අකුරු කරන්නට සතුටින් සිටිය යුතුයි

ජනවාරි 9, 2019

නව පාසල් වාරය ඇරඹිලා. අකුරු කිරීම යුද්ධයක් කරගත් මාපියන් දරුවන් ද ඒ යුද්ධයේ කොටස්කරුවන් බවට පත් කරලා. පාසලක වැඩිපුරම සිටින්නේ වයස අවුරුදු 10 ත් 19 ත් අතර දරුවන්. එනම් නව යොවුන් වියේ පසුවන්නන්.

'ටීචර්' යන්නට ඉගැන්වීමෙහි යෙදෙන්නා යන අරුත පමණක් සපයන බටහිර සමාජයේ ක්‍රමයට අපත් හැඩ ගැහිලා.

අද මාපියන් දූ දරුවන් අශ්වයන් මෙන් අධ්‍යාපන ඉලක්ක කරා අති ධාවනය කරමින් පවතිනවා. මේ නිසා දරුවන්ගේ පීඩනය වැඩිවෙලා. ඔවුන් මානසික කායික ගැටලු රැසකට මැදි වෙලා.

යොවුන් විය එනම් වයස අවුරුදු දහයේ සිට අවුරුදු දහ නවය දක්වා කලයේදී එනම් නව යොවුන් වියේදී (ගැටවර වියේදී) දරුවාගේ මොළය සීඝ්‍රයෙන් වැඩෙනවා.

ඒ කාලයේදී අත්හදා බැලීම් දැනුම හා අත්දැකීම් ලබා ගැනීම් වැඩිපුර සිදු වෙනවා. මේ වයසේදී මොළයේ ස්නායු අලුතින් බිලියන ගණනින් ඇති වෙනවා.

මේ ස්නායුවලින් සවිමත් වන්නේ භාවිතා කරන ස්නායු පමණයි. අනෙක්වා ක්ෂය වී යනවා. මේ ක්ෂය වීම නිසා අවශ්‍ය භාවිතා කරන ස්නායු වඩාත් සවිමත්ව වැඩීමට ඉඩ හා ශක්තිය ලැබෙනවා.

ජීවිතයේ ගැටවර වියේදී විවිධ කුසලතා වැඩි දියුණු කිරීම වටින්නේ මේ නිසයි. එය අනාගත දියුණුවට තදින්ම බලපානවා.

මිනිස් මොළය වැඩීම සිදුවන්නේ පිටුපස සිට ඉදිරියට. මොළයේ පිටුපස ඇත්තේ ඉව, ආවේග, චිත්තවේග සහ ආක්‍රමණකාරී ස්වභාවය හා සම්බන්ධ නොදියුණු කොටස්. මොළයේ ඉදිරිපස ඇති පූර්ව ලලාට කණ්ඩිකාව මොළයේ කොටස් අතරින් දියුණුම වඩාත් තර්කානුකූලව සිතීමට පොලඹවන කොටසයි. ප්‍රඥාගෝචර කොටසයි.

යමක ප්‍රතිවිපාක මැන ගැනීම, චිත්තවේග, අයහපතක් ගෙන දිය හැකි චිත්ත වේග, තීරණ ගැන නැවත සිතා බැලීමට අප පොලඹ වන්නේ ඒ කොටසයි. මේ කොටස වයස අවුරුදු 21 - 24 දක්වා වැඩෙනවා.

සාමාන්‍යයෙන් පිරිමි දරුවන්ගේ ගැහැනු දරුවන්ට වඩා ඉක්මනින් වැඩෙන ස්වභාවයක් පවතිනවා.

මේ නිසා නව යොවුන් වියේදී ගන්නා තීරණ, ගැටලු විසඳීමේ හැකියාව, අන් අයට ප්‍රතිචාර දැක්වීම යනාදිය මූලික වශයෙන් සිදු වන්නේ මොළයේ පිටුපස නොදියුණු කොටසිනි. ඒ නිසා යමක් කිරීමට පෙර හොඳින් සිතා බැලිය යුතුයි.

නව යොවුන් ඔබට නින්ද ගැටලුවක්

නව යොවුන් විය හරිහැටි හඳුනා නොගත් මාපියන්ට ද ගැටවර දූ දරුවන්ගේ නින්ද බරපතළ ගැටලුවකි.

බොහෝ දරුවන් දහවල මද්දහනත් පසු වනතුරු නිදා ගන්නවා. එලෙසින්ම රෑ මැදියම පසුවන තුරුත් නින්දට යන්නේ නැහැ.

මෙයට හේතුව නින්දට අදාළ මෙලටොනින් හොර්මෝනය නව යොවුන් වියේදී ප්‍රමාද වී ස්‍රාවය වී වැඩි කාල වේලාවක් සිරුරේ පැවතීමයි. නව යොවුන් වියේදී වැඩිහිටි වියේදීට වැඩි පැය ගණනක නින්දක් අවශ්‍යයි. එනම් පැය නවයක දහයක නින්දක් ඔවුන්ට අවශ්‍ය කරනවා.

2019/01/09 තරුණි බලන්න