Frozen Shoulder හෙවත් උරහිසේ වේදනාව ඔබටත් පීඩා ගෙන දෙන්නේ ද?

මාර්තු 13, 2019

උරහිස ආශ්‍රිතව ඇතිවන වේදනාවක් මින් පෙර ඔබටත් දැනී තිබුණි ද? කාන්තාවන් කෙරෙහි වැඩිපුරම දැකිය හැකි මෙම තත්ත්වය ආයුර්වේදය දක්වන්නේ අවබාහුක, අපබාහුක යන නම්වලිනි.

(Frozen Shoulder, Adhesive Capsulitis of Shoulder)

වාතය හා කඵ හෙවත් සෙම කෝපවීම නිසා මෙම උරහිස් වේදනාව හටගනියි. කුපිත වූ වාතය බාහුවෙහි ස්නායු සියල්ල වියළා දමයි.

එනම් උරහිස් සන්ධිය අතර ඇති තරලය ක්‍රමයෙන් හීනවෙයි.

ඉන්පසු උරහිස ක්‍රියාකරන සෑම වාරයකදීම ඉවසිය නොහැකි වේදනාවක් හට ගනියි.

මෙය බහුලව දැකිය හැකි වන්නේ අවුරුදු 40 - 70 අතර පුද්ගලයන් අතරේ ය.

එයිනුත් කාන්තාවන් අතරේ වැඩි ප්‍රවණතාවකින් පවතී.

උරහිසෙහි ශල්‍යකර්මයක් ආදියෙන් පසුවද මෙවැනි අවස්ථාවන් ඇති වේ.

මෙහිදී ඇතිවන වේදනාව වෙනස්වන සුළු එකකි. රාත්‍රියේ වේදනාව අධික වේ.

සීතල දේශගුණික තත්ත්ව යටතේ ද වේදනාව වැඩි වේ. චලනය කරන විට වේදනාව අධික වේ.

වලිප්පුව, මධුමේහය, ආඝාත තත්ත්ව, පෙනහලු ආශ්‍රිත සම්බන්ධක පටක ආශ්‍රිත රෝග, රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයන් ඇතිවිට ද උරහිසේ වේදනාව ඇතිවේ.

 

රෝග ලක්ෂණ

* උරහිස හා ගෙල ආශ්‍රිතව අධික වේදනාව

* වේදනාව නිසා අත එහාමෙහා කිරීම අපහසුවීම එනම් අත ඉහළට එසවීම, පිටුපසට ගැනීම, නැවීම, කරකැවීම ආදී චලනයන් අපහසු වේ.

* ගෙල, උරහිස සහ අතෙහි මාංසපේශීන්ගේ තදබව

* එම ප්‍රදේශය ඉදිමීම

* රාත්‍රියට වේදනාව සහ තද ගතිය වැඩිවීම.

රෝගය හඳුනා ගැනීම සඳහා එක්ස් කිරණ ඡායාරූප ගැනේ.

 

2019/03/13 තරුණි බලන්න.