මනස රෝගීවූවන් වෙනුවෙන් ම ඇප කැපවූ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය

ඔක්තෝබර් 7, 2020

කය රෝගී වනවා සේම මනස ද රෝගී වේ. කය රෝගී වූ විට ප්‍රතිකාර සඳහා යොමුවන පිරිස් ඒ හා සමානව ම මනස රෝගී වූ විට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා උනන්දු වන්නේ නැත.

මනස රෝගීවීම, පවුලේ කෙනකු මනස රෝගීවීම නිසා පීඩා විඳීම හුදු ලැජ්ජාවට කරුණක් සේ සැලකීමට සමාජයේ බහුතරයක් දෙනා පුරුදුව සිටියි. හැකි සෑම විටම එය වසන් කිරීමට උත්සාහ දරයි.

අප සැම කෙනකුම අඩු වැඩි වශයෙන් විවිධ මානසික ආබාධවලින් පෙළෙයි. කෙනකුගේ මනස රෝගි වීම කැපීපෙනෙන කල්හි හෙතෙම තවදුරටත් සමාජයට බරක් සේ සලකයි. ලෝක මානසික සෞඛ්‍ය දිනය සමරනුයේ මානසික රෝගීන් කෙරෙහි ඇති අවධානය තීව්‍ර කරලිය යුතු බව වැඩිමනත් පසක් කරලමිනි.

“සැමට මනසුව - ආයෝජනය වැඩි කරමු. හොඳ ප්‍රවේශයක් ලබා දෙමු.”

“Mental Health for All Greater Investmant Greater Access.”

2020 ජාතික මානසික සෞඛ්‍ය දින තේමාව මෙයයි. සෑම වසරකම ඔක්තෝබර් 10 දින මෙය සමරනුයේ මානසික රෝගීන් කෙරෙහි සමස්ත ප්‍රජාවගේම අවධානය වැඩිකිරීම සඳහායි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මානසික රෝගීන් වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන ප්‍රධානතම රෝහලයි. එය දකුණු ආසියාවේ මානසික රෝහල් අතරින් ද ප්‍රධාන තැනක් උසුලයි. රෝගීන් හඳුනා ගැනීම, රැකබලා ගැනීම, ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය කරමින් ඔවුන් සාමාන්‍ය සමාජයට මුදාහැරලීම යනාදී මිල කළ නොහැකි සේවාවන් රැසක් ඉටු කරයි. පෞද්ගලික ස්වස්ථතාව පවා අමතක කරලමින් රෝහල වෙත යොමු කෙරෙන රෝගීන් විශේෂඥ මනෝ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරීන්, හෙද හෙදියන්, කනිෂ්ට සේවකයන් ඇතුළු පිරිසගේ දයාබරිතබව, අප්‍රතිහත කැපවීම හමුවේ සුවපත් වූවන් බවට පත් වේ.

වසරකට රෝගින් 8000 ක් පමණ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමු වේ. මෙහිම කොටසක් වන ‘යුනිට් 2’ හි ද රෝගීන් ප්‍රතිකාර ලබයි.

මෙහි රෝහල්ගතව සිටින රෝගීන්ට සේම ප්‍රජාව අතරේ සිටින රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ අයවලුන් දැනුවත් කරලීම් කෙරෙහි මේ වසරේ වැඩි අවධානයක් යොමු වේ. මානසික රෝගි තත්ත්වයන් උත්සන්න වූ රෝගීන් රැකබලා ගැනීම පවුලේ අයට ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සමාජ සේවා අමාත්‍යංශය හා එක්ව ඔවුන්ට නිවාස තනාදීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි. රෝගය උත්සන්න බවින් මිදී කටයුතු කරන, හෙද සේවාව එතරම්ම අවශ්‍ය නොවන රෝගීන් පවා මෙම රෝහලේ දී රැකබලා ගැනේ. ඔවුන්ව නවතාලීමට නිවාස හිඟකම, පවුලේ අය ඔවුන්ව ගෙනයෑමට දක්වන අදිමදිකම නිසා මෙම තත්ත්වය උදාවී තිබේ.

ඒ තබා මෙම රෝහලේ රැකියාව කිරීම පවා එම කාර්යමණ්ඩලය සමාජයෙන් යම් පසුබෑමකට ලක්කිරීමට හේතු වී තිබීම කනගාටුවට කරුණකි.

මේ රෝගීන් නැවත නිවෙසට ගෙන යෑම වඩා අපහසු වූවකි. ඒ සඳහා රෝහල සතුව ගිලන්රථයක් හෝ නැතිතරම්ය. ඒ නිසා දැනට 1990 සුවසැරිය සේවාව සම්බන්ධවෙමින් කටයුතු කරයි. ඔවුන්ව මේ දිනවල පුහුණු කරමින් පවතී.

1926 හදිසි උපකාර සේවාව මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වූ ගැටලු නිරාකරණය සඳහා වූ පැය 24 පුරා ක්‍රියාත්මකවන උපකාරක සේවාවයි. මේ ආයතනය ඇරැඹූ වසර මුල්කොට ගනිමින් එම අංකය භාවිත කරයි. එසේම චැට් කිරීමේ තාක්ෂණය භාවිත කරමින් චැට්ලයින් එකක් අරඹනුයේ නව පරපුර මානසික සෞඛ්‍ය පිළිබඳ ඇති උනන්දුව වැඩිකරලීම සඳහායි.

*******************

 

මනස රෝගීවීම මුලින්ම හඳුනා ගනිමු

මේ මානසික සෞඛ්‍යය කෙරෙහි වැඩිමනත් අවධානය යොමු කළ යුතුම කාලයයි. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය ආදී බෝ නොවන කායික රෝග කෙරෙහි වඩාත් උනන්දු වෙමින් ප්‍රතිකාර සඳහා යොමුවන රෝගීන් මානසික සෞඛ්‍ය කෙරෙහි දක්වනුයේ අඩු තක්සේරුවකි.

ඒ නිසාම අයවැයෙන් පවා මානසික සෞඛ්‍ය කෙරෙහි ප්‍රතිපාදන වෙන් නොකරයි. එහෙත් ජාත්‍යන්තරයේ බොහෝ රටවල් ඊට වඩා ඉඳුරාම වෙනස් අන්දමින් කටයුතු කරයි.

මානසික රෝග මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම ඉදිරියේ රෝගියා සම්බන්ධ සියලුම වැඩකටයුතු කරලීමට පහසු කරලනු ඇත.

ගුරුවරුන් පවා තම දරුවන්ගේ චර්යා රටාවන්ගේ වෙනසක් ඇති බව හඳුනාගෙන තිබීම ඉතාම වැදගත්. පිරිසුදුකම පිළිබඳ ඕනෑවටත් වඩා සිතීම එකම කාර්යයේ නැවත නැවත පිට පිට යෙදීම වැනි ෆෝබියා තත්ත්ව දරුණු මානසික රෝගවලින් අවසන් වීමට පුළුවන.

 

විශේෂ ස්තුතිය - හෙද නිලධාරිනී නදීරා දිල්රුක්ෂි මහත්මියට

(මාධ්‍ය ඒකකය)

 

 

ඡායා - ශාන් රූපස්සර

2020/10/07 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.