රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කියන්නේ මොකක්ද?

Rapid Antigen Test
නොවැම්බර් 25, 2020

කොරෝනා නැතිනම් කෝවිඩ් -19 වෛරසය මුළු ලෝකය පුරා මිනිස් ජීවිත ලක්ෂ ගණනින් බිලි ගනිමින් පැතිර යාමත් සමඟ එය හඳුනා ගන්නා පරීක්ෂණය වූ පී සී ආර්. කිරීම ගැන කාගේත් අවධානය යොමුවුණා.

එහෙත් කොරෝනා ව්‍යාප්තිය වැඩි වීමත් සමඟ එම පරීක්ෂණය සඳහා වැයවන මුදලට වඩා අඩු මුදලක් වැය වන වෙනත් පරීක්ෂණ කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවුණා. ඒ නිසාම කරලියට පැමිණි පරීක්ෂණය වූයේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් පරීක්ෂණයයි.( Rapid Antigen Test ) රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල මෙරටට ගෙන ඒම පිළිබඳ පසුගිය දිනවල බෙහෙවින්ම කතාබහට ලක්වුණා. මේ වන විට රටපුරා රෝහල් වල මේ පරීක්ෂණය කිරීම ආරම්භ කරලා. ඒ නිසා ඔබ ඒ පිළිබඳව යම් දැනුවත් බවක් ලැබ සිටීම වැදගත් යැයි අපට සිතුණා.

*ඇත්තටම මොකක්ද මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියන්නේ ?

රැපිඩ් කියන්නේ ක්ෂණික කියන දේ. ක්ෂණික පරීක්ෂණයක් කියන්නේ රසායනාගාර පරීක්ෂණවලට අදාළව ක්ෂේත්‍රයේ දී හෝ ඇඳක දි හෝ රෝගි⁣යකුට අතිශය හදිසි අවස්ථාවකදී වෛද්‍යවරයකුට දළ අවබෝධයක් ලබා ගැනීම සඳහා සකසන ලද ඇටවුමකි.රසායනාගාරයක ඇති ඕනෑම පරීක්ෂණයක් ක්ෂණික පරීක්ෂණයක් ලෙස කළ හැකියි.මේ අනුව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ලෙස සිදුවන්නේ රසායනාගාරයක ඇති විධිමත් පරීක්ෂණයක් සඳහා ළඟා වීමට නොහැකි අවස්ථාවකදී එනම් රසායනාගාර පරීක්ෂණය සිදුවන තුරු වෛද්‍යවරයකුට දළ අවබෝධයක් ලබා ගැනීම සඳහා වූ ක්‍රියාවලියයි.

ක්ෂණික පරීක්ෂණයක් මඟින් ලබාදෙන වාර්තාව හැකි ඉක්මනින් නිවැරැදි ක්‍රමවේදයට අදාළව රසායනාගාරයේ දී තහවුරු කරගත යුතුයි.

ඔබ හොඳීන් ම දන්නා පරිදි දියවැඩියාව, වකුගඩු රෝග, ඩෙංගු ...වැනි රෝග තත්ත්වවලදී ඒවි ක්ෂණික පරීක්ෂණයන් දැකගත හැකියි.

*ප්‍රතිදේහ පරීක්ෂණ යනු,

මේ ඇටවුමේ එකක් ක්ෂණික. අනෙක ප්‍රතිදේහජනක. ප්‍රතිදේහ ජනකයක් ක්ෂණික පරීක්ෂණයක් ලෙසත් බලාගත හැකියි. රසායනාගාර ක්‍රමවේද යටතේත් තහවුරු කරගත හැකියි. ප්‍රතිදේහ ජනකයක දී හැමවිටම අපේ ශරීරයට ඇතුළු වූ කිසියම් ආගන්තුක ශරීරයක් හඳුනා ගැනීම සඳහා සුවිශේෂිත ව්‍යුහයන් තිබේ. ඉන් එක් ව්‍යුහයක් වන්නේ PCR  පරීක්ෂණය සඳහා ගන්නා න්‍යෂ්ටික අම්ලයි. මීට අමතරව මිනිස් සිරුර විසින් සාදා ගන්නා ප්‍රෝටීන් තිබේ.

මිනිස් සිරුරට පොදු ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල මෙන්ම ඒ ඒ ජීවියාට විශේෂිත න්‍යෂ්ටික අම්ල සහ ප්‍රෝටීන් ද තිබේ.

ප්‍රතිදේහජනකයක් ලෙස අපේ ශරීරය හඳුනා ගන්නේ අපේ ශරීරයට ආගන්තුක ශරීරයකි. එනම් අපේ ශරීරය විසින් පිටස්තරයෙක් ලෙස හඳුනා ගන්නා ප්‍රෝටීන හෝ න්‍යෂ්ටික අම්ලයි. අපේ ශරීරය කිසිම විටෙක පිටස්තර ශරීරයකට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැහැ.

අපට අදාළ නැති ප්‍රෝටීනයක් මෙලෙස හඳුනා ගනියි. මිනිස් සිරුරට අදාළ ප්‍රෝටීනයක් ආගන්තුක ලෙස සලකන්නේ නැත.

අපට හානියක් කිරීමට පැමිණි විරුද්ධවාදියකු ලෙස හඳුනා ගැනීම ප්‍රතිදේහ ජනකයකි.එය විසින් ඇති කරන උත්තේජනය හරහා ප්‍රතිදේහයක් නිර්මාණය කරයි.

මේ ප්‍රතිදේහජනක, වෛරස වෙන්නට පුළුවන්. බැක්ටීරියා වෙන්නට පුළුවන්. පොදුවේ මේවා විසබීජ නම්වේ. සෑමවිටම විසබීජයක් ඇතුළු වූ විට අපේ ශරීරය ක්‍රියාත්මක වේ. වෛරස වර්ගයේ විස බීජයක් ඇතුළු වූ විට සුවිශේෂීයි. එවිට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ප්‍රතිදේහ සාදයි.

කෝවිඩ් 19 වෛරසයට සුවිශේෂීත න්‍යෂ්ටික අම්ලයක් තිබේ. ඒ න්‍යෂ්ටික අම්ල රටාව හඳුනා ගත් විට එය කෝවිඩ් 19 වෛරසයට පමණක් ම අනන්‍ය වූවක් බව හඳුනා ගන්නවා.PCR  පරීක්ෂණයක් කළවිට හඳුනා ගැනෙනවා ඒ කෙනාට කෝවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇති බව. එසේම කෝවිඩ් 19 වෛරසය⁣ට අදාළ ප්‍රෝටීන් විශේෂයක් තිබෙනවා. මෙහිදී ප්‍රතිදේහජනකයක් ලෙස හඳුනා ගන්නේ ප්‍රෝටීනයයි.

මේ ප්‍රතිදේහජනකයට විරුද්ධව ශරීරය ප්‍රතිදේහ සාදයි. අපි උපකල්පනය කළොත් ප්‍රතිදේහජනක 100ක් , ප්‍රතිදේහ 50 ක් නම් අදාළ වෛරසය තවමත් ශරීරයේ ඇති බව පෙන්වයි. ප්‍රතිදේහ 100 ක් නම් ඇත්තේ එම වෛරසය මුළුමනින්ම විනාශ කර තිබෙන බව තහවුරු වෙයි.

මෙහිදී රුධිර පරීක්ෂණයක් සිදු කළහොත් ප්‍රතිදේහජනක බලාගත නොහැකි වේ.ප්‍රතිදේහජනකවලට විරුද්ධව ප්‍රතිදේහ සෑදීමට දින හතක පමණ කාලයක් ගතවේ. කෝවිඩ් 19 සෑදී දින හතක් ගිය පසු ප්‍රතිදේහජනක පරීක්ෂාවෙන් නිසි ප්‍රතිපල ලැබෙන්නේ නැත.

මේ අනුව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් යන්න ක්ෂණිකව ක්ෂේත්‍රගතව කළ යුතු වූවක්. නමුත් ඉන් කුමන ප්‍රතිපලයක් ලැබුණත් රසායනාගාරයට අදාළ සුවිශේෂි පරීක්ෂණ මඟින් සියල්ල හැකි ඉක්මනින් තහවුරු කරගත යුතුවේ. ඒ වන තෙක් රෝගීයාගේ ජීවිත ආරක්ෂණය වෙනුවෙන් හැරුණු කොට රෝගියා සම්බන්ධයෙන් රෝගය සම්බන්ධයෙන් තීන්දු, තීරණ ගන්නට යෑම සුදුසු නොවේ.

දින හතෙන් පසු ප්‍රතිදේහජනක පරීක්ෂාවෙන් පලක් නොවේ. රෝගීයාගේ ශරීරයේ කෝවිඩ් 19 වෛරසය තිබුණත් ප්‍රතිදේහජනක පරීක්ෂාවට හසු නොවේ. එසේ නම් කෝවිඩ් 19 වෛරසය ශරීරගත වී දින හතකට පසු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කිරීමෙන් පලක් නොවේ.

රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලය අවශ්‍ය වන්නේ ක්ෂේත්‍රයේ රැන්ඩම් ( Random )  හෙවත් අහඹු පරීක්ෂණ සිදු කිරීම සඳහා යි. ක්ෂේත්‍රයේ අහඹු පරීක්ෂණයට භාජනයවන තැනැත්තා කොවිඩ් 19 වෛරසය ශරීරගත වී දින එක ද දෙක ද දින හතට වැඩි ද යන්න නිශ්චිතව කිව නොහැකියි.දින හතක් ගත නොවී නම් එම රෝගියාගේ සිරුරේ ප්‍රතිදේහජනක ත් දින හතක් පසු වී නම් ප්‍රතිදේහ ත් තිබේවි.රෝගියා සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගැනීමට නම් රසායනාගාර පරීක්ෂණයකට යා යුතුමයි.

ප්‍රතිදේහ නම් ඇත්තේ එය IgM හෝ  IgG  යනුවෙන් කොටස් දෙකකි. IgM ප්‍රතිදේහ නම් එම රෝගියා එම කාලවකවානුවේ ආසාදනයක් ඇත්තෙකි. IgG  ප්‍රතිදේහ නම් කලින් ආසාදිත වූවෙකි.

වෛරස් රෝගවලදී එක් වරක් එම රෝගය වැළඳුණු විට ප්‍රතිදේහ සෑදීම මතකයේ තැන්පත් කර ගනියි.වෛරසය නැවත ආවිට මතකය විසින් ප්‍රතිදේහ සාදයි.එය තැන්පත්වන්නේ IgG  ප්‍රතිදේහ ලෙසයි.

වඩාත් සාර්ථක වන්නේ ප්‍රතිදේහජනක, IgM හා  IgG  යන කොටස් තුනම සැලකිල්ලට ගැනීමයි.

රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වැරැදීමට ඇති ඉඩකඩ

සංකීර්ණ රසායනාගාර පරීක්ෂණයක් කට්ටලයක් ඔස්සේ කරද්දී නිගමනය වැරැදීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි ය. නමුත් මෙහි බලාපොරොත්තුව රසායනාගාර පරීක්ෂණය නොකර සිටීම නොවේ.අවස්ථානූකූලව දළ අවබෝධයක් ලබා ගැනීම පමණි. අනිවාර්යයෙන් ම රසායනාගාර පරීක්ෂණය වෙත හැකි ඉක්මනින් යා යුතුවේ. එතෙක් රෝගියා පිළිබඳ තීරණයකට යා යුතු නොවේ.

ඔබට වඩාත් පැහැදිලි වේවි, රුධිරයේ සීනි පරීක්ෂාව පිළිබඳ කීවොත්. මෙය රැන්ඩම් පරීක්ෂාවක් ලෙස කරනුයේ රෝගියා ඒ සම්බන්ධයෙන් පෙන්වන රෝග ලක්ෂණ සීනි වැඩි වීම නිසා පෙන්නුම් කරන්නේ ද නැතිනම් සීනි අඩුවීම නිසා පෙන්නුම් කරන්නේ ද යන්න වෛද්‍යවරයාට පූර්ව නිගමනයක් ලබා ගන්නටයි. ඒ පිළිබඳ රසායනාගාර පරීක්ෂණය ද හැකි විගස කළ යුතුවේ. මේ පරීක්ෂණයෙන් බලනුයේ සීනී අඩු ද වැඩි ද යන්න පමණි. ඒ අනුව ප්‍රතිකාර ක්‍රමවේදය ද අරඹයි. ඒරෝගියාට කරකැවිල්ල සෑදී ඇත්තේ සීනී අධික වීම නිසා නම් වෛද්‍යවරයා තවත් සීනී දුන්නොත් රෝගියා මරුමුවට පත් වීමට පවා පුළුවන.

රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්  කට්ටලයේ නිදර්ශකය

කෝවිඩ් 19 රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයේ නිදර්ශකය ලෙස ක්‍රියා කරනුයේ සෙම සාම්පලයයි. මේ වෛරසය රුධිරයට පැමිණෙනුයේ ප්‍රමාද වී ය. මේ වෛරසය වඩාත් කැමැති පෙනහැල්ලේ සිටීමටයි.

සංවේදීතාව සහ සම්භාවිතාව

PCR  පරීක්ෂණය ලොව ඇති රසායනාගාර පරීක්ෂණ අතුරින් අතිශය සංවේදී එකකි.එක වෛරසයක් තිබුණත් හොඳීන් ම ප්‍රමාණවත් ය. සංවේදීතාව අතින් එය සියයට 99.9 කි. සුවිශේෂී බව අතින් ද සියයට 99.9 කි.

PCR  පරීක්ෂණයක් නිවැරැදි වීමට හැකි වන්නේ සියයට හැත්තෑවකුත් වැරැදීමට සියයට තිහකුත් ඇති බවට සමාජයේ මතයක් ගොඩනැඟී ඇත. මෙසේ වීමට හේතුව කුමක්ද? මේ සඳහා නිදර්ශකය ලෙස ගන්නේ සෙම පටලයකි. රෝගියාගේ සිරුරේ වෛරසය සිටිමින් සෙම පටලයට වෛරසය යෑමට ඇති සම්භාවිතාව සියයට හැත්තෑවකි.එය කිසිසේත් ම සංවේදීතාව නොවේ. සෙම පටලයට වෛරසය නොයෑමට සියයට තිහක සම්භාවිතාවක් තිබේ.එ සේ නම් රසායනාගාරයට යැවෙන්නේ මේ නිදර්ශකය යි.

 

 

නිදර්ශකයේ වෛරසය තිබුණහොත් එය සියයට 99.9 කටත් වඩා නිවැරැදි එකක් වේවි.නිසැකවම පොසිටිව් වාර්තාවක් වේවි. නිදර්ශකයේ වෛරසය නොතිබුණි නම් PCR  පරීක්ෂණය කොහෙත් ම පොසිටිව් වන්නේ නැත.

මෙය සම්භාවිතාව පිළිබඳ විනා සංවේදීතාව පිළිබඳ ගැටලුවක් නොවේ. සම්භාවිතාව පිළිබඳ මේ ගැටලුව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සඳහා ද එලෙසම බලපායි. මන්ද ඒ සඳහා ද භාවිත කරනුයේ මේ නිදර්ශකය වන නිසායි. සියයට තිහක් නොව සියයට පනහක් දක්වාම සම්භාවිතාව පිළිබඳ ගැටලුව තිබිය හැකිය.සෙම පටලයක් ගැනීම පිළිබඳ නිල අයිතිය ඇත්තේ වෛද්‍යවරයකුටයි. ඒ පිළිබඳ ඉගැන්වීම කරන්නේ වෛද්‍යවරුන්ටයි. මහජන පරීක්ෂකවරුන්ට ඒ පිළිබඳ උගන්වන්නේ නැත. හෙද නිලධාරින්ට වුව එතරම් ඉගැන්වීමක් කරන්නේ නැත. එදිනෙදා සෙම පටල නොගන්නා නිසා ඒ පිළිබඳ ඇත්තේ අඩු අත්දැකීම් ප්‍රමාණයකි.⁣ සෙම පටල ගැනීම පිළිබඳ දැනුවත්භාවය වෛද්‍යවරුන්ට ඇතත් දැන් ක්ෂේත්‍රයේ සෙම පටල ගැනීම සිදු කරනුයේ වෛද්‍යවරුන් නොවේ. නුපුහුණු නිලධාරීන් සෙම පටල ගැනීමට යෑමෙන් වැරැදීම් සිදුවීමට ඇති සම්භාවිතාව ද වැඩිය. ඒ අනුවත් සියයට දහයක පහළොවක වැරැද්දක් වීමට පුළුවන.

කෙසේ වුවත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක නිරවද්‍යතාව සියයට පනහක් පමණ විය හැකියි. සියයට පනහක ප්‍රමාණය පාවිච්චි කන්නේ රෝගීන් සඳහා නොවේ නම්, ක්ෂේත්‍රයේ PCR  කරගත නොහැකි පිරිස සඳහා නම් ඉන් දළ අදහසක් ගත හැකිවේ.එම දළ අදහස ස්ථීර අදහසක් නොවන බව සැබැවි. ඒ භාවිතාවට සූදානම් වීම සියයට පනහේ නිවැරැදි පනහ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකිවේවි.

රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක PCR  පරීක්ෂණයට විකල්පයක් ද?

ලොව ඇති කිසිම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් රසායනාගාර පරීක්ෂණයකට විකල්පයක් වන්නේ නැත.

එක් අයකුට එක් වරක් භාවිත කළ හැකි මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටලය දැනට රුපියල් 1145 ක මුදලකින් යුතු වේ.විනාඩි 20 ක කාලයකදී මෙහි ප්‍රතිපලය ලැබේ.

මේ වාර්තාව නෛගටිව් වූයේ නම් ඒ බව අනිවාර්යයෙන් PCR  පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුවේ.

වෛද්‍ය රසායනාගාර ක්ෂෙත්‍රයේ කොවිඩ් 19 වෛරසය හඳුනා ගැනීමේ උපක්‍රම සැලකීමේ දී රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක යනු පිදුරු ගසකි.

නමුත් ඒ පිදුරු ගසත් දියේ ගිලෙන්නට යනවිට ඕනෑ විය හැකි නිසා එය නොසලකා හැරිය යුතු නැත.

 

උපදෙස්:

වෛද්‍ය රසායනාගාර විද්‍යඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති

රවී කුමුදේශ්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.