වෙනත් සංචාරක මඟපෙන්වන්නෙක් දෙස බලන ඇසින් මා දෙස බලන්න එපා.

අප්‍රේල් 22, 2020

පළමු ශ්‍රී ලාංකේය කොරෝනා රෝගියා තරුණීට කතා කරයි

සුව වූ රෝගීන් දෙස ඇයි මේ වපර ඇසින් බලන්නේ

ඇසට නොපෙනෙන ජීව උණ්ඩයක් මුළු ලොවම අඩපණ කළ අයුරු පුදුම සහගතයි. දින කිහිපයක අවෑමෙන් එය ශ්‍රී ලාංකිකයන්ද සොයා ආයේය.

චීන ජාතික කාන්තාව ‘ලූ යෑන්’ සුවපත් කොට ඇයව සිය මවු රට බලා පිටත්කර යැවූ පිරිස් තවත් එවැනිම අභියෝගයක් පැමිණියහොත් ඊට මුහුණ දීමට සීරුවෙන් සිටින්නට විය.

අප රටේදී හමුවූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා ජාතික බෝවන රෝග විද්‍යායතනය සොයා ආයේ එවැනි මොහොතකදීය. පළමුවැනියා කොහොමටත් ඓතිහාසිකගත ය . කවදත් කවුරුත් පළමුවැනියා ගැන කතා කරති. කොරෝනා රෝගය සම්බන්ධයෙන් ලංකාවේ වාර්තා වූ පළමුවැන්නා බෙහෙවින්ම ආදර්ශවත් අයෙකි. ඔහු තමාගෙන් පසු වර්තා වූ සියලුම කොරෝනා රෝගීන් වෙත දායාද කළ ආදර්ශයන් බොහෝය.

වසර ගණනාවක් ඉතාලියේ

ජයන්ත රණසිංහ නම් වූ ඔහු මත්තේගොඩ පදිංචි කරුවෙකි. ඉතාලියේ මිලානෝ නුවර වසර 14 ක කාලයක් පදිංචිව සිටි ඒ මහතාගේ දියණිය සහ පුතු උපත ලැබුවේද ඉතාලියේදීමය. දරුවන් පාසල් යන වයසේදී බිරිය සහ දරුවන් දෙදෙනා මෙරට පදිංචියට පැමිණි අතර ජයන්ත මහතා තවත් වසර කිහිපයක්ම ඉතාලියේ රැකියාව කළේය.

සුනාමි උවදුර පැමිණි සමයේ සංචාරක ක්ෂේත්‍රය කඩාවැටුණු කාලයේ ජයන්ත මහතා නැවතත් ඉතාලිය බලා පිටත්ව ගියේය. ඉන් වසර කිහිපයකට පසු මෙරටට පැමිණි දා සිට මේ දක්වා ඉතාලි සංචාරකයන් සඳහා සංචාරක මාර්ගෝපදේශකයෙක් ලෙස කටයුතු කරයි. ඉතාලි යෑමට පෙර ඔහු පොලිස් සේවයේ සිටි කෙනෙකි.

දින 6 ක සංචාරය නිමවා

මෙහිදී අවසන් සංචාරකයන් වූයේ පෙබරවාරි 10-14 දක්වා, පෙබරවාරි 25 සිට මාර්තු 01 දක්වා හා මාර්තු 03 දා සිට මාර්තු 08 දක්වා යන සංචාරයන්‍ ය. මේ සියලුම සංචාරයන් එක්දින ඒවාය. අවසන් සංචාරක පිරිස පස්වරු 4.30 වනවිට ගුවන්තොටුපොළට ඇරලවා බිරියට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ පවුලේ වෛද්‍යවරයා වන නිශාන් වෛද්‍යවරයා හමුවීමට අංකයක් ලබාගන්නා ලෙසයි. අධිවේගී මාර්ගය ඔස්සේ නිවෙසට විත් වෛද්‍යවරයා වෙත ගිය විට ඔහු පැවසුවේ ඉතාලි ජාතිකයන් සමඟ සිටි නිසා ධ්.ච්.ඩ්. රෝහල වෙත යන ලෙසයි. පස්වරු 7.30 වනවිට ජයන්ත මහතා ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළු වී අවසන් ය. ආරක්ෂිතව ඇතුළු වී ඔහුව පරීක්ෂාකර පළමුව 4ඕ වාට්ටුවට ඇතුළු කොට සියලු පරීක්ෂණ වර්ග ලබාගෙන පසුවදා රාත්‍රිය වනවිට එහිම ඉහළ මාළයේ අවසන් කාමරය වන 5 වැනි කාමරය වෙත ඇතුළු කරන්නට විය.

මේ යන්නේ එල්ලුම් ගසටදෝ “ මට මර බිය කියන දේ මුලින්ම දැනුණේ එදා. ඉහළ මාලයට ගෙනියද්දී එල්ලුම් ගහට නියම වුණු කෙනෙක් යනවා වගේ මට හිතුණේ. මේ රෝගයට ඖෂධ නැහැ. මම විදේශිකයන් සමඟින් සිටියේ. මේ හැමදෙයක්ම දන්න නිසා මම යථාර්ථය හොඳීන්ම අවබෝධ කරගත්තා. මැරුණොත් මගේ මිනිය ගෙදරටවත් ගේන්න එපා කියලා මම බිරියට කිවා. හුස්ම ගැනීමේ අපහසුතාව සමඟින් අධික හතියත්, කෙළ ගිලින්නට බැරිකම, උණ මේ හැම දෙයකින්ම මම පීඩා වින්දා. හැබැයි මේ හැමදෙයක්ම වෙද්දි මම හිටියේ රෝහලේ වෛද්‍ය පරීක්ෂණ යටතේ. ඒ තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය.

මනුසත් බවින් පිරි I.D.H රෝහලේ කාර්ය මණ්ඩලය

 

වෛද්‍ය එරංග නාරංගොඩ මහතා මගේ ජීවක වෙදැදුරු වුණේ ඔහුයි. මට යළි ජීවයක් දුන්නේ එතුමායි. මට පුදුම කෑම අරුචියක් තිබුණේ. නාරංගොඩ වෛද්‍යවරයා මටත් දෙවැනි කොරෝනා රෝගියාටත් එතුමාගේ නිවෙසින් සාදා දුන් කැඳ කෝප්පයක් ගෙනත් දුන්නා. මට පුදුමාකාර සුවයක් ඒ කැඳ කෝප්පයෙන් ලැබුණේ. ඊට අමතරව රෝහලෙන් දුන්නු ඇපල්, දොඩම්, මිදි, යෝගට් මේ දේවල් විතරයි මම මුල් දින කිහිපයේ කෑවේ.

මට කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බව මුලින්ම පැවසුවේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් වන ගීතානි උඩුගමකෝරාළ මහත්මිය. ඇයත් පුදුමාකාර කරුණාවෙන් යුත් නිලධාරිනියක්. අපේ කාමරය, ඊට යාබදව ඇති නාන කාමරය, වැසිකිළිය දිනකට දෙවරක් පිරිසුදු කෙරෙනවා. මට පිජාමා පවා රෝහලෙන් දුන්නා. දිග ඒවා නිසා කොට වුණානම් හොඳයි කිව්වම රෝහල් සේවිකාවක් එය කපලා වාටි මහලා ගෙනත් දුන්නා.

මම කවමදාවත් රෝහල්ගත නොවුණු කෙනෙක්. දියවැඩියාව සඳහා හය මාසයකට වරක් විශේෂ.. වෛද්‍යවරයෙක් හමුවීම පමණයි කරන්නේ. ධ්.ච්.ඩ් රෝහල කියන්නේ මහ පුදුමාකාර තැනක්. මුළු රෝහල් කාර්ය මණඩලයම පුදුමාකාර ගති පැවැතුම් ඇති අය. මනුසත්කමින් පිරී ගිය ඔවුන්ට සැමදා ණයගැතියි. ඔවුන් රෝගීන්ට දක්වන සැලකිල්ල , දයාව, කරුණාව වදන්වලට පෙරළිය නොහැකියි.

කොරෝනා ආසාදිත යැයි සැක සහිත රෝගීන් ලෙස අප රෝහල්ගත වන මොහොතේ පටන් ප්‍රතිකාර කළයුතු අන්දම, ඖෂධ, විශේෂිත ඇඳුම් කට්ටල මේ හැම දෙයකින්ම සන්නද්ධවයි හිටියේ. එහෙම නොවුණා නම් මේ වසංගතය කොහෙන් කෙළවර වේවිද දන්නෙ නැහැ.

රුධිර ප්ලාස්මා ලබාදීමට

 

මට පුර්ණ සුවය ලබා නිවෙසට පැමිණි පසු තවත් අසාධ්‍ය තත්වයේ රෝගියෙකුට රුධිරය අවශ්‍ය යැයි දැන්වූ විට මගෙන් කළුබෝවිල රෝහලේදී රුධිර ප්ලාස්මා ලබාගැනීමක් සිදුකෙරුණා. ඒ මගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක තිබුණු නිසා දින 18 කින් සම්පූර්ණ සුවය ලබා නිවෙසට එන්න ලැබුණෙත් ඒ නිසායි.

රෝහලේදී අමිතිරිගල පාලිත ධම්ම හිමි මට නොයෙකුත් භාවනා ක්‍රමවල යොදවමින් සුවපත් කරන්නට වෙහෙස වූවා.

දැන් මම දින 21 ස්වයං නිරෝධායනය පවා අවසන් කරලයි ඉන්නේ.

මගෙන් මේ රෝගය බෝවුණේ එක් අයකුට පමණයි. ඔහුත් සංචාරක මාර්ගෝපදේශකයෙක්. දින 6 ක් පමණ සංචාරක හෝටල්වල අප එකම කාමරේ හිටියා. මම මගේ දරු පවුල බේරුවා. මුළු මත්තේගොඩම බේරුවා.

මත්තේගොඩ මගේ මුතුන් මිත්තන්ගේ සිට පැවත එන ගම. මම ඉන්නේ රණවිරු මාවතේ. එහේ සල්ගස් හංදිය කියන තැන පැරැණි කාලයේ අම්බලමක් තිබුණා. ගරා වැටුණු එහි ගල් කණුවක් පවා මා ළඟ තිබෙනවා. එහෙත් කොරෝනා හැදුණා කියලා දැනගත්තම ඇතැමුන් අපිව ගමෙන් එළවන්නත් අදහස් කරලා.

අවසන් වරට ඇඳීරිනීතිය ඉවත් කළ දවසේ මගේ බිරිය මට අවශ්‍ය ඖෂධ වගයක් ගේන්න මත්තේගොඩ ෆාමසියට ගියා. ඇය මාස්ක් එකක් පැලඳගෙනයි ගියේ. මේ වෙද්දී පවුලේ අයගේ නිරෝධායනය අවසන්වෙලයි තිබුණේ. ඒ ටිකට කවුදෝ ර්‍ථ.ඩ්.ධ්. මහත්තයට දැනුම් දීලා අපි මත්තේගොඩ කොරෝනා පතුරුවනවා කියලා. මම ඒ හැමකෙනෙක් දිහාම උපේක්ෂාවෙන් බලන්නේ. මට හැදුණේ ඒඩ්ස් නෙවෙයි.

පසළොස්වක පෝය 48 ක් නොකඩවා සිල්

මම නොකඩවා පසළොස්වක පෝය 48 ක් කතරගම කිරිවෙහෙරේ සිල් සමාදන් වුණු කෙනෙක්. මම හවසට නොවෙයි රාත්‍රියටයි සිල් පවාරණය කරන්නේ. වෙනත් සංචාරක මාර්ගෝපදේශකයන් දෙස බලන ඇසින් මා දිහා බලන්න එපා. මම ඊට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න සිත දියුණු කරගත් කෙනෙක් කියලයි මට හිතෙන්නේ.

සියලුම පුරවැසියන්ගෙන් මා ඉල්ලා සිටින්නේ කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇත්නම්, විදෙස් සංචාරය කළානම් හෝ එවැනි අය ඇසුරු කළා නම් හැංගෙන්න එපා. ඒ වගේම කොරෝනා සුවපත් වී රෝහලෙන් නික්ම ගිය අය දෙස වපර ඇසින් බලන්නත් එපා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.