බියකරු කොරෝනාව පුංචි පියවරකින් පරාජය කරමු

සියයට හැත්තෑවකට වඩා ඇල්කොහොල් අඩංගු සබන් හෝ සේදුම් දියරයකට සැණෙකින් වෛරසය විනාශකර දැමීමට පුළුවන්.
නොවැම්බර් 18, 2020

සියයට හැත්තෑවකට වඩා ඇල්කොහොල් අඩංගු සබන් හෝ සේදුම් දියරයකට සැණෙකින් වෛරසය විනාශකර දැමීමට පුළුවන්.

අද වැඩි දෙනකුට දවස උදා වන්නේත් දවස අවසන් වන්නේත් කෝවිඩ් - 19 එසේත් නැත්නම් නව කොරෝනා වෛරසය සමඟින්. එය පුදුමයක් නොවෙයි.

අප මේ අත්දකින්නේ එදා මෙදා තුර ලෝකයේ ඇතිවූ දරුණුම වසංගතයයි. මහ බලවතුන් දණ ගැස්සූ නමුදු නව කොරෝනා වෛරසය යනු ජීවියෙක්වත් නොවෙයි. එය ආරක්ෂිත ලිපිඩ තට්ටුවකින් ආවරණය වී ඇති ප්‍රෝටීන් අණුවක් පමණයි. මේ වෛරසය ඇස, කන, නාසය හෝ මුඛය මඟින් සිරුරට ඇතුළු වෙනවා. වෛරසය මේ ස්ථානවල ඇති ශ්ලේෂ්මල මඟින් සිරුරට ඇතුළු වෙනවා. සෛල මඟින් වෛරසය අවශෝෂණය කරගන්නා විට එය විකෘතිවී ආක්‍රමණශීලී බවට පත්වෙනවා. වර්ධනය වෙන සෛල බවට පත්වෙනවා.

කෙදිනත් වෛරස මිනිසාට බරපතළ තර්ජනයක්. ආගන්තුක සෛලයක් හමුවන තුරු වෛරසයක් යනු කිසිවක් කරගත නොහැකි අසරණ අප්‍රාණිකයෙක්. ගුණනය වීමට ආගන්තුක සෛලයක් හමුවූ පසු එහි සැබෑ බියකරු ස්වරූපය පෙනෙන්නට ගන්නවා. මේවා ස්වභාවයෙන්ම ඉතා කුඩායි. ජීවී කීමට නොහැකි වාගේම අජීවී කීමට ද නොහැකියි. බැක්ටීරියා වැනි වෙනත් රෝගකාරක බීජ, ප්‍රතිජීවක මඟින් මර්දනය කිරීමට පුළුවන්. ප්‍රතිජීවක බැක්ටීරියාවේ සෛල බිත්තියට පහර දෙනවා. නැවත වර්ධනය වීම වළක්වනවා. ඒත් වෛරසවලට ඒ ක්‍රමවේදය හරියන්නේ නැහැ.

වෛරසවලට සෛල බිඳ දැමීමේ හැකියාවක් නැහැ. කළ හැක්කේ එහි ඇති ප්‍රෝටීනය තවත් ප්‍රෝටීනයකට බැඳීමයි. වෛරසය සෛලය තුළ සොරකු ලෙස ක්‍රියා කරනවා. වෛරසය වර්ධනය වීමට ආගන්තුක සෛලයේ යාන්ත්‍රණය සොරා ගන්නවා.

මෙවැනි වෛරසයන්ගෙන් ආරක්ෂා වීමට මිනිස් සිරුරේම ආරක්ෂක පද්ධතියක් තිබුණත් එය ප්‍රමාණවත් නොවන අවස්ථා තිබෙනවා. එවිට වෛරසය සීග්‍රයෙන් ගුණනය වන අතර එක් පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවීමට පටන් ගන්නවා.

සෙම්ප්‍රතිෂ්‍යාව වැනි වෛරස් රෝගවලට ඇති ප්‍රතිකාරය ඇඳ විවේකය පමණයි. නව කොරෝනා වෛරසය ආසාදිත වූ සමහරුන් තමන්ට ඖෂධීය ප්‍රතිකාර ලබා නොදෙන බවට චෝදනා කළ ද සැබෑවටම වෛරස් රෝගවලට ප්‍රතිකාර අවමයි. වෛරස ප්‍රතිරෝධී ඖෂධ තවමත් ඖෂධ නිෂ්පාදකයන්ට අභියෝගයක්.

වෛරසය ශරීරගත වීමට පෙර පහසුවෙන්ම මට්ටු කිරීමට පුළුවන්. කෝවිඩ් - 19 යකාට බිය නොවී කළ යුත්තේ ද එයයි. නව කොරෝනා වෛරසය කෙතරම් භයානක වුවත් ඉහළ උෂ්ණත්වයට, ඇල්කොහොල් ( මධ්‍යසාර ) සහ සියයට හැත්තෑවකට වඩා ඇල්කොහොල් අඩංගු සබන් හෝ සේදුම් දියරයකට සැණෙකින් වෛරසය විනාශකර දැමීමට පුළුවන්. නිතරම සෞඛ්‍ය බලධාරීන් ඇල්කොහොල් ඇති සබන් වර්ගයකින් දෑත් සෝදන ලෙසට උපදෙස් දෙන්නේ ඒ නිසයි. හැබැයි මේ මට්ටුව කිරීමේදී කඩදාසිය ළිපේ දාලා වගේ දෑත් සේදීමෙන් නම් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. සබන්වලින් කරන්නේ වෛරසය වටා ඇති තුනී මේද පටලය විනාශ කිරීමයි. පෙණ නඟින තුරු සබන් ගල්වා අඩු වශයෙන් තත්පර විස්සක්වත් සේදිය යුත්තේ ඒ නිසයි. වෛරසය වටා ඇති මේද තට්ටුව සබන් මඟින් දියකර හැර විනාශකර දමනවා. නිතර දෑත් සේදීමට සිදුවන නිසා දෑත් වියළීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මොයිස්චර්රයිසර් ගල්වා තෙත් බවක් දෑතට ලබා දිය යුතුයි. වියළි අත්වල ඉරි තැලීම් ඇතිවිය හැකි අතර ඒවායේ ද විසබීජ රැඳී තිබෙන්න පුළුවන් නිසා ඝන, උකු බවින් යුතු මොයිස්චර්රයිසයක් තෝරා ගන්න.

නිවෙසට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්න. තදබදය ඇති කොටුවූ තැන්වල වෛරස් සාන්ද්‍රණය වැඩියි. ඒ නිසා නිවෙස හොඳ ස්වාභාවික වාතාශ්‍රයක් ඇති තැනක් බවට පත් කරන්න.

තාපයට ද වෛරස විනාශ කිරීමට පුළුවන්.

මෘදු මතුපිටක වියළි වෛරසය දින පහක් පමණ පවතිනවා. වායුසමීකරණය කළ පරිසරය වෛරස්වලට අපූරු සරු බිමක්. සෙල්සියස් අංශක 56ට මිනිත්තු 15 ක් රත් කිරීමේදී නව කොරෝනා වෛරසය වුවත් විනාශ වෙනවා. නිවෙසින් බැහැරට ඇඳගෙන යන ඇඳුම් උණුසුම් ජලයෙන් සේදීමෙන් විසබීජ විනාශ වෙනවා.