ආසාදිතයකු නොවී ජීවත් වීම අපට කළ හැකි ලොකුම යුතුකමයි

-යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
මැයි 6, 2020

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය මැඬ පැවැත්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානී, ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනට රටේ පවතින කොවිඩ් 19 ව්‍යසනයේ අලුත්ම තත්ත්වය පිළිබඳව 'තරුණී' පාඨක ඔබ වෙනුවෙන් අදහස් දැක්වූයේ මෙසේය.

අප රටේ කොයිඩ්-19 පළමු රෝගියා හමුවී දැන් මාස එකහමාරක්. මේ දිනවල ආසාදිත පුද්ගලයින්ගේ ගණන වැඩිවෙමින් පවතිනවා මේ සඳහා අප බියක් සැකයක් ඇතිකර ගනිමුද? දැන් රෝගය පැතිරයාමේ මට්ටම කුමක්ද?

පළමුවෙන්ම අවධාරණය කළයුතු කාරණය නම් කොවිඩ්-19 කියන වෛරසය ඉතාම භයානක වෛරසයක් කියන දෙයයි. එය තවත් කෙනකුට වැලඳෙන ක්‍රමවේදය පිළිබඳව විවිධ ආකාරයෙන් පැවසුවත් මේ පිළිබඳව ඇත්තටම කියන්න කිසිම වෛද්‍යවරයකු ට හැකියාවක් ලැබුණේ නැහැ. මෙය බෝවීමේ විවිධ වෙනස් වන තත්ත්වයන් තිබෙනවා. පළමුවැනි සතියේ පටන් ගත් ක්‍රමය දැන් වෙනස් වෙලා. රෝග තත්ත්වයට පත්වන ක්‍රමවේදය මෙහෙමයි කියන්න කාහටත් පුළුවන් වී නැති බව කිව යුතුය. එවැනි තත්ත්වයක් ඇති නිසා මා දකින ආකාරයට රටක් තුළ කොවිඩ්-19 මාසයකින් දෙකකින් අවසන් කරනවා කියන්න කාහටත් බෑ. නමුත් අපට හැමදාම මේ විදියට රට වසාගෙන සිටින්නටත් බැහැ. මෙය රට තුළ කාලයක් පැවතුනත් එදිනෙදා වැඩකටයුතු කරගෙන යන විටදී යම්කිසි මිනුම් දණ්ඩක් හදාගන්න අවශ්‍ය වෙනවා.මේ මිනුම් දණ්ඩ ආවාට පසුව අපේ රටේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්නට පුළුවන් වේවි. එවිට ප්‍රශ්නයක් නැහැ. එහෙන් මෙහෙන් දෙක තුනක් මතුවෙන්නට පුළුවනි. එසේ මතුවෙන ස්ථානවල වටේ සිටින ජනතාව අනිකුත් අයටත් වැඩියෙන් වැදගත් අයුරින් ප්‍රවේශම් වියයුතුය.

අපට කියන්න තියෙන්නෙ කොයිඩ්-19 කියන ඉතාම භයානක වෛරසය සම්පුර්ණයෙන් අවසන් වෙනවා කියන්න කිසිම ජගතෙකුට බෑ. මෙය නතර කිරීමට ලෝකයේ තවමත් ඇන්ටි වෛරස් ඉන්ජෙක්ෂන් එකක් වත් තවම සොයාගෙන නැහැ. ලෝකයේ මෙවැනි ස්වභාවයක් තියෙන රෝගයක් අහවල් දිනයෙ අවසන් වෙනව කියල කියන්න පුළුවන් ද?

එලෙසම මේ වෛරසය හැසිරෙන ක්‍රමවේදයත්, කාලයත් කියන්න අපහසුයි. තවත් කෙනකුට බෝවෙන්නෙ මේ ආකාරයටයි කියා තවම තර්ක කරන මට්ටමේ තිබෙන්නේ. අවසන් වන දිනය කීමට නොහැකි වී ඇත්තේ ඒ නිසයි.

එහෙත් අපට රටක් ලෙස මෙලෙස හැමදාම ඇඳිරි නීතිය මැද වැඩ කටයුතු කරන්න බැහැ. ඒ සඳහා කිසියම් සැලසුමක් තිබෙනවද?

ඕනෑම රටක මෙය යම්කිසි ස්ථාවරයක ට පැමිණි විට එදිනෙදා වැඩකටයුතු කරගෙන රට සාමාන්‍ය තත්ත්වයට පත්කරගෙන යනවා. එසේ වුණත් නැවත මතුවෙන්නට ද පුළුවනි. සම්පූර්ණයෙන් නවතාලන්නට කිසිම රටකට බැරිවේවි. මෙයට උදාහරණයක් ලෙස සිංගප්පූරුව ගත හැකියි. සිංගප්පූරුව අවසන් වුණා කියා සතිදෙකක් ගියේ නෑ. දැන් යළිත් දිනකට රෝගීන් දාහක් පමණ හමුවෙනවා. ඒ නිසයි මා ඉහත අයුරින් විග්‍රහ පූර්වකව ප්‍රකාශ කළේ.

මේ වනවිට අපේ කොවිඩ් මර්දනයට වැඩ කටයුතු කළ අපේ වීරෝදාර නාවික සෙබළුන්ටත් මෙය වැලඳිලා. ඒ පිළිබඳව විස්තර කර මෙය වැලැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනත් සඳහන් කරමු.

අපි ද හොඳ ස්ථාවරයක් පවත්වාගෙන ආවා. නමුත් ඊයේ පෙරේදා සමහර විට යම්කිසි බයක් ඇති වුණා. සමාජයේ තිබෙන මේ බිය ඇත්තටම තිබෙන්නට ඕනෑ. එහෙම නොවී මෙයට බිය නෑ කියමින් හැසිරුණොත් පළාතකටම බෙදන්න පුළුවනි. ඔබට මතකද සුදු වැල්ලේ මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ගෙන් නාවික හමුදාවට සිදු වූ අනතුරු තත්ත්වය. අපේ රටේ රෝගීන් වාර්තාවන විදිහ අනුව පොකුරු ක්‍රමයට මෙය රඳා පැවතිලා තිබෙන්නෙ. පොකුරු ක්‍රමයෙන් පිටට පැනලා සමාජයට ගියොත් අපට කිසියම් අපහසුතාවයකට පත් වෙන්නට ඉඩ තිබෙනවා. තවමත් අපි පොකුරු ක්‍රමයේ සිටින්නෙ. නාවික හමුදාවේ හමුවූ කට්ටියද පොකුරු කට්ටියක්. රටක් වශයෙන් ඉතාම හොඳට කරගෙන යනවා. අප මුල සිටම සැලසුමකට අනුවයි මේ කොවිඩ්-19ට මුහුණ දෙන්නේ. ඒ නිසා අපි හොඳ තත්ත්වයකයි සිටින්නෙ.

තවම අපට හමුවන්නෙ පොකුරු වලින් පමණයි. අහම්බෙන් එක්කෙනෙක් දෙන්නෙක් කොහේදී හෝ හමුවෙනවා.

ඒ නිසා හැමවිටම එම පොකුරක් වශයෙන් හමුවන ආසාධිතයන් නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ගන්නවා.

අපේ ජනතාවට මේ පිළිබඳව දෙන්නට තිබෙන උපදේශය කුමක්ද?

පළමු වෙනි කරුණ ලෙස මම දකින්නෙ අප රටේ පුරවැසියකු හැටියට අප කළ යුතු වගවීමක් තිබෙනවා. එනම් ආසාදිතයකු නොවන හැටියට ජීවත් වීමයි. අපට කළ හැකි ලොකුම යුතුකම බව එය බව හිතට ගන්න. මිනිසකු ලෙස ඉපදී කළ හැකි ලොකුම යුතුකම වන්නේද අපේ පවුල වෙනුවෙන් යුතුකම වන්නේද රටට ජාතියට කළ හැකි යුතුකමද වන්නේද මෙය බව තරයේ සිහි තබා ගන්න. මේ වසංගත රෝගය එක පුද්ගලයකුගෙන් 50ක් සිට 100කටත් වැඩි පිරිසකට බෝවෙන බව හිතට ගන්න. කොළඹ බණ්ඩාරනායක මාවතේ චන්ද්‍රාණි නම් කාන්තාවගේ වගකීම් විරහිත හැසිරීමෙන් 78 දෙනකුට බෝ බෝකළ සිද්ධිය, මත්කුඩු වලට ඇබ්බැහි වූවන් පිරිස නාවික හමුදාවේ පමණක් 70 දෙනකුට අධික සංඛ්‍යාවකට බෝකිරීම, රාගම රෝහලේදී මත්කුඩු වලට ඇබ්බැහි වූවන් 80දෙනකුට පමණ බෝ කිරීමේ සිද්ධිය මේ සඳහා හොඳම උදාහරණයි. මා මෙතැනදී කියන්න උත්සාහ කරන්නේ එක් අයකුට සම්පූර්ණයෙන් පළාතක් අනිත් පැත්තට යවන්න පුළුවන්.

ඒ නිසා අපගේ පරම පවිත්‍ර චේතනාව විය යුත්තේ පළමුවෙන් මම ආසාධිතයකු නොවෙමි. ආසාදනයට ලක්නොවන ලෙස මගේ පවුල රැක ගන්නෙමි යන අදහසෙයි. එහෙම හිටියොත් මුළු ලංකාවම ආසාධිත නොවී ජීවත් වෙන්න උත්සාහ ගන්නවා. එවිට මේ රෝගය අප රටෙන් තුරන් කිරීම අපට මහ දෙයක් නිවෙයි.

එලෙස ආසාදිතයකු නොවී ජිවත්වන්නේ කෙසේද කියාත් පැහැදිලි කර දෙමු.

කොහොමද අපි ආසාදිත නොවී ජීවත් වෙන්නේ. ඇත්තටම මෙය හරිම සරලයි. නමුත් අතිශයින් වැදගත්. ශාරීරික දුරස්ථභාවය රැක ගැනීම තමයි පළමුවැන්න. සෑමවිටම සබන් ගා අත් සෝදන්න. ඒ වගේම තවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කළ උපදෙස් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ පිළිබඳව නිරන්තරයෙන් මාධ්‍ය මගින් දැනුවත් කිරීම් කරනවා. විශේෂයෙන් නිවසක කාන්‍තාවකගේ අවධානය යොමු විය යුතු අවස්ථාවක් තිබෙනවා. පොඩි ළමයින්ට මෙහි භයානකකම තේරුම් යන්නෙ නෑ. ඒ වගකීම මවක් ලෙස වැඩිහිටියකු ලෙස ඔබ හිතට ගන්න. ඔබගේ මිතුරු මිතුරියන් අසල් වැසියන්ද මේ ක්‍රමවේදය ට අනුගත කරන්න හැකි සෑම උත්සහයක් ම ගන්න. අවසාන වශයෙන් මා ඔබ සැමට කියන්නෙ අනිවාර්යයෙන් අපි ජය ගන්නවා. අපගේ රට බුදුන් තුන් වරක් වැඩි දේශයක්. අනෙකුත් විදේශ රටවල් වාගේ හිතන්න එපා. මේ ව්‍යසනය කොවිඩ්-19 අවසන් වී මෙතෙක් කල් කළ ක්‍රමවේද වෙනස් වෙලා අලුත්ම ශ්‍රී ලංකාවක් හැටියට ලෝක සිතියමේ ප්‍රබල තැනකට පැමිණීමට අපට හැකිවෙනවා. අපි උපන්දා සිට කීවේ අපේ රට දියුණු වෙමින් පවතින රටක් කියලා. දැන් මට අවුරුදු 55ක් වෙනවා. තවමත් කියන්නෙ දියුණු වෙමින් පවතින රටක් කියලයි. මම දකින්නෙ මේ උදාවෙලා තිබෙන්නේ ඉතිහාසයේ කවරදාකවත් නොලැබුණු අවස්ථාවක්. ගෙවල්වලට වෙලා මේ ගැන හිතන්න. මේ වගේ අවස්ථාවක් යළිත් ලැබේවි යැයි සිතන්නත් බැහැ. ඒ නිසා මේ කොවිඩ් වසංගතය අවසන් වෙලා යළිත් අපට වැඩ කරන්නට ලැබෙන අවස්ථාවේදී 'දියුණු වෙමින් පවතින රට' කියන ලේබල් එක ගලවලා 'දියුණු වූ රටක්' බවට පත් කරගන්නේ කොහොමද කියා සිතන්න. ඒ සඳහා අලුත් සැලසුම් ගැන සිතන්න. ඊළඟ ලැබෙන අවස්ථාවේ සිටම දිවා රෑ නොබලා රට දියුණු කරන හැටි සිතන්න. ඒ ගැන නිවෙසට වී ගත කරන මේ කාලය තුළ අලුතින් සිතන්නැයි කියා මා ආයාචනය කර සිටිනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.