කොරෝනා බෝ නොකරන අපේ අවුරුදු ක්‍රීඩාවේ වටිනාකම

අප්‍රේල් 7, 2021

 

මහා බක්මහ උළෙල.... වසන්ත සැණකෙළිය, වසන්ත උදානය, හෙළයේ මහා මංගල්‍ය, අලුත් අවුරුදු උත්සවය... මේ වගේ විවිධ දැවැන්ත පුවරු තමයි අපි අවුරුදු කාලෙට රට පුරාම දකින්නේ. හැබැයි මේ අවුරුද්දේ නම් එවැනි අවුරුදු උත්සව ගැන දැන්වීම් දකින්න ලැබෙනවා අඩුයි.

 

කොරෝනා වසංගතය නිසා ජනතාව එකතු වෙලා අවුරුදු උත්සව පවත්වන්න සෞඛ්‍ය අංශ අවසර නොදීම නිසා මෙවැනි උත්සව පවත්වන්නේ නැහැ. ඇත්තටම අවුරුදු ක්‍රීඩා තිබෙන්නේ අවුරුදු උත්සවයක විතරයි කියලා හිතන දරු පරපුරක් තමයි දැන් සිටින්නේ.

කොට්ටපොර, කඹ ඇදීම, ගම හරහා දිවීම, බයිසිකල් ධාවන තරගය, බනිස් කෑම, කනා මුට්ටිය බිඳීම, අලියට ඇස තැබීම.... මේ වගේ ක්‍රීඩා ටිකක් තමයි අවුරුදු ක්‍රීඩා කියන්නේ කියලා හිතන දරු පරපුරක් අද බිහිවෙලා තිබෙනවා. අවුරුදු ක්‍රීඩා මෙවැනි ක්‍රීඩාවලට වඩා අර්ථවත් ක්‍රීඩා රාශියක් අවුරුදු සමයේ පැවැතුන සමයක් ඈත අතීතයේ පැවතියා. ඒ අවුරුදු ක්‍රීඩා රැසක්ම යටපත් වෙලා වානිජ රැල්ලට හසු වුණු ක්‍රීඩා ජනප්‍රියත්වයට පත් වෙලා ඇත්තේ තරකාරිත්වය ඉස්මතු වෙමිනි.

එහෙත් මෙවර අවුරුදු සමරන්නට සිදුවී තිබෙන්නේ තරමක සීමා මායිම් සහිතවයි. අපේ වැඩිහිටියන් කියන්නේ මේ තමයි සැබෑ අවුරුදු කියලා. සැබෑ අවුරුද්දේ අපගේ ඈත් වුණු ඒ වටිනා ක්‍රීඩා ඔබට සමීප කරන්න අප සිතුවේ එම ක්‍රීඩාවල ඇති අර්ථවත්බව හා වටිනාකම ඔබේ දරුවාටත් කියා දෙන්න හොඳම කාලය නිසයි. මේ ගැන හොඳින්ම විග්‍රහ කරන්නට අප එක්කර ගත්තේ ප්‍රවීණ පරිසරවේදියෙක් වගේම ජනශ්‍රැතිය හා ජන සංස්කෘතිය පිළිබඳ පරීක්ෂණ පවත්වන වියතෙක් වන තිලක් කන්දේගම මහතා. ගැමි පරිසරය හා සංස්කෘතිය පිළිබඳ ඉතාම හොඳ දැනුමක් හා අත්දැකීම් රාශියක් ඇති ඔහු අපේ අලුත් අවුරුදු ක්‍රීඩා පිළිබඳ සටහන් කළේ අතීතයේ පැවැති ගැමි සුන්දරත්වය සිහිපත් කරමිනි.

“ඈත අතීතයේ අවුරුද්ද කියලා කියන්නේ ගමේ සියලුදෙනාම එකට එකතුවෙලා ඉතාම ගාම්භීරව සමගියෙන්, එකමුතුකමින් සමරන සංස්කෘතික උත්සවයක්. මේ උත්සවය තමයි හෙළයේ මහා මංගල්‍ය ලෙස සලකන්නේ. එදා අපේ ජනතාව මාස ගණනක් කුඹුරු ගොවිතැන් කටයුතු කරලා අස්වැන්න නෙළාගෙන තමුන්ගේ ජීවිතයට පුංචි විවේකයක් ගන්න කාලය. මේ කාලයට තමයි අපේ සංස්කෘතියට මුල් තැනක් ලැබෙන්නේ. ඒ ලැබුණු විවේක කාලයේ තමුන්ගේ ගතට වගේම සිතටත් සතුටක් ලැබෙන ක්‍රීඩා රාශියක් කරන්න පුරුදුවෙලා තිබුණා. මේ ක්‍රීඩා ඔවුන් කළේ දැන් පැවැත්වෙන අවුරුදු උත්සව වගේ නෙවෙයි. සාමූහිකව ඉතාම සමඟියෙන් සාමයෙන් එකිනෙකා අතර සහෝදරත්වය වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන්. ඔවුන්ට කිසිම දවසක තමුන් ජයග්‍රහණය කිරීමේ අපේක්ෂාව තිබුණේ නැහැ. පුංචි වින්දනයක් ලබලා ආත්මතෘප්තියකින් සාමූහිකව සතුටුවීම තමයි අපේක්ෂාව වුණේ. ඒත් දැන් ඒ සාමූහිකත්වය බිඳ වැටිලා තරගකාරීත්වය ඉස්මතු වෙලා තියෙනවානේ. අතීතයේ අවුරුදු ක්‍රීඩා කළේ අවුරුදු කාලය පුරාම තමුන්ගේ නිවෙසේ සාමාජිකයන් සමඟ නැතිනම් අසල්වැසියන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගනිමින්.

හැබැයි මේ අවුරුද්ද අපට සොබා දහම විසින් ඒ අතීතයට යන්න අවස්ථාව ලබාදීලා තියෙනවා. අපට එදා තමුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ කළ හැකි ක්‍රීඩා ඉතාම හොඳට සෞඛ්‍යාරක්ෂිතව කරන්න පුළුවන්. මේ ක්‍රීඩා අතුරින් පංච කෙළිය පවුලේ සාමාජිකයන් සමඟ කළ හැකි සරල ක්‍රීඩාවක්. ඔලිඳ කෙළියත් එවැනිම ක්‍රීඩාවක්. මේ ක්‍රීඩා දෙකම තමුන්ගේ නිවෙස තුළ තමුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ කිරීම තුළින් විශාල වින්දනයක් වගේම සාමූහිකත්වයක් ගොඩනැගෙනවා. දොළ කෙළිය, සෝනාරු කෙළිය කියන ක්‍රීඩාවත් මේ හා සමානයි. මේ ක්‍රීඩා නිර්මාණය වෙලා තිබෙන්නේ බාල, මහලු, තරුණ සෑම දෙනාටම එකතු වෙල කළ හැකි ක්‍රීඩාව ලෙසයි. මේ ක්‍රීඩා නිර්මාණය වෙලා තිබෙන්නේ කෘෂි කර්මාන්තය තුළින් ගත වෙහෙසන ජනතාව තමුන්ට මානසික වින්දනයක් ලැබෙන ආකාරයටයි.

ඒ වගේ්ම දරුවන්ට කළ හැකි එළිමහන් ක්‍රීඩා ලෙස කජු කෙළිය, මුදු කිරීම, පන්දු ගැසීම, පොල් නෙළීම, තට්ටු පැනීම වැනි ක්‍රීඩා කුඩා දරුවන් කිහිප දෙනකු සමඟ කළ හැකි සරල ක්‍රීඩා කිහිපයක්. මේ ක්‍රීඩා දරුවන්ගේ කායික ශක්තිය වගේම මානසික මට්ටම දියුණු කිරීමටත් තමුන්ගේ සෞන්දර්යාත්මක කලා හැකියාවන් ඔප් නංවෙන ආකාරයට ගීතමය ගුණයෙන් අනූන ක්‍රීඩා ලෙසයි සලකන්නේ.

මේ ක්‍රීඩාවලට අමතරව තරුණ පිරිමින් වඩාත් කැමැත්තක් දක්වන්නේ එළිමහන් ක්‍රීඩාවලට. මේ කාලයේ එවැනි එළිමහන් ක්‍රීඩා කිරීම සඳහා ඒකරාශිවීම එතරම් ආරක්ෂිත නොවුණත් ඔලිඳ කෙළිය, සන්දිවියන් කෙළිය, එළුවන් ඇල්ලීම, මල් නෙළීම, මේවර කෙළිය ක්‍රීඩා ඈත අතීතයේ හරිම ජනප්‍රියයි. ඒ වගේම චග්ගුඩු වැනි ක්‍රීඩා තුළින් ඉවසීම, පරාජය පිළිගැනීම නිර්භීතකම, එඩිතරකම වැනි දෑ වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

කඹ ඇදීමේ ක්‍රීඩාවන් වර්තමානයේ ඉතාම ජනප්‍රිය වී තිබෙන්නේ එහි තරගකාරිත්වය වැඩි නිසයි. එමෙන්ම අපේ දරුවන් වඩාත් ප්‍රිය කරන ක්‍රීඩාවක් වගේම වින්දනයක් ලබන කටයුත්තක් වන්නේ ඔන්චිල්ලා පැදීමයි. ජනශ්‍රැතිය පුරාන ජන ක්‍රීඩාවක් ලෙස සැලකෙන අතර එය දේව ඇතිව පත්තිනි දෙවියන් වෙනුවෙනු භාර වී ඔන්චිල්ලා ඉදිකරන බවද විශ්වාසයක් පවතී. මෙහිදී කතුරු ඔන්චිල්ලා හා අත් ඔන්චිල්ලා යන වර්ග දෙකම පැවතියත් කතුරු ඔන්චිල්ලා සෑදීමට විශාල මුදලක් හා ශ්‍රමයක් වැයවන කටයුත්තක් නිසා වර්තමානයේ එවැනි ඔන්චිල්ලා දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.

එසේම ඈත අතීතයේ රබන් ගැසීමත් අවුරුදු සිරිය සිහිකරන පණිවුඩයක් වගේම ජනප්‍රිය ක්‍රීඩාවක්. මෙවැනි ක්‍රීඩා වර්තමානයේ නොතිබුණත් රබන් පදයක් හෝ අපේ දරුවන්ට මේකාලයේ කියාදීම ඉතාම වටිනවා.

අතීතයේ අවුරුද්ද කියන්නේ සැණකෙළි මාසයකට. ඒ මාසය පුරාම අපේ ක්‍රීඩා පවත්වනවා. අවුරුදු උදාවෙන් පසුව ගම එකම සැනකෙළියක් බවට පත්වෙනවා. දවල් කාලයේ බාල මහලු, තරුණ ගැහැනු පිරිි සියලු දෙනාම ඔංචිලි පැදීම, එළුවන් කෑම, අඹ පැනීම, කජු ගැසීම, ගුඩු පැනීම වැනි ක්‍රීඩා කළා. ඒ ක්‍රීඩා කළේ නැටුම් ගැයුම් සමඟයි. රාත්‍රී කාලයේ ඔලිඳ කෙළිය, පංච දැමීමෙන් සතුටු වුණා. මේ ක්‍රීඩා කිරීමට විශාල පිරිසක් අවශ්‍ය වුණේ නැහැ. තමුන්ගේ පවුලේ සාමාජික පිරිස පමණක් වුණත් ප්‍රමාණවත්. එය වර්තමානයේ පවතින සෞඛ්‍යාරක්ෂිත තත්ත්වයට අනුව වුණත් කළ හැකි ක්‍රීඩා ලෙසින් තරමක ආරක්ෂිත බවක් තිබෙනවා. නමුත් විශාල අවුරදු උත්සව ලෙස සංගීත සංදර්ශන, බයිසිකල් රේස්, විකට ඇඳුම් තරග තුළින් අපේ සංස්කෘතිය තවත් පිරිහී යමින් අප රැකගෙන ආ සංස්කෘතිය බිඳ වැටෙනවා. උරුමයක් ලෙසින් අලුත් අවුරුදු උත්සවය අපේ ඉදිරි පරපුර වෙත පවරාදීමට මේ අවුරුද්ද හොඳම අවුරුද්ද ලෙසයි අප සලකන්නේ.”

බක්මහ අසිරිය අපට සොබා දහම විසින් තිළිණ කළ අපුරු දායාදයකි. එය රැක ගැනීමට අපගේ හෙළ සංස්කෘතිය හා බැඳී ක්‍රීඩා කිහියක් හෝ ඉතිරි කර ගැනීමේ වටිනාකම වර්තමානයේ අපට ඉතාම තදින්ම දැනෙයි. එයට සුදුසු වූ පසුබිමක්ද මෙවර නිර්මාණය වී තිබියදී එයින් ප්‍රයෝජන ගෙන ඔබගේ පවුලේ සමීපතමයන් සමඟ අවුරුදු සැමරීමට අවස්ථාව ලැබීම විශාල භාග්‍යයකි.

 

උපදෙස් - ජන සංස්කෘතික හා පර්යේෂණ පරිසරවේදී තිලක් කන්දේගම මහතා

 

 

උපදෙස්

ජන සංස්කෘතික හා

පර්යේෂණ පරිසරවේදී

තිලක් කන්දේගම මහතා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.