දැන් දැන් බොහෝවිට හමුවන්නේ එතරම් රෝග ලක්ෂණ නැති රෝගීන්

මැයි 13, 2020
කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ

කොවිඩ් 19 වෛරසය ශරීරගතවූවන් බොහොමයක් අපේ මේ පුංචි දූපතේදී නවාතැන් ගෙන සිටිනුයේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේය.

ඉෂ්ට ⁣දේවතාවුන් වන් වෛද්‍ය කණ්ඩායමක්, රෝහල් කාර්ය මණ්ඩලයක් ඔවුන් සුවපත් කරනුයේ වෙද සත්කාරය පමණක් නොව හෙද සත්කාරයක ද නියැළෙමිනි.

කොරෝනා රෝගය සම්බන්ධයෙන් IDH රෝහලේ නවතම තතු කෙබඳු දැයි අසා දැනගන්නට අප හා සම්බන්ධ වූයේ එහි ඒකලන ඒකකය භාර (Isolation unit)  කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතාය. චීන ජාතික ලූ යෑන් මහත්මිය සුවපත් කිරීමේ කර්තව්‍යයේ සිට මේවනතුරුම එතුමන් නොකඩවාම කොරෝනා රෝගීන් පසුපසම සිටිමින් ඔවුන් සුවපත් කිරීමේ මහඟු මෙහෙවරක යෙදෙයි.

වෛද්‍යතුමනි මේවන විට IDH රෝහලේ අලුත්ම තත්ත්වය කුමක්ද?

දැනට රෝගීන් 140 ක් විතර මෙහේ ඉන්නවා. රෝහල් කාමර සහ සියලුම වාට්ටුවල ඉන්නේ කොරෝනා රෝගීන් පමණයි. බාහිර රෝගී අංශයෙන් ඇතුළත් කර ගන්නෙත් කොරෝනා ආසාදිත යැයි සැක කරන රෝගීන් පමණයි. දැන් නම් තවත් ඉඩ නොමැති තරමටම මුළු රෝහලම කොරෝනා රෝගීන්ගෙන් පිරීතිරී ගොසින්.

දැන් කොරෝනා ලක්ෂණ වෙනස් වෙලා කියනවා. මේ කාරණය ඇත්තක්ද?

දැන් දැන් බොහෝවිට හමුවන්නේ එතරම් රෝග ලක්ෂණ නැති රෝගීන්. සමහර රෝගීන්ට රෝග ලක්ෂණ ඇත්තේම නැහැ. පොඩි පොඩි රෝග ලක්ෂණ තියෙන පිරිසකුත් ඉන්නවා.

කිසියම් සංකූලතාවක් මතුවීගෙන එද්දි පෙනහලුවල ආසාදනයත් සමඟින් රුධිරයට ඔක්සිජන් සැපයීම අඩුවෙනවා. මෙහිදී රුධිර පීඩනයේ වෙනස්වීම්, නාඩිවැටීමේ වෙනස්වීම් නිරීක්ෂණය කරලා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනවා. කෘත්‍රිම ස්වසන ආධාරකවල පිහිට අවශ්‍ය නම් එය ලබා දෙනවා. මෙවැනි රෝගීන් බේරා ගැනීම තරමක් අපහසුයි.

දැන් වැඩිපුරම ඉන්නේ කුමන වයස් කාණ්ඩවල රෝගීන් ද?

අවුරුදු 20ත් 30ත් අතර රෝගීන් තමයි දැන් වැඩිපුරම වාර්තා වෙන්නේ. නාවික හමුදා සෙබළනුත් මේ අතරෙ ඉන්නවා. මේ රෝහලේ සිටි පළමු කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළා මීට දින කිහිපයකට පෙර සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

PCR පරීක්ෂණය නෙගටිව් වීම ඉක්මන් වීමට බලපාන්නේ ඒ ඒ රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණයද?

බොහෝවිට ප්‍රතිශක්තිකරණය තමයි මුල් වෙන්නේ. රෝග ලක්ෂණ අඩුවෙන් ඇති අය, තරුණ අය, කුඩා දරුවෝ ඉක්මනින් යථා තත්වයට පත්වෙනවා. වෙනත් ලෙඩ රෝග ඇති අය, සංකූලතා ඇති අයගේ සිරුරෙන් වෛරසය ඉවත්ව යෑම ප්‍රමාද වෙනවා.

ඇතැම් රෝගීන්ගේ වෛරසය මතුවන්නේ විටෙන්විට. ඒනිසා එක් PCR පරීක්ෂණයක් නෙගටිව් වුණත් ඊළඟ පරීක්ෂණය පොසිටිව් විය හැකියි. PCR පරීක්ෂණය නෙගටිව් වුණොත්, ඊළඟ පැය 24 දී තවත් PCR පරීක්ෂණයක් කරලා එයත් නෙගටිව් වුණොත් පමණයි, රෝගියා රෝහලෙන් මුදා හැරෙන්නේ. සති දෙකක් වැනි කාලයකදි වෛරසය ශරීරයෙන් පිටව යන රෝගීන් වගේම දින හතළිස් ගණන් වෛරසය ශරීරගතව තිබෙන රෝගීනුත් මෙම රෝහලේ ඉන්නවා.

IDH රෝහලේ් කොරෝනා වැලඳුණු පුංචි දරුවනුත් මේවන විට ඉන්නවද?

පුංචි දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. ඒ අයට සංකූලතා මුකුත් නැහැ. රෝග ලක්ෂණත් නැති තරම්.

කොරෝනා රෝගීන් වෛද්‍ය අධීක්ෂණය සඳහා ලක් වන්නේ කවරාකාරයෙන් ද?

මම ඇතුළුව කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්වන ආනන්ද විජේවික්‍රම, දමයන්ති ඉඩම්පිටිය අපි දවසකට වතාවක් සියලුම කොරෝනා රෝගීන් නිරීක්ෂණය කරනවා. දැඩි සත්කාර ඒකකයේ රෝගීන් සිටිනවිට ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙනවා .

රෝගීන් වගේම රෝහල් කාර්යමණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳවත් අපිට හිතන්න වෙනවා.ඒ කෙනෙකුට කොවිඩ් 19 වෛරසය ශරීරගත වුණොත් හැමෝම මනසින් වැටෙනවා. කොතරම් අපහසු වුණත් ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇතුළු උපාංග නියමාකාරයෙන් පරිහරණය කිරීම සිදු වෙනවා.

රෝහල් කාර්යමණ්ඩලයට අපි හැමවිටම උපදෙස් දෙන්නේ අගුණ කෑම කන්න එපා. පෝෂ්‍යදායි ආහාර හැකි හැමවිටම ගන්න. වැඩිපුර ජලය පානය කරන්න. හොඳ නින්දක් නිදා ගන්න. ආතතිය ඇතිකර ගන්න එපා. ස්වසන පද්ධතිය ආශ්‍රිත තත්ත්වයක් නිසා රෝගය දරුණු වෙන්න පුළුවන්. රෝහල් කාර්යමණ්ඩලයේ නිරෝගීතාව හරිම වැදගත්. ඔවුන් රෝගීන් වෙනුවෙන් ඇප කැප වූ පිරිසක්.

සුව වී නි⁣වෙස් කරා යන රෝගීන්ට IDH රෝහලෙන් ලබා දෙන උපදෙස් මාලාවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා.

මාත් එවැන්නක් දැකලා තියෙනවා. එහි ඖෂධ පවා තියෙනවා. අපි එවැනි උපදෙස් මාලාවක් නම් රෝහලෙන් නිකුත් කරන්නේ නැහැ. සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනය වීමට, හොඳීන් විවේක ගැනීම, සමබල ආහාරවේලක් ගැනීමටයි උපදෙස් දෙන්නේ. ඖෂධ නම් මුකුත්ම දෙන්නේ නැහැ.

සෞඛ්‍ය අංශ ලබා දෙන වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න. එසේ වුවහොත් කොරෝනා මැඬලීමේ සටන අප ජය ගත්තා වේවි.

 

ඡායා

 ටෙනිසන් එදිරිසිංහ