්ණ පිළිබද අද අපි තවදුරටත් 'වර්ණ චක්‍රය' ඇසුරෙන් පැහැදිලි කර දෙන්නෙමු.

 

ශීත වර්ණ

ශීත වර්ණ යනු ඇසට සිසිලසක් ලබාදෙන අඳුරු පෙනුමකින් යුත් එහෙත් සෞම්‍ය, ශාන්ත හැඟීම් දනවන වර්ණ වේ.

උදාහරණ ලෙස දක්වන්නේ නම් වර්ණ චක්‍රයේ පෙනෙන කොළ, නිල්, දම් හා ඒ ආශ්‍රිත වර්ණ ප්‍රභේද වේ. (එනම් ළා කොළ, තද කොළ ආදී වශයෙන් ඒ එක් එක් වර්ණවල ප්‍රභේද සියල්ලම මෙම කාණ්ඩයට අයත් වේ.)

උණුසුම් වර්ණ

උණුසුම් වර්ණ යනු දීප්තිමත් බවකින් යුත්, හිරු එළියේ සිට බැලීමේදී ඇසට අපහසුතාවක් ගෙන දෙන, ප්‍රවේගකාරී, උණුසුම් හැඟීමක් දනවන වර්ණ වේ.

උදාහරණ රතු, තැඹිලි, කහ සහ ඒ ආශ්‍රිත වර්ණ ප්‍රභේද වේ.

එබැවින් ශීත වර්ණ පමණක් නිර්මාණයකට යොදා ගතහොත් එහි ආකර්ෂණීය බවට හානිදායක වේ. එසේම උණුසුම් වර්ණ පමණක්ම යොදා ගැනීමෙන්ද ආකර්ෂණීය බවට හානිදායක වේ. එබැවින් උණුසුම් සහ ශීත වර්ණ වඩාත් උචිත ලෙස නිර්මාණයකට යෙදීමෙන් එහි මනා පෙනුමක් සහ වැඩි වටිනාකමක් එයට එකතු කර ගැනීමට හැකිවේ. එසේම අප සංගත සහ විසංගත වර්ණ පිළිබඳව ද මනා දැනුමක් අප තුළ තිබිය යුතු වේ.

 

සංගත වර්ණ

සංගත වර්ණ යනු සමීප සබඳතාවක් ඇති වර්ණයි. මෙම වර්ණ අතර සමීප සබඳතාවක් ඇති බැවින් මේවා එකම පවුලේ වර්ණ ලෙසින් හැඳින්වේ.

ප්‍රාථමික වර්ණ සඳහා,

*රතු සඳහා කොළ සහ දම්

*කහ සඳහා තැඹිලි සහ කොළ

*නිල් සඳහා කොළ සහ දම් ද සංගත වේ.

ද්විතියික වර්ණ සඳහා,

*තැඹිලි සඳහා රතු සහ කහ

*දම් සඳහා රතු සහ නිල්

*කොළ සඳහා කහ සහ නිල් සංගත වේ

එසේම එකම වර්ණයක තද වර්ණය, සාමාන්‍ය වර්ණය, ළා වර්ණය ආදි වශයෙන් ද ගතහොත් ඒවා ද සංගත වේ.

උදා:- තද රතු, රතු, ළා රතු

තද නිල්, නිල්, ළා නිල්

 

විසංගත වර්ණ

විසංගත වර්ණ යනු වර්ණ චක්‍රයෙහි එකිනෙකට ප්‍රතිවරුද්ධ වර්ණයන් වේ. කිසිම සබඳතාවක් මෙම වර්ණයන් අතර නැත.

උදාහරණ ලෙස දක්වන්නේ නම්

* රතු පැහැයට විසංගත වර්ණය කොළ පැහැය වේ.

*දම් පැහැයට විසංගත වර්ණය කහ පැහැය වේ.

*තැඹිළි පැහැයට විසංගත වර්ණය නිල් පැහැය වේ.

අතීතයේදී බොහෝවිට බතික් නිර්මාණ සඳහා එක් වර්ණයක් හෝ එම වර්ණයේම වර්ණ ප්‍රභේද භාවිත කළ බව දක්නට ලැබේ. එහෙත් වර්තමානයේදී බොහෝ බතික් නිර්මාණකරුවන් නොබියවම විසංගත වර්ණ තම නිර්මාණ සඳහා යොදා ගනී. ඒ ආකාරයෙන් යම් නිර්මාණයකට ශීත වර්ණ සමඟ උණුසුම් වර්ණ මිශ්‍ර කිරීමෙන් හෝ සංගත වර්ණ සමඟ විසංගත වර්ණ මිශ්‍ර කිරීමෙන් එම නිර්මාණයේ සමබරතාව සුරැකෙන අතර මනා අලංකාරයක් වැඩි වටිනාකමක් නිතැතින්ම එයට හිමි වේ. ඔබ බතික් කලාව මුල සිට හදාරන්නකු නිසා මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගත යුතු අතර එයින් ඔබේ නිර්මාණශීලී බව අනුව කලාත්මක නිර්මාණ කිරීමට හැකිවනු ඇත.

 

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා