හැඩ රුව ඔප කරන මනරම් ගවුමක්

සැප්තැම්බර් 8, 2021

 

හැඩට ඉන්න අපේ තරුණියන් හැඩ වැඩ ඇති ලස්සන ම ලස්සන ඇඳුම් අඳින්නත් කැමැතියි. මේ නිසාම විවිධ විලාසිතා සොයමින් යන තරුණියන් වෙනුවෙන් නවතම විලාසිතාවක ගවුමක් මසා ගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා.

 

අවශ්‍ය මිමි මැනගන්න.

උරහිස = අඟල් 14

කරවට = අඟල් 12 1/2

පපුව දක්වා උස = අඟල්10

ඉණ දක්වා උස = අඟල් 15

සාය උස = අඟල් 41

පපුවවට = අඟල් 34 1/2

ඉණවට = අඟල් 27

ඔපනැලි අතර පළල = අඟල් 7

කර ගැඹුර = අඟල් 6

මෙම ගවුම මසා ගැනීම සඳහා මුද්‍රිත හා තනි පැහැති රෙදි වර්ග 2ක් ගළපා ඇත. එම වර්ණ දෙකෙන් සාය සඳහා හා බ්ලවුසයේ ඉදිරිපස සඳහා තනි වර්ණයකින් ද අනෙක් වර්ණයෙන් පසුපස පළුව හා ඉදිරිපස උඩින් යොදා ඇති පතරොම කපා ඇත. එක් උරහිසකට අල්ලා ඇති ෂෝල් එක සඳහා වෙනත් මුද්‍රිත රෙදි වර්ගක් භාවිතකර ඇත.

උඩින් ඇති කොටස කපා ගැනීම සඳහා ඔබට පතරොමක් අවශ්‍ය වේ. එම නිසා බ්ලවුසය කොටස කපා ගැනීම සඳහා පතරොමක් භාවිත කිරීම සුදුසුය.

පතොරොම සාදා ගැනීම සඳහා ඉදිරිපස නැම්මට ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ.

B සිට පහතට අඟල් 1 3/4ක් පහත්කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යා කර මූලික කර අඳින්න.

E සිට පහතට පපුව දක්වා උස හා ඉණ දක්වා උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස මිම්ම දෙකට බෙදා එන පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාව අඳින්න.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සඳහා එකතුකර එයට මැහුම්වාසි ද එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට බුරුල සදහා හා මැහුම්වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ. G හා I යා කරන්න.

අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍යය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

ඔපනැලි අතර පළල දෙකට බෙදා එන පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය KL වේ. L සිට ඉණ රේඛාව හරහට ඩාට් එකට උස අඳින්න. එය LM වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර ඉණ රේඛාවේ දෙපසට ලකුණු කරන්න. එය L ට හා M ට යා කරන්න. මූලික කරේ සිට ඉණ දක්වා කර හැඩය අඳින්න. රූප සටහනේ පරිදි එය බලවාටියට ඇඳ බලවාටියේ සිට නැම්ම රේඛාවට අඳින්න.

අංශයේ සිට වාටියට හැඩයට කොටසක් කපා ඇත. එය ද කවාකාරව කපා ගන්න. කර ගැඹුර පහත්කර කර අඳින්න. අත් රහිත බැවින් කර පළල්කර කපා ගත හැකියි.

 

පසුපස

පසුපස සඳහා නැම්මට නමාගන්න. ඉදිරි පතරොම නැම්ම මතින් තබා ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩිකරන්න. පසුකර ගැඹුර අඟල් 1 1/2ක් හෝ 2ක් පහත්කර කපා ගන්න.

 

ඉදිරිපස දෙවැනි පළුව

උඩින් යොදා ඇති කොටස සඳහා පතරොම තබා නැම්මට සාදාගන්න. එම පතරොම දිග හැර කරේ සිට අංශයට අඳින්න. පසුව රෙදිමත තබා කපා ගන්න. එම කොටසේ කර හා ඉණ වෙනම පයිපිං කර ගන්න.

 

සාය

ඉණවට = අඟල් 27

උකුළවට = අඟල් 36

උකුළ දක්වා උස = අඟල් 8

සාය උස = අඟල් 41

සාය සඳහා කෑලි දෙකේ සාය භාවිත කර ඇත. ඒ සඳහා අවශ්‍ය උස ගෙන එය හරහට දෙකට නමන්න. ඉහළින් ඉණ රේඛාව අඳින්න. ඉණ රේඛාවේ සිට පහතට උකුළ දක්වා උස හා සම්පූර්ණ උස පහත්කර රේඛා අඳින්න.

ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට මැහුම්වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා එන පිළිතුරට මැහුම්වාසි එකතුකර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය CD වේ. D සිට වාටිය රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය DE වේ. E සිට පිටතට ඔබට අවශ්‍ය ඉඩ ප්‍රමාණය තබා D ට යා කරන්න.

 

මැසීම

බ්ලවුසයේ ඩාට් මසාගන්න. ඉදිරි පතරොමේ හා පසුපස පතරොමේ කරට පේෂින් අල්ලා ගන්න. අත්කට පයිපිං කරන්න. උරහිස මැසීමේ දී උඩින් යොදා ඇති පළුව හා ෂෝල් එක ද තබා උරහිස මසන්න. සාය ඉණට අල්ලා අංශය මසන්න. වාටිය මසන්න.

 

උපදෙස් -

ප්‍රවීණ උපදේශිකා

දිලුෂි දසනායක