පළිබෝධකයන්ගෙන් ඔබේ ඕකිඩ් කුමාරියන් බේරාගන්න

අගෝස්තු 18, 2021

 

හිමිදිරි උදෑසන පිනි කැට තැවරුණු සොඳුරු ඕකිඩ් කුමාරියන් හරි අපූරුවට සිනහ නගනවා. මඳ සුළඟට නැළවෙමින් හිරු කුමරුන්ට අත වනන මේ දඟකාරියන්ගේ දසුන දෙනෙතට රැගෙන එන්නේ කදිම චමත්කාරයකි.

 

හැබැයි මේ සොඳුරු දර්ශනය නිරතුරුවම ඔබේ නෙත ගැටෙන්නට නම් මල් කුමාරියන් සැමදාමත් නිරෝගීව පවත්වා ගත යුතුයි. ඒ සඳහා ක්‍රමානුකූලව ජලය, පොහොර සැපයීම කළයුතු අතර විවිධ රෝගාබාධවලින් ද ඇයව සුරක්ෂිත කළ යුතුමයි. විශේෂයෙන්ම ඕකිඩ්මලට හානි කරනා දිලීර රෝගවලින් මෙන්ම විවිධාකාරයේ පළිබෝධකයන්ගෙන් ද ඇයව ආරක්ෂා කරගැනීම වඩාත් වැදගත්.

 

ඉතින් එහෙමනම් අද අපි ඕකිඩ් වගාවට විනකරන පළිබෝධකයන් හඳුනාගෙන ඒවාට කළයුතු ප්‍රතිකර්ම පිළිබඳ සොයා බලමු.

හානිකරන පළිබෝධකයන්

 

1. ගොළුබෙල්ලා

 

සාමාන්‍යයෙන් ඕකිඩ් වගාවට හානිකරන පළිබෝධකයන් අතරින් ප්‍රමුඛත්වය ගන්නා සත්ත්ව කොට්ඨාශයක් වන්නේ ගොළුබෙල්ලන්ය. මොවුන් ඕකිඩ් පැළයේ පත්‍ර , කඳ , පොහොට්ටු ආදී වශයෙන් සෑම කොටසකටම හානි පමුණුවනු දක්නට ලැබේ.

 

මේ ගොළුබෙල්ලන් ද වර්ග කිහිපයකින් දැකිය හැකියි.

 

• අපේ රටේ බහුලව දක්නට ලැබෙන විශාල කටුවක් සහිත ගොළුබෙල්ලන්.

 

• කේතු ආකාරයේ කුඩා කටුවක් සහිත ගොළුබෙල්ලන්.

 

• සුරතල් මසුන් සහිත ටැංකිවල දැකිය හැකි ඉතා කුඩා කටුවක් සහිත ගොළුබෙල්ලන්.

( මොවුන් පෝච්චිය තුළ සැඟවී සිට වර්ෂා කාලයේ දී මතු වේ. අපේ රටට ඇතුළු වී ඇත්තේ ද තායිලන්තයෙන් ආනයනය කරනලද පැළ සමඟ සැඟවීගෙනය. අනතුරුව මෙරට පුරා ව්‍යාප්ත වී ඇත.)

 

2. හම්බෙල්ලා

 

ඊට අමතරව කටුවක් නොමැති ළා දුඹුරු පැහැති හම්බෙල්ලා ද අපේ ඕකිඩ් වගාවට විනකරන පළිබෝධකයකි. මේ හම්බෙල්ලන් ගසක රැඳී සිටියද හොඳින්ම පරීක්ෂා නොකළහොත් ගසෙහි ඇතිබව සොයා ගත නොහැකිය. නමුත් ඔවුන්ට එක් දිනයක් තුළදී ( විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දී ) ඕකිඩ් පැළෑටි කිහිපයක් සහ මල් කිනිති කිහිපයක් විනාශ කළ හැකි වේ. මේ නිසා ඇඳිරි වැටීගෙන එද්දී ඔබේ ඕකිඩ් වගාව පරීක්ෂාකර බලා ඩැහි අඬුවක් ( Forcep) උපයෝගී කරගෙන ඔවුන් ඉවත්කර සාන්ද්‍ර ලුණු ද්‍රාවණයකට දමා විනාශ කළ යුතු වේ.

 

එයට අමතරව මේ හම්බෙල්ලන් ඉවත් කළ හැකි තවත් ක්‍රමයක් තිබේ. එනම් පාන් පිටි ග්‍රෑම් 250ක් ගෙන ඊට උණු ජලය දමා පාප්පයක් ලෙස අනාගන්න. මේ පාප්පය හොඳින් නිවුණු පසු එයට මෙටා ( Metaldehyde) ග්‍රෑම් 100ක කුඩු පැකට්ටුවක් සහ බීර බිංදු කිහිපයක් මිශ්‍ර කරන්න. අනතුරුව මේ මිශ්‍රණයෙන් කුඩා ගුලි සාදා ඒවා ඕකිඩ් බඳුන් තුළ එනම් පෝච්චි ගැට්ට ආසන්නයේ තබන්න. පෝච්චි හතරක පමණ පරතරයට එක් තැනෙක බැගින් තැබීම ප්‍රමාණවත්ය. පසුදින උදෑසන මේ ගුලි වෙතට ඇදී ආ සතුන් ඔබට ඉවත් කළ හැකි වේ.

 

මයිටා හානිය

 

තරමක් ඝනකම සහිත ඕකිඩ් පත්‍රවල මේ මයිටාවන් බෝවීම සිදු වේ. මොවුන් ඇසට නොපෙනෙන ඉතා කුඩා පළිබෝධ විශේෂයක්වන අතර ඔවුන් පත්‍රයේ යටි පැත්තට හානි කරනු ඇත.එමඟින් ඕකිඩ් පත්‍රයේ උඩ කොටස ද කහ පැහැ ගැන්වී මුළු පැළෑටියේම වර්ධනය අඩපණ වේ.

 

ඔබ අත් කාචයකින් මෙම පත්‍ර පිටුපස පරීක්ෂා කළහොත් මෙම ක්ෂුද්‍ර ජීවීන් තිත් ආකාරයෙන් එහාමෙහා ගමන් කරන අයුරු දැකිය හැකිය.

 

මේ මයිටාවන්ගේ හානිය වළක්වා ගැනීමට වඩාත් සුදුසු වන්නේ Abemactin නැමැති රසායනික ද්‍රව්‍යයයි. මෙය සතියකට වරක් බැගින් සති තුනක් එක දිගටම යෙදිය යුතු අතර මෙහිදී ඕකිඩ් පත්‍රයේ උඩු පැත්තට සහ යටි පැත්තට වශයෙන් දෙපැත්තටම හොඳින් ස්ප්‍රේ කරන්නට වගබලා ගන්න. ඉන්පසුව සති දෙකක් සල්ෆර් මිශ්‍රණයක් ද ස්ප්‍රේ කළ හැකි අතර Abemactin ස්ප්‍රේ කළ දිනට පසුදින මැන්කොසෙබ් වැනි දිලීර නාශකයක් යොදන්න.

 

මෙලෙස වගාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හරහා වගාවට විනකරන පළිබෝධ උවදුරෙන් ඔබේ සුන්දර ඕකිඩ් වගාව බේරා ගත හැකි බවත් අමතක නොකරන්න.

 

 

උපදෙස් -

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ