සුව නීති පිළිනොපැද්දොත් තත්ත්වය භයානකයි

ඔක්තෝබර් 14, 2020

 

මේ වන විටත් සැලසුම්කර තිබෙන මංගල උත්සව පැවැත්වීමට හැකියි. එහෙත් මංගල්‍යයට පැමිණිය යුත්තේ සියලු සෞඛ්‍ය නීති පිළිපදිමින් කී දෙනෙක් පැමිණෙනවාද කියා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තීරණය කරනවා. පැමිණෙන සියල්ලන්ගේම නම්, දුරකථන අංක ලබා ගැනීම වැදගත්.

අවමඟුල් උත්සවද පැවැත්විය යුත්තේ ඒ ආකාරයෙන්. පුද්ගලයකු මිය ගිය පසු ඉක්මනින් අවමඟුල් කටයුතු සිදු කළ යුතුයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ කාන්තාවට රෝග ලකුණු පහළ වෙන්නේ සැප්තැම්බර් 28 වැනිදා. සැප්තැම්බර් 30 රෝහල් ගත වෙනවා. ඒත් ආයතනයේ සේවක සේවිකාවන්ට සැප්තැම්බර් 20 වැනිදා සිට ස්වසන රෝග තත්ත්වයක් තිබිලා. 20 වැනිදා රෝග ලකුණු මතුවුණත් ඊටත් දවස් 10 කට කලින් විසබීජ ශරීර ගතවී තිබෙන්න පුළුවන්.

මෙවර රෝගීන්ගේ ශරීරගත වෛරස් ප්‍රමාණය වැඩියි. වැඩි ප්‍රමාණයක් වෛරස් ඇති විට රෝගය අන් අයට වැලඳීම ද වැඩියි. වෛරස් ප්‍රමාණය වැඩි වීමට හේතු දෙකක් බලපාන්න පුළුවන්. එක් හේතුවක් මේ අය පසු වන්නේ රෝග වැලැඳුනු මුල් අවස්ථාවේ.

තවත් හේතුවක් වෛරසයේ හැසිරීම අනුව වැඩි වෙන්නත් පුළුවන්. කොහොම වුණත් රෝගය පැතිරීමේ ඉඩ වැඩිවෙලා. නව කොරෝනා වෛරසයටත් කවුළු සමයක් තියෙනවා. එවිට පරීක්ෂණයෙන් රෝගය හඳුනා ගන්න බෑ.

රෝගය මාස ගණනක් පවතිනවා. රෝග වැළඳී මාස 6 - 7 ක් පමණ රෝගයට එරෙහි ප්‍රතිශක්තියක් පවතිනවා.

විසබීජහරණ කුටි රෝගය මර්දනය කිරීමේදී ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. එයින් වෛරසය විනාශවන්නේ නැහැ. ඒවා පරිසරයටත්, පුද්ගලයාටත් හානිකරයි. ඒ යන වියදමින් මුව ආවරණ, සබන් ලබාදීම වඩාත් ප්‍රයෝජනවත්.

 

තා ඉක්මනින් ඕනෑම සිදුවීමක් අමතක කර දැමීම ශ්‍රී ලාංකේය අපේ ජාන ගත පුරුද්දක්. කෝවිඩ් - 19 වසංගතය ගැනත් අපේ අය සැහැල්ලුවට සිතන්න පටන්ගත්තා. මෙය ගෝලීය වසංගතයක්.

ලෝකය පුරාම වසංගතය දවසින් දවස උග්‍ර වෙද්දී අපේ රටේ අය සියලු සුව උපදෙස් අමතකර දෛනික ජිවිතය ගෙන ගියේ අපට ඔය ලෙඩේ හැදෙන්නේ නැති විදියටයි. ගෝළිය කරණය වුණු සමාජයක වසංගතයක් ගෝලීය කරනුවීම වළකාලිය නොහැකියි. අද අප භුක්තිවිඳින්නේ එහි ප්‍රතිඵලයි. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්හි විශාලම කෝවිඩ් පොකුර සමඟ අමතක කළ නව කොරෝනා වෛරසය යළි කාගේත් මතකය අවදිකර ඇත්තේ හද ගැස්ම වේගවත් කරමින්. ඇතිවී තිබෙන අලුත් තත්ත්වය ගැන තොරතුරු දැන ගැනීමට සුදුසුම සුව විරුවකු වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා හමුවූයේ ඔබේ සුව ආරක්ෂාව උදෙසායි. මේ ඔහු අපට ලබාදුන් උපදෙස්.

මේ අවස්ථාවේ කාන්තාවට වැඩි වගකීමක් පැවරී තිබෙනවා නේද?

නිවෙසක සෞඛ්‍ය තීරණ ගන්නේ කාන්තාවයි. දරුවා බිහි කළදා මවු කිරිදෙනවා. එතැනින් ඇරැඹෙන යහපත් සෞඛ්‍ය පුරුද්ද දිගටම ක්‍රියාත්මක කෙරෙනවා. කලට වේලාවට දරුවා එන්නත් කිරීම, පවුලේ සාමාජිකයන්ට සමබලැති ආහාර පාන ලබාදීම වැනි සියලු කටයුතු සිදු වන්නේ ඇය අතින්. පවුලේ කුඩාම සාමාජිකයාගේ සිට වයස අවුරුදු හැටපහ ඉක්මවූ වැඩිහිටියා දක්වා සියල්ලන්ගේම යහපත් සෞඛ්‍යයේ නියමුවා වන්නේ ඇයයි.

මේ අවස්ථාවේ ඇයට විශාල වගකීමක් පැවරී තිබෙනවා. නිවෙසේ වැඩිහිටියන් සිටිනවා නම් ඒ අයට දියවැඩියාව, හදවත් රෝග වැනි බෝ නොවන රෝග ඇත්නම් රෝග පාලනය කරන්න උදව්වෙන්න. ඔවුන්ට හැකි තරම් නිවෙසේ රැඳී සිටින්න සලස්වන්න.

මුව ආවරණය පැලඳීම, සබන් ගා අත් සේදීම, දුරස්ථභාවය පවත්වා ගැනීම ඉතා වැදගත්. ඒ ගැන පවුලේ සියල්ලන් දැනුවත් කරන්න.

සමහරු මුව ආවරණ දාන්නේ කට වැසෙන්න විතරයි. නාසය, කට දෙකම මුව ආවරණයෙන් ආවරණය විය යුතු නමුත් එසේ කරන්නේ නෑ. එනිසා විසබීජ ශරීරගත වීමේ අවදානමක් පවතිනවා. ගෘහණිය පවුලේ පරමාදර්ශී චරිතය විය යුතුයි.

අපේ ශ්‍රම බලකායෙත් සැලකිය යුතු පිරිසක් කාන්තාවන් ඉන්නවා.

දැන් රෝගය සමාජගත වෙලාද?

අපි ඉන්නේ දැඩි අවදානමක. වෛද්‍යවරුන් දෙන උපදෙස් සැලකිල්ලට නොගත්තොත් රෝගය සමාජගතවීම වළක්වන්න බෑ. තවම අප ඉන්නේ පොකුරු හඳුනා ගන්නා අවස්ථාවේ. මුලින් චීන ජාතික කාන්තාවක් හඳුනා ගත්තා. ඉන්පසු බේරුවල, සුදුවැල්ල, කන්දකාඩුව වැනි තැන්වලින් කෝවිඩ් පොකුරු හඳුනා ගත්තා. ඒවායේ වැඩිපුර හිටියෙ පිරිමි. බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලක් නිසා කාන්තා පක්ෂය රෝගයට ගොදුරුවෙලා තියෙනවා වැඩියි.

මුලින්ම හඳුනාගත් කාන්තාවට විද්‍යුත් කැළෑ පත්තර හෙවත් සමාජ වෙබ් අඩවි හරහා දරුණු සහ අප්‍රසන්න ලෙස පහර දුන්නා. රෝගය මැඬලීමේදී මෙවැනි ක්‍රියාකාරකම් මොනතරම් භයානකද? බරපතළ ද?

එවැනි පහත් ක්‍රියාකාරකම්වලින් සිදුවන්නේ රෝගය තවත් පැතිරීමයි. ලෝකයේ මහා බලවතා අමෙරිකානු ජනපති ට්‍රම්ප්ට, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්ස්න්ට රෝගය වැලඳිලා. මෙය තමන් කළ වරදකින් සෑදෙන ලෙඩක් නොවෙයි. පැපොල වගේ තවත් වෛරස් රෝගයක්. ඒ නිසා සමාජ වෙබ් අඩවි මඟින් අපහාස කිරීම උඩ බලාගෙන කෙළ ගැසීමක් වගේ. ඇයට මෙන්ම තමන්ට ද අවදානමක් ඇති බව අමතක කළ යුතු නැහැ. කළ යුත්තේ රෝගීන් කොන්කිරීම සමාජ වෙබ් අඩවිවලින් පහරදීම නොව ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර පතා යාමට උනන්දු කරවීමයි.

මේ අවස්ථාවේ සියලු උණ වර්ගවලින් ආරක්ෂාවීම වැදගත් නේද?

මේ ඩෙංගි හිස ඔසවන කාලයක්. මී උණත් තියෙනවා. ඉන්ෆ්ලුවෙන්සාත් වැලඳෙනවා. කෝවිඩ් - 19, ඉන්ෆ්ලුවෙන්සා, රෝග ලක්ෂණ සමානයි. මි උණට, ඩෙංගි රෝගයට කැස්ස එන්නෙ කලාතුරකින්. උණට අමතරව ඇඟේ පතේ වේදනාව වැනි තවත් ලකුණු ද ඇති වෙනවා. උණ ඇත්නම් අප සැකකරලා පීසීආර් (ර්‍ථඛ්අ) පරීක්ෂණය කරන්නේ ඒ නිසයි.

කෝවිඩ් - 19 සම්බන්ධයෙන් පැතිරෙන අසත්‍ය සෞඛ්‍ය ප්‍රවෘත්ති, වැරැදි තොරතුරු, නිවැරැදි කරන ක්‍රමවේදයක් තියෙනවාද?

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මඟින් බරපතළ ලෙස සමාජයට හානියක් සිදුවන වැරැදි තොරතුරු නිවැරැදි කරනු ලබනවා. ඹඹඹ.ඩනඡ.ඩඥචතබඩ.ඨධම.තඬ වෙබ් අඩවියට පිවිසීමෙන් සත්‍ය තොරතුරු දැන ගන්න ලැබෙනවා.

සුව නීති කඩකරන්නේට දඬුවම් නොකරන්නේ ඇයි?

මුව ආවරණ පැලඳීම, සබන් ගා දෑත් සේදීම, දුරස්ථභාවය පවත්වා ගැනීම චර්යාත්මකව ඇතිකරගත යුතු වෙනසක්. දඬුවම් දී ඇති කළ යුත්තක් නොවෙයි. පොලිසිය දැක්කොත් විතරක් හෙල්මට් දානවා වගේ මුව ආවරණ (ෆේස් මාස්ක්) දාන්නත් කට්ටිය පුරුදු වෙලා. මේක අවාසනාවන්ත තත්ත්වයක්. හෙල්මට් නොදැම්මොත් අනතුරකින් මිය යාමේ අවදානමක් තියෙන්නේ තමන්ට. ඒ වගේම මුව ආවරණ නිසිලෙස නාසය, මුව වැසෙන ලෙස නොපැලඳුවොත් කෝවිඩ් - 19 වැලඳීමේ අවදානම ඇත්තේත් තමන්ටමයි. සුව නීති නොපිළිපැදීමෙන් රැවටෙන්නේ තමන්මයි. ඒ වගේම තවත් අහිංසක ජීවිත ගණනාවකටම තර්ජනයක් වෙනවා.

පොදු වාහනවල යද්දී දුරස්ථභාවය පවත්වා ගැනීම අසීරුයි නේද?

අපේ වගේ දියුණු වෙමින් පවතින රටක එය අසීරුයි. ඒත් මුව, ආවරණ පලඳිනවා නම්, සමාජයට ගොස් පැමිණි පසු සබන් ගා අත් සෝදනවා නම් රෝගය වැලඳීම අවම කරගන්න පුළුවන්.

නිවෙසේ සිට රාජකාරි කිරීම, අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් නිවෙසින් බැහැරට යාම වැදගත්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය කාර්යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් නිවෙසේ සිට රාජකාරි කරනවා. ඔවුන් කෙතරම් හොඳින් නිවෙස් සිට රාජකාරි කරනවාද කිව්වොත් නිවාඩු ගත්තේ මහත්මා ගාන්ධි තුමාගේ ජයන්තිය දී තිබුණු ඔක්තෝබර් 2 වැනිදා පමණයි. නිවෙසේ සිට රාජකාරි කරනවා කියා රාජකාරි වෙනුවට නිවෙසේ රාජකාරි කිරීම වැරැදියි.

අපේ අසල්වැසි ඉන්දියාවේ මේ වන විට කෝවිඩ් - 19 න් හැත්තෑ දහසකට අධික පිරිසක් මිය ගිහින්. ආසාදිතයන් ගණන මිලියන හයක් ඉක්මවලා. සුළඟින් බෝවීමේ අවදානමක් ඇති රෝගයක් වීම නිසා ඉන් අපේ රට දැඩි අවදානමකට මුහුණ පානවා නේද?

ඉන්දියාවෙන් අපේ රටට රෝගය සුළඟින් ඒමේ අවදානමක් නෑ. ඒ රටින් එන අයට ලංකාවේ සංචාරය කරන්න දෙන්නෙ නිරෝධායනය වුණාට පස්සේ. ඒත් නීති විරෝධී ලෙස මෙරටට පැමිණෙන ඉන්දියානුවන් සිටිනවා. ඒ තැන් අපි හඳුනාගෙන ඇති නිසා නිතර එවැනි මුහුදු තීර ආශ්‍රිත ගම්මානවල සැක සහිත ජනතාව අප පීසීආර් පරීක්ෂණයට ලක්කරනවා.

නව කොරෝනා වෛරසයේ සංකූලතා බොහොමයි. රෝගය සුව වුවත් අතුරු ආබාධවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් තිබෙනවා.

රෝගය වැලඳී මිය ගියොත් අඩු තරමේ නිවෙසට රැගෙන විත් ගෞරවාන්විතව අවමඟුල් උත්සවයක් කිරීමටවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. කෝවිඩ් - 19 වැලඳී ලොව දියුණුයැයි පිළිගත් රටවල මිනිසුන් පවා මහ මඟ මිය යනවා. අපත් ලෝකයට විවෘතයි. ඒ නිසා කෝවිඩ් - 19 න් ගැලවීමක් අපටත් නැහැ. කළ යුත්තේ ජීවිත කාලය පුරාම කෝවිඩ් - 19 වසංගතයට අපව ගොදුරු කර ගත නොහැකි ලෙස ජීවත් වීමයි. නැතිනම් අමෙරිකාවේ, ඉන්දියාවේ තත්ත්වය ලංකාවේ ඇතිවීම වළක්වන්නට බැහැ. අපේ රජය, සුව විරුවන් කොතරම් උත්සාහ ගත්තද රෝගයෙන් වැළකී සිටීමේ වගකීම ඔබ අතින් ඉටු නොවුණොත් රජයත්, සුව විරුවනුත්, පවුලේ සමාජයේ සාමාජිකයනුත් යන සියල්ලන්ටම ඊට වන්දි ගෙවීමට සිදුවෙනවා.

 

උපදෙස් - සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංග රෝග විද්‍යාඥ

විශේෂඥ වෛද්‍ය

සුදත් සමරවීර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.