පක්ෂාඝාතය හෙවත් අංශභාගය (Paralysis)

මැයි 22, 2019

ඇසේ පෙනීම, කන් ඇසීම දුර්වලව අතපය වාරු නැතිව ඔත්පල වීම සාමාන්‍ය තත්ත්වයක් වන්නේ මිනිසකු වයස් ගතවීමත් සමඟයි. එසේ නැතිව අතපය අප්‍රාණිකව සමහර අවස්ථාවල කතා කිරීමට පවා අපහසු තත්ත්වයක් ඇති වී යමකු ඔත්පල වූවා නම් එය රෝගී ස්වභාවයකි.

රාත්‍රියේ හොඳින් කා බී නින්දට ගිය පුද්ගලයා සමහර විට පසුදා පහන්වීමත් සමඟම නින්දෙන් අවදිවන්නේ එක අංශයක් හෝ මුළු සිරුරම අප්‍රාණිකවය.

සමහර අවස්ථාවල උදේ එහේ මෙහේ ඇවිදිමින් වත්ත පිටියේ වැඩකළ පුද්ගලයා හවස් වනවිට මෙවැනි රෝග ලක්ෂණ මතුවී ඔත්පලව එක්තැන්ව සිටියි.

ආයුර්වේදයේ ‘පක්ෂාඝාතය’ නමින් හඳුන්වන මෙම රෝගී තත්ත්වය සාමාන්‍ය ජනවහරේ ‘අංශභාගය’ නම් වෙයි. සුළු සුළු රෝගී තත්ත්වයන් ඉඳහිට මතු වුවද නොසිතූ මොහොතක මෙවැනි අසහනකාරී රෝගයකට ගොදුරු වීමෙන් රෝගියා කායිකව මෙන්ම මානසික ද මහත් පීඩාවට පත්වීම නොවැළැක්විය හැකිය. සාමාන්‍ය උණක්, කැස්සක් මෙන් නොව පක්ෂාඝාතය දීර්ඝ කාලයක් ප්‍රතිකාර කළ යුතු රෝගයක් බැවින් නිසි සුවය ලැබෙන තුරුම වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම භාරකරුවන්ගේ ආදරය, කරුණාව, සැලකිල්ල ද බෙහෙවින්ම අවශ්‍ය බව පවසන්නේ ඒ පිළිබඳ අප දැනුවත් කරන කැනඩාවේ සේවයේ නියුතු ආයුර්වේද වෛද්‍යාචාරිනී ‘ධම්මිකා කුමාරිහාමි’ මහත්මියයි.

‘පංචකර්ම චිකිත්සාව ඇතුළත් ආයුර්වේද ප්‍රතිකාර මඟින් බොහෝදුරට සුව කළ හැකි නිසා මෙය අසාධ්‍ය රෝග තත්ත්වයක් නොවන බව මං මුලින්ම පැහැදිලි කරනවා.

පක්ෂ ආඝාත, සිරුරේ අංශයක් අප්‍රාණික වීම හෙවත් ක්‍රියා හානිය පක්ෂාඝාතය නමින් හඳුන්වන අතරම ක්‍රියා හානිය සිදුවන අංශය අනුව ද රෝගය ප්‍රභේද කිහිපයකට බෙදෙනවා.

එක් අතක් හෝ පාදයක් අප්‍රාණික වීම ‘ඒකාංග ඝාතය’ ලෙසටත් සිරුරේ වම් හෝ දකුණු එක් අංශයක් පමණක් අප්‍රාණික වීම ‘පක්ෂඝාත’ ලෙසටත් වම් හෝ දකුණු එක් අංශයක් සමඟ අනිත් අංශයේ අත හෝ පාදය අප්‍රාණික වීම ‘බහු අංග ඝාතය’ ලෙසටත් දෑත් දෙපා සමඟම ශරීරයේ සමහර අංශ ද අප්‍රාණික වීම ‘සර්වාංග ඝාතය’ ලෙසටත් හඳුන්වනවා.

බාහිර රෝග ලක්ෂණ මතුවී පෙනෙන නිසා පක්ෂාඝාත රෝගියකු දුටු සැණින් හඳුනාගැනීම පහසුයි.

2019/05/22 තරුණි බලන්න