ජාවා බතික් ක්‍රමයට අලංකාර නිර්මාණයක්

අගෝස්තු 11, 2021

 

වර්තමානයේ අප රටේ බොහෝ ජනප්‍රියව පවතින බතික් ක්‍රමයක් ලෙස ජාවා බතික් කලාව හැඳින්විය හැකියි. ඉන්දුනීසියාවේ ජාවා දූපත්වලින් ඇරැඹුණු ජාවා බතික් කලාව, ලොව පුරා බොහෝ රටවල ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වූ බතික් ක්‍රමයක් වේ. එය 'ජාවා බතික්' ලෙස හඳුන්වන්නේ ජාවා දූපත් හැඩයට ඉටි කරන නිසාවෙනි. මේ බතික් ක්‍රමය වඩාත් ජනප්‍රියවීමට හේතු පාදක වී ඇත්තේ, එහි ඇති වර්ණවත් පැහැයන් සහ ඉතාමත් පහසුවෙන් නිමකරගැනීමට ඇති හැකියාවත් නිසාවෙනි.

 

අද බතික් පාඩමෙන් අපි ඔබට ගෙන එන්නේ ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි එම ජාවා බතික් ක්‍රමයයි. කපු රෙදි, සිල්ක් රෙදි, ලිනන් රෙදි,‍ විස්කෝස් රෙදි මේ බතික් ක්‍රමය සඳහා යොදා ගත හැකිය. වර්තමානයේ අප රට තුළ විවිධ ක්‍රම ඔස්සේ 'ජාවා බතික්' සිදුකරනු ලැබේ. අප ඔබට එවැනි නවතම ක්‍රම කිහිපයක් ගෙන එන්නෙමු.

 

* නිර්මාණය සිදු කිරීමට අවශ්‍ය රෙද්දක් (කපු, ලිනන්, සිල්ක් හෝ විස්කෝස් රෙදි)

* වර්ණ (Reactive dye වර්ණ කිහිපයක්)

* මෙහි රෙදිවල බර 300g ලෙස සකස්කර ඇත. ඩයි ප්‍රමාණය සකස්කර ගැනීම සඳහා රෙදිවල බර මැන ගැනීම අත්‍යවශ්‍ය වේ.

* එසේම ඔබට අවශ්‍ය වර්ණයේ ගැඹුර (dye depth) එක ද දැන සිටිය යුතුය. මෙහිදී වර්ණයේ ගැඹුර 5% ලෙස සකස් කර ඇත. (වර්ණයේ ගැඹුර යනු ඕනෑම වර්ණයක ඇති ළා පැහැයේ සිට තද පැහැය දක්වා වූ වර්ණ පරාසයයි. 1% - 5% දක්වා වර්ණයක ළා පැහැයද 5% - 9% දක්වා තද පැහැයද දැක්විය හැකිය.)

* රෙදිවල බර 300g ලෙස ගෙන ඩයි සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් සකසා ගනිමු. (ඔබට කැමැති ආකාරයට රෙදි ප්‍රමාණය වැඩි කරගෙන ඊට සාපේක්ෂව ඩයි ප්‍රමාණ ද වැඩි කර ගත හැකිය.)

රෙදිවල බර x 5/100 (අවශ්‍ය වර්ණ ගැඹුර)

= 300g x 5/100

= 15g

 

(ii) සෝඩියම් සිලිකේට් ප්‍රමාණය - 60 ml

(iii) යුරියා 16g

(iv) ජලය 60ml - 100ml දක්වා

(v) කුඩා යෝගට් කප් කිහිපයක්

(vi) රෙදි පින්තාරු කරන පින්සල්

 

පළමුව ඔබට අවශ්‍ය රූපය, රූප සටහන්වල දැක්වෙන පරිදි රෙද්දක් මත ඇඳගන්න. ඊට ඔබ යොදා ගැනීමට කැමැති වර්ණ ඔබ Reactive dye වලින් තෝරා ගෙන පසෙකින් තබා ගන්න. ඉහත සඳහන් කරන ලද ප්‍රමාණයන්ගෙන්, ඔබගේ රෙදිවල බර අනුව රසායනික ද්‍රව්‍යයන් මැන පසෙකින් තබා ගන්න.

දෙවනුව, ඔබගේ නිර්මාණය ඉටිවලින් ඇඳ ගන්න. (ඉතාමත් හොඳින්, ඉටි කැඩී නොයන සේ ඇඳගත යුතුය.)

වර්ණ මිශ්‍රණය සකසා ගැනීම සඳහා

පළමුව යූරියා ගෙන කුඩා භාජනයකට දමන්න. පසුව ජලය ස්වල්පයකින් (10ml) දියකර ගන්න. (කැට ඉතිරි නොවන සේ) පසුව එයට සෝඩියම් සිලිකේට් 60ml දමා හොඳින් මිශ්‍රකර ගන්න. පසුව ඔබගේ නිර්මාණයට අවශ්‍ය වර්ණ ප්‍රමාණය අනුව කුඩා යෝගට් කප්වලට, මේ මිශ්‍රණය සමාන ප්‍රමාණවලින් දමා ගන්න. ඉන් පසුව ඩයි ප්‍රමාණය (රෙදි 300g - ඩයි 15g) එක් එක් වර්ණයන්ගෙන් මැන ගන්න. (ඔබට අවශ්‍ය වර්ණවලින්) එම වර්ණ (ඩයි) ප්‍රමාණයන් ඔබ බෙදා වෙන්කර ගත් එක් එක් යෝගට් කප්වලට දමා හොඳින් මිශ්‍ර කරගන්න. (මිශ්‍රණය වඩාත් ඝනකමකින් යුක්ත නම් ජලය ස්වල්ප ප්‍රමාණයන් එකතු කරමින් සාමාන්‍ය ද්‍රාවණයක් සකසා ගන්න. රූප සටහන්වල දැක්වෙන පරිදි)

තෙවනුව ඔබගේ නිර්මාණය, රූප සටහන්වල දැක්වෙන පරිදි, ඔබ සාදාගත් වර්ණවලින් පින්තාරුකර ගන්න. පින්තාරු කර අවසන් වූ පසු නිර්මාණය වටා නැවතත් ඉටි කරගත යුතුවේ. නැතිනම් ඉටි ඉවත් කරගැනීමේදී (රෙදි තැම්බීමේදී) වර්ණ (පාට) සෑම තැනම ගෑවී අවලස්සන වීමට හැකිය. එබැවින් නැවතත් නිර්මාණය වටා ඉටිකර ගැනීම අවශ්‍ය වේ. මෙසේ ඉටි කරගත් පසු නිර්මාණය පැය 24ක් ලී රාමුව මතම තබන්න.

අවසානයේ ඔබගේ නිර්මාණය හොඳින් රත්වූ ජල භාජනයක බහා ඉටි ඉවත්කර ගන්න. දැන් ඔබට ඉතාමත් අලංකාර බතික් මෝස්තරයක් නිර්මාණය වී තිබේ.

 

ඉදිරිපත් කිරීම

kenuri batik ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා